රටේ ඖෂධ හිඟය පිළිබඳ ගැටලුව පාර්ලිමේන්තුවේද පසුගියදා රැව් දුන්නේය. මේ ආණ්ඩුවට බෙහෙත් ගන්න සල්ලි නැද්දැයි ප්‍රශ්න කරමින් රෝහල්වල ඖෂධ හිඟයක් සහ උපකරණ හිඟයක් පවතින බවටත් ඒවාට උත්තර දීමට අමාත්‍යවරයාට බැරි බවටත් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය එයට හේතු විය. එහිදී අමාත්‍යවරයා ලබාදුන් පිළිතුර ඖෂධ හිඟයට ලබා දෙන විසඳුමකට වඩා දේශපාලන කතාවක ස්වරෑපයක් ගත් බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මේ අවස්ථාවේදී රටේ ජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලන පිළිතුරු නොව ඖෂධ හිඟයට විසඳුමකි. අමාත්‍යවරයා සැලකිලිමත් විය යුත්තේ ඒ පිළිබඳවය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඖෂධ මිල වැඩි වුණේ ඖෂධ නියාමන අධිකාරියේ කලක් තිස්සේ අරක්ගෙන සිටින කණ්ඩායමක් ලිපිගොනු අවුරුදු පහ හය පල් කිරීම නිසා බවය. එම අධිකාරියෙන් ඉවත් කළ විශේෂඥ වෛද්‍යවරයෙක් ආයතනයට විරුද්ධව කැරළි ගසමින් රට වටා යන බවටද අමාත්‍යවරයා චෝදනා කළේය.
අමාත්‍යවරයා පැවසූ පරිදි ඖෂධ නියාමන අධිකාරිය තිබී ඇත්තේ හොර ගුහාවක් හැටියටය. එය දැන් වෙනස් කරගෙන යන බවත් රටේ ඖෂධ මිල වැඩිවුණු ප්‍රධාන හේතුව මේ ආයතනයේ සමහරුන් අවුරුදු පහ, හය ෆයිල් පල් කරමින් සිටීම බවත් ඔහු කියයි.
මේ කුමන හේතුවකින්වත් රටේ ජනතාවට පළක් නැත. ඖෂධ නියාමන අධිකාරිය තිබුණේ හොර ගුහාවක් හැටියට නම් ඒ පිළිබඳව මීට පෙරදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීම අමාත්‍යවරයාගේ යුතුකමය. ඖෂධ මිල වැඩිවීමට ප්‍රධාන හේතුව එයම බවත් අමාත්‍යවරයා පවසන විට අපට අසන්නට තිබෙන්නේ එසේ නම් සියයට 300 කට ආසන්න ප්‍රමාණයකින් රටේ අත්‍යාවශ්‍ය ඖෂධ මිල ගණන් ඉහළ දමද්දී ඒ ගැන වචනයක්වත් ප්‍රකාශ නොකළේ මන්දැයි කියාය. ඖෂධ මිලදී ගැනීමට රජය මුදල් ලබා නොදෙන්නේ නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමට තරම් එඩිතර වූ අමාත්‍යවරයකුට ඖෂධ නියාමන අධිකාරිය හොරුන්ගෙන් මුදාගැනීමට නොහැකිවීමද පිළිගත නොහැකි කරුණකි.
අප දන්නා තරමින් රටේ අනෙකුත් බඩු භාණ්ඩ මිල ගණන් ඉහළ ගියේ ඩොලර් හිඟ වී රටේ බංකොළොත් බව ප්‍රකාශ කිරීමත් සමඟ ඇතිවූ රුපියල කඩා වැටීම හේතුවෙනි. අවස්ථා කිහිපයකදී ඖෂධ මිල ගණන් ඉහළ නංවන ලදී. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වූයේද කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. පසුගිය දිනක සියයට 16 කින් ඖෂධ වර්ග 60 ක මිල ගණන් අඩු කරන විට අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබා දෙන බවය. එසේ නම් පාර්ලිමේන්තුවේදී ඖෂධ අධිකාරිය පිටින් මේ සියලු වැරදි යවන්නේ කාගේ වැරදි වසාගන්නදැයි ජනතාව තුළ කුතුහලයක් ඇතිවන බව පෙන්වා දිය යුතුය.
මේ රටේ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන්නේ බොහෝ දුරට වරප්‍රසාද නොලත් පන්තියේ ජනතාවය. පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට තරම් හැකියාවක් නොමැති ජනතාවය. ඔවුන්ට අවශ්‍ය වන්නේ රෝගි වී රෝහලට ගිය විට විශ්වාසයක් ඇතිව ප්‍රතිකාර ලබාගෙන හැකි ඉක්මනින් රෝහලින් පිටවීමය. එහිදී අමාත්‍යවරයා තමන් යටතේ ඇති ආයතන ශුද්ධ පවිත්‍ර කරන තුරු බලා සිටීමට රෝගීන්ට හැකියාවක් නැත. තමන්ට අවශ්‍ය ඖෂධය රෝහලෙන් නොලැබෙන්නේ නම්, තමන්ගේ කළ යුතුම සැත්කම සිදු කිරීමට අවශ්‍ය උපකරණ ද රෝහල්වල නැත්නම් රෝගීන්ට ඉතිරි වන්නේ දෙවියන්ගේ පිහිට පැතීම පමණි. රෝග සුව කිරීම දෙවියන්ට බාරදීමට සිදුවන රටක සෞඛ්‍ය අමාත්‍යවරයකු ඉන්නේ මොන කෙංගෙඩියකටදැයි රෝගීන් විමසුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.
රජයේ රෝහල් පීඩා විඳින්නේ ඖෂධ සහ උපකරණ හිඟයෙන් පමණක් නොවේ. වෛද්‍යවරුන්ගේත් විශේෂඥ වෛද්‍යවරුන්ගේත් හිඟය ද රෝහල් පද්ධතියට දරුණුවට බලපා තිබේ. මේ නිසා ඇතැම් ප්‍රාදේශීය මට්ටමේ රෝහල්වල ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන් නොමැතිවීමෙන් විශාල දුරක් ගෙවා නාගරික රෝහල්වලට පැමිණීමට රෝගී ජනතාවට සිදුවෙයි. මේ තත්ත්වය ඉක්මනින් විසඳුම් ලබා දිය හැකි ගැටලුවක් නොවේ. බිත්තර හිඟවන විට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ හැකි වුවද දොස්තරවරුන් හිඟයට එසේ දොස්තරලා ආනයනය කිරීමට හැකියාවක් නැත. විවිධ හේතූන් නිසා රට හැර යන දොස්තරලා රට තුළ රඳවා ගැනීමට ක්‍රියාකාරී වැඩපිළිවෙළක් යොදන තුරු සිදුවන්නේ ඒ ගැටලුව තව තවත් උග්‍රවීම පමණි.
අද මේ රටේ රෝගීහු තුන් බියකට මුහුණ දී සිටිති. ඖෂධ හිඟය, උපකරණ හිඟය සහ දොස්තර හිඟය වශයෙනි. ඒ මදිවාට ප්‍රමිතියෙන් බාල ඖෂධ හේතුවෙන් සැත්කම්වලින් පසුව සිහි නොලබාම මිය යාමට සිදුවන බවට තොරතුරු පළවීම හේතුවෙන්ද ඔවුහු බියට පත්ව සිටිති. මේ ගැටලුවලට විසඳුම් දෙනවා වෙනුවට දේශපාලන බයිලා ගායනා කිරීමෙන් රටේ ඇතිවී තිබෙන බරපතළ සෞඛ්‍ය ගැටලුවලට පිළිතුරු නොලැබෙන බව අමාත්‍යවරයා දැන සිටීම අවශ්‍යය.