දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමේදී විපක්ෂයේ මන්ත්‍රීන් බොහෝ දෙනකුගේ දැඩි විවේචන එල්ල විය. පසුගිය සෙනසුරාදා (01) මේ යෝජනාව ඉදිරිපත් කෙරුණේ රටේ සියලු බැංකු දින 05ක් තිස්සේ වසා තැබූ වාතාවරණයකදී වීමද විශේෂත්වයකි. එහිදී ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගෙන් එල්ල වූයේ ප්‍රබල විවේචනයකි. ඔහුගේ කතාවේ මෙසේද සඳහන් විය.
''ඔබලා ඊ.පී.එෆ්. එකෙන් මීට කලිනුත් හොරකම් කළා. ඔබලා යළිත් ඊ.පී.එෆ්. එක විනාශ කරමින් ඉන්නවා. මහ බැංකු බැඳුම්කර හරහා මේ දේවල් වුණා. මේ අහිංසක ජනතාවගේ ඊ.පී.එෆ්. එකට අත තියන ඔබලා දේශීය පෞද්ගලික බැඳුම්කර අයිතිකරුවන්ට හෝ මුදල් වෙළෙඳපොළේ ගනුදෙනුකරුවන්ට හෝ අත තියන්නෙ නැ. මේ අය තමයි විශාලම ණයකරුවෝ. ආණ්ඩුවට අරමුදල් සපයන අය. ඔවුන්ගේ නම් ගම් සඳහන් වුණා බැඳුම්කර මගඩියේදී. මේ අය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවල ආයෝජනය කරන අයයි. ආර්ථික අර්බුදය හේතුවෙන් මේවායේ පොලිය ඉතා අධික ලෙස ඉහළ යාමේ වාසිය අත්කර ගත්තේ මේ අයයි. මේ ''ගිජු ලිහිණියෝ'' ඔවුන්ගේ ආදායමට අත නොතැබීම හේතුවෙන් තව අමතර වාසිත් හිමිකර ගෙන තිබෙනවා. මේ අය තමයි ඔබලා වෙනුවෙන් බැඳුම්කර වංචා සිදු කරන්නේ. ඒ ගොල්ලො තමයි ඔබලාගේ ඡන්ද කැම්පේන්වලට වියදම් කරන්නේ. මේ නිසයි ඔබලා මේ අයට ගැලවී යන්නට ඉඩ දුන්නේ.'' යැයි සුමන්තිරන් ආණ්ඩුවට චෝදනා කළේය.
''මුලින්ම කිව්වේ පූර්ව කොන්දේසියක් පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන බවයි. දැන් අපට කියනවා එහි පූර්ව කොන්දේසියක් හැටියට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුලින් සිදුකළ යුතුයි කියලා. මෙයින් පේන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බව කියමින් ආණ්ඩුව මුලසිටම රටට බොරු කියා ඇති බවයි.''
ඔහු ප්‍රකාශ කරන්නේ මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ලොකුම පාඩුව සිදු වෙන්නේ හඬක් නොමැති මිලියන 2.5ක් වන ඊ.පී.එෆ්. සාමාජිකයන් බවය. එම අරමුදලේ මේ වනවිට රුපියල් ට්‍රිලියන 3.4 ශේෂයක් පවතින බවත් ඒ සඳහා අනාගතයේදී ලබාදෙන 9%ක පොලියට අනුව 47%ක අලාභයක් එහි සාමාජිකයන්ට සිදුවන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා කීය. ඊ.පී.එෆ්. භාරකරු වන මූල්‍ය මණ්ඩලයට මේ රටේ වැඩකරන ජනතාවගේ ආත්මය විකුණා දමනවාද නැතහොත් පෞද්ගලික ධනවතුන් කිහිප දෙනකුට විශාල ලාභයක් අත්කර දෙනවාද යන්න තීරණය කිරීම සඳහා දින 21ක කාලයක් තිබෙන බවත් කීය.
''ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. යනු තමන්ගේ ඉතිරි කිරීම වුවද ඒ ගැන මේ රටේ වැඩකරන ජනතාවට තම හඬක් නගන්න බැහැ. ඔවුන්ට තීරණයක් ගන්න බැහැ මේ ගැන. මේ ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන් සහභාගි වෙනවා යැයි පැවසීම පවා අමූලික බොරුවක්'' ඔහු කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ''ස්මාර්ට්'' වාහන වංචාව
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු සිදුකළ ''ස්මාර්ට්'' වාහන වංචාවක් පිළිබඳ කරුණු අනාවරණය වෙමින් තිබේ. මේ කියන නිලධාරියා එම කාර්යාලයීය වාහන සංචිතයේ වාහනයක් පාවිච්චියට ගෙන තිබේ. එසේ කර ඇත්තේ තමන්ගේ පෞද්ගලික වාහනය එම කාර්යාලයේම තවත් නිලධාරියකුට කුලියට ලබා දෙමිනි.
මේ අනුව එම නිලධාරියා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් භාවිත කරනවා පමණක් නොව ඊට අදාළ ඉන්ධන දීමනාවද ලබා ගනියි. ඒ සමඟම තමන්ගේ වාහනයට ලැබෙන කුලී මුදල හේතුවෙන් අමතර ආදායමක්ද උපයා ගනියි. ඔහු තම කාර්යාලය තුළම මේ සිදුකරන්නේ ''සයිඩ් බිස්නස්'' එකකි.
මේ අතර මේ නිලධාරියාගේ පෞද්ගලික වාහනය කුලී පදනම මත ලබාගෙන ඇති නිලධාරිනිය ජනාධිපති ලේකම් කාර්යාලයේ තම ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනට කුලී පදනම මත වාහනයක් භාවිත කරන බැවින් තමන්ට වාහනයක් සහ ඉන්ධන දීමනාවක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ තමන්ගේ පෞද්ගලික වාහන ලේකම් කාර්යාලයට කුලී පදනම මත ලබාදීම එහි ඇතැම් නිලධාරීන් සිදුකරන ''නව පන්නයේ වංචාවක්'' බවය.
I සන්ඩේ ටයිම්ස්