2023 ජුලි 08 වන සෙනසුරාදා

ඇරියුම් සහ ගැරහුම්

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 125

''බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වෙනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වෙන්නැයි කියා මම විපක්ෂනායකයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරනවා. දේශීය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වනවිට අසත්‍ය වී තිබෙනවා. දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට තමනුත් දායක වූ බව කියා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්න.''

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා හම්බන්තොටදී මෙහෙම කිව්වේ කාෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 32ක් පිරීම සැමරීම සඳහා පැවැති උත්සවයේදීය. එහෙම කියා හම්බන්තොට ජනතාව වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගය කර අමරවීර අමාත්‍යවරයාට ජනාධිපති උපහාර තිළිණයක්ද පුද කළේය.

ආණ්ඩුවට එක්වී රට ගොඩනැගීමට උදව් වෙන්නැයි කියා ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කළ පළමු වතාව මෙය නොවේ. ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු මුල් කාලසීමාවේදී රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාට කිව්වේ ''දේශපාලනය පස්සේ කරමු මුලින්ම එකතුවෙලා රට හදමු'' කියලාය. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගෙන සජිත්ලාගේ සහායත් ලබාගෙන රට පාලනය කිරීමට ජනාධිපතිවරයා සැලසුම් හදාගෙ හිටියත් සජිත්ලා ඒකට කැමැති වුණේ නැත. සජිත්ලා ඇහැව්වේ රටේ ආර්ථිකය කඩාවැටිලා රට බංකොළොත් කළ පිරිසක් සමඟ මොන සර්වපාක්ෂික ආණ්ඩුදැයි කියලාය. හැබැයි ආණ්ඩුවට එකතු වෙන්නැයි ජනාධිපති රනිල් වරින්වර විපක්ෂයට ආරාධනා කළේය. පසුගියදා හම්බන්තොටදී කළ ආරාධනය එහි අලුත්ම එක විය.

කලින් එහෙම ආරාධනය කළ විට කෙටි පිළිතුරක් දෙන විපක්ෂය මේ පාර ඒකට සැර පිළිතුරක් ලබාදිය යුතු බවට තීරණයක් ගෙන තිබූ බවත් පෙනෙන්නට තිබුණි. සජබ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර කියා තිබුණේ ජනාධිපතිවරයාගේ කතාවට මෙවර සජබ පිළිතුරු දෙන බවය. පසුගිය බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ජනාධිපතිවරයාගේ කතාවට උත්තර දුන්නේය. සජිත් ඒකට යොදාගත්තේ දූෂණ විරෝධී පනත පිළිබඳ විවාදය පැවැති අවස්ථාවයි.

''ජනාධිපතිවරයා පවසා තිබුණා ජාතික අවශ්‍යතාව මත කටයුතු කළ යුතුයි දේශපාලනය වැදගත් නැහැ කියලා. ඒ වගේම පටු දේශපාලනය වාදභේද පසෙක ලා දේශපාලන කේන්ද්‍රීයව නොව රට වෙනුවෙන් කේන්ද්‍රීයව වැඩ කරන්න ඕනි කියලා ජනාධිපති කිව්වා. ඒත් මම අහනවා හොරු අල්ලන්නද හොරු බේරන්නද ජනතාව ජීවත් කරන්නද විනාශ කරන්නද? පැන්ඩෝරා පත්‍රිකා හොරු අල්ලන්නද? බේරන්නද? සීනි බදු, පොල්තෙල්, හොර බාල ගෑස් හොරු අල්ලන්නද බේරන්නද? ලසන්ත වික්‍රමතුංග මරපු අය උපාලි තෙන්නකෝන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ට හිංසනය දියත් කළ අය බේරන්නද අල්ලන්නද එකතුවෙන්න කියන්නේ?''

එහෙම කියපු සජිත් ප්‍රේමදාස මෙරට අමෙරිකානු තානාපතිවරයකු වූ රොබට් ඕ බ්ලේක් එරට විදේශ අමාත්‍යංශයට යැවූ පණිවුඩයක්ද සඳහන් කළේය.

''අපේ රටට දෙන ආර්ථික ආධාර අත්හිටුවන ලෙස විපක්ෂනායක වික්‍රමසිංහ ජපානයෙන් කළ පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස සිය නායකයන්ගේ ක්‍රියාවන් සහ අතපසුවීම් හේතුකොටගෙන ශ්‍රී ලාංකීය ජනතාවට දඬුවම් නොකළ යුතු බව යකුෂි අකාශි වික්‍රමසිංහට ප්‍රකාශ කළා. අපට ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ මේ වගේ පණිවුඩ දෙන්නද? ඒ වගේම මටත් ජනාධිපති වෙන්න උදව් කරනවලු. මගේ විපක්ෂනායකකම රුකලා දෙනවලු. මම දන්නවා ඒ අය 2019 දී ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා කරපු දේවල්. මට ඒ උදව් ඕනෙ නෑ. මට අවුරුදු 21ක් විපක්ෂ නායකකමේ ඉන්න අපේක්ෂාවක් නෑ.''

මේ කතා දෙකෙන් රට වර්තමානය මුහුණ දෙමින් සිටින දේශපාලනය ගැන අවබෝධයක් ගත හැකිය. මහින්ද අමරවීර මුලසිටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැමැත්ත දිනූ අමාත්‍යවරයෙකි. ඔහුට දුන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයයි. ගෝඨාභය ඇනගත්තේත් මේ කෘෂි කර්මාන්තයට අත පොවන්න යාමෙනි. ඒ කාලේ කෘෂි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ දැන් ජනාධිපතිට බොහෝ ප්‍රශස්ති ගායනා කරමින් ළඟින්ම සිටියි. ඒ කැබිනට් ඇමැතිකමත් බලාපොරොත්තුවෙනි. හැබැයි කියන්නේ වැඩ කරන්න ඇමැතිකමක් අවශ්‍ය නැති බවය.

ගෝඨාභයගේ පාලනය නන්නත්තාර කරවූ කෘෂිකර්ම අමාත්‍යංශය බාරගත් මහින්ද අමරවීර ඒ වැඩේ හොඳින් කළේය. පොහොර ටික බෙදා හැරියේය. කොතෙකුත් ප්‍රශ්න තිබුණත් ගොවීන්ට ගොවිතැන කරගෙන ඔවුන්ගේ අතට මුදලක් ලැබෙන තරමට වැඩේ ගැට ගහගන්නට ඔහුට හැකි විය. වී මිල ඇතුළු තවත් ප්‍රශ්න ආවත් අමරවීර ඒවා ගණන් නොගෙන කටයුතු කරයි. ජනාධිපතිවරයා මහින්ද අමරවීරගේ දේශපාලන දිවියේ සැමරුම් උළෙලකට යන්නත් එහෙම ගිහින් සජිත්ට දැන්වත් අපි ළඟට එන්න කියා අඬගැසීමට කටයුතු කළේත් ඇයි කියන එකට එතැන පිළිතුරක් තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාලනය බාරගන්නා විට බරපතළ ලෙස නොසන්සුන් වී තිබූ කෘෂිකර්ම ක්ෂේත්‍රය යන්තම් කෙළින් කටින් සිටුවා ගන්නට අමරවීර මන්ත්‍රීවරයා කළ වැඩ ටිකත් ඊළඟට ජනතාව පාරට ඇදී ඒමට හේතු වූ විදුලි කප්පාදුව සහ තෙල් - ගෑස් පෝලිම් නැති කිරීමේ වැඩපිළිවෙළේදී කාංචන විජේසේකර අමාත්‍යවරයා කළ කාර්යභාරයක් ජනාධිපතිවරයාට බොහොම වටින්නේය. ඔහුගේ පාලනය පහසු කිරීමට ඒ ක්ෂේත්‍ර දෙකම හේතුවිය. දැන් තියෙන්නේ මම බාරගන්න කොට තිබුණු කැඩිල බිඳිල ගිහින් කරුවලේ තිබූ රට නොවන බව කටපුරා කීමට ජනාධිපතිවරයාට හැකි වී තිබෙන්නේ මේ නිසාය. විපක්ෂයට පාඩම් උගැන්වීමටත් එයින් අවස්ථාවක් ලැබී තිබේ. අපිත් එක්ක එකතු වෙන්න කියා විපක්ෂයට කියන්නේ ඒ අවස්ථාව ලැබීම හේතුවෙනි.

හැබැයි ඒ ඇමැතිලා දෙදෙනා එක්ක පොහොට්ටුවේ අමාත්‍යවරුන් පිරිසක් හිටියාට ඔක්කොම හරියන්නේ නැත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය (පසුව ප්‍රශස්තකරණය) පිළිබඳ පාර්ලිමේන්තු යෝජනාවේදී රාජපක්ෂවරුන්ගේ නොපැමිණීම කැපී පෙනුණේය. ඒ වගේම අස්වැසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කලබැගෑනියේදීද පොහොට්ටුවේ මන්ත්‍රීන් පිරිසකගේ විරෝධය එල්ල විය. එහිදී නාමල් රාජපක්ෂ අස්වැසුම ලබාදීමේ ක්‍රමය පිළිබඳව දැඩි විවේචනයක් කළේය. පොහොට්ටුවේ බල මණ්ඩල රැස්වීම් වලදීද තමන්ගේ කාලයේ පැවැති ආණ්ඩුවේ නිර්දෝෂීභාවය පිළිබඳවද නාමල් දැඩිව කතාකරන බවද දකින්න තිබේ. මේකෙන් පේන්නේ ජනාධිපතිවරයා පොහොට්ටුවේ පිරිසක් සමීප කර ගනිමින් ගෙන යන පාලනයට පොහොට්ටුවේම පිරිසක් විරුද්ධව සිටින බවද?

එහෙම වෙන්නත් බැරි නැත. අමාත්‍ය ධුර ලැබීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් තුළ තිබූ බලාපොරොත්තුද දැන් බොහෝ දුරට සිඳී යමින් තිබේ. කිහිප දෙනකුට අමාත්‍ය ධුර ලැබෙන බව කිව්වත් ඒක කවදා සිදුවේදැයි තවම කියන්නට බැරිය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට පොහොට්ටුව සහය ලබාදුන්නත් එදා ඡන්දය භාවිත කිරීමට මන්ත්‍රීවරුන් 60ක් නොපැමිණීමද එක්තරා සංඥාවකි. එහෙම වුණේ සියලුම මන්ත්‍රීවරුන් එදින පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට ජනාධිපතිවරයා සියලු පක්ෂ නායකයන් දැනුවත් කර තිබූ අවස්ථාවකදී වීම තුළ ඇත්තේද ආණ්ඩුව ඇතුළේ ඇතිවන දේශපාලන අර්බුදයක පෙරනිමිති විය හැක.

මීළඟට පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවට දැන් කාලයක සිටම කෙරෙන ප්‍රචාරයට පොහොට්ටුව දක්වන ප්‍රතිචාරද මතභේදාත්මක බවත් පෙනෙන්නට තිබේ. එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පිළිගැනීමට පොහොට්ටුවේ පිරිසක් සූදානම් බව ඔවුන් කරන ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. රට වැටී තිබුණු තැනින් ගොඩගැනීමට ජනාධිපතිවරයා සමත් වී සිටීම නිසා ඔහුට ඒ සුදුසුකම තිබෙන බව ඇමැතිවරුන් කිහිප දෙනකුම වරින්වර කියා තිබේ. නමුත් මේ ජනාධිපතිවරණ කතාවත් දැන් යට යමින් තිබේ. පසුගිය දිනක පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලැබෙන්නේ මීළඟ ජනාධිපතිවරණය වනතුරු පමණයි කියාය. එයින් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා වශයෙන් පිළි නොගන්නා බව පැහැදිලිය. එය පොහොට්ටුවේ නිල ස්ථාවරය බව පෙනී යයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවේදීත් පෙනී ගිය පොහොට්ටුවේ සහාය දෙකඩ වී තිබුණු ස්වභාවය පසුගිය බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දූෂණ විරෝධී පනතේදීද දකින්නට තිබිණි. එහිදීද පොහොට්ටුවේ මන්ත්‍රීන් අතර ඒකමතික බවක් නොතිබිණි. එය එදින සම්මත කිරීමට පිරිසක් විරුද්ධ වූ අතර අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කිව්වේ එහෙම විරෝධයක් නැති බවය. අවසානයේ සංශෝධන ඉදිරිපත් කිරීමට යටත්ව යෝජනාව සම්මත විය. එය සම්මත කර ගැනීම සඳහා සජබ දැඩිව පෙනී සිටියේය.

ජනාධිපතිවරයා හම්බන්තොටදී කළ කතාවට පිළිතුරු දීමට සජිත් පාර්ලිමේන්තුවේදී දූෂණ විරෝධී පනත අවස්ථාව යොදාගත්තේ අහම්බයෙන් විය නොහැක. එසේම ජනාධිපතිවරයා ඊළඟට ජනාධිපති වීමට සජිත්ට තමන් උදව් කරන බව කීමද අහම්බයක් නොවීමටත් ඉඩ තිබේ. ඉදිරි කාලයේදී පොහොට්ටුවේ පිරිසකගේ ගමන් මාර්ගය ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් පමණක් නොව විපක්ෂයටත් තීරණාත්මක බව නම් පැහැදිලිය.

I ශශීන්ද්‍ර