2023 ජුලි 15 වන සෙනසුරාදා

අද කයිය ගහන අය එදා පැනලා දිව්වා

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

- නාගරික සහ නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග

  • ජවිපෙත් ඉතින් යහපාලන කාලේ රනිල් මහත්තයාගෙ යාළුවොනේ
  • අපි සජබට කියන්නේ ජනාධිපතිතුමා එක්ක වැඩකරන්න කියලයි
  • අපේ ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමැති ගැටලුව කතා කරලා විසඳාගන්නවා
  • ඕනෑම ඡන්දෙකට පොහොට්ටුව සූදානම්

ඔබලා ආණ්ඩුවේ ඉන්න ගමන් කරන වැඩපිළිවෙළ ගැන විවිධ අදහස් දක්වනවා. ඒ අතර කියන දෙයක් තමයි ආණ්ඩුවට විපක්ෂය බාධා කරනවා කියලා. හැබැයි විපක්ෂය කියන්නේ මේ ආණ්ඩුවට විපක්ෂය හොඳ වැඩියි කියලා. ඇත්තටම මොකක්ද මේ වෙන්නේ?

පළවෙනි කාරණය කියන්න ඕනේ මේ ජනාධිපතිතුමා යටතේ පාර්ලිමේන්තුවේ කාරක සභා අටක සභාපතිකම් විපක්ෂයට දීලා තියෙන්නේ. මොකද ආණ්ඩුව උත්සාහ කරන්නේ විපක්ෂය සම්බන්ධ කරගෙන මේ රට ගොඩගන්න. ඒ වගේම මුදල් කාරක සභාවේදී හර්ෂ ද සිල්වා මහත්තයාට ප්‍රශ්නය ආ වෙලාවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කතා කරලා ඒ තනතුර හර්ෂ ද සිල්වා මහත්තයාට අරන් දුන්නා. බැලූ බැල්මට පේනවා විපක්ෂයත් එක්ක එකතුවෙලා වැඩකරන්න ජනාධිපතිතුමාට උවමනාවක් තියෙනවා කියලා. හැබැයි ඒ අය ආණ්ඩුව ගේන රටට හිතකාමී දේවල්වලට බොහෝ වෙලාවට බාධා සිදුවීම් කරනවා. අපි විපක්ෂයෙන් බලාපොරොත්තු වුණා මීට වඩා ලොකු දෙයක්. ඒ අයට ඒක කරන්නත් පුළුවන්. 

දැන් ඔබලා විපක්ෂයේ සහාය බලාපොරොත්තු වුණාට විපක්ෂයේ අය කියන්නේ පොහොට්ටුවත් එක්ක එකට වැඩ කරන්න කිසිම සූදානමක් නැහැ කියලා?

ජනාධිපතිතුමා කියන්නේ ස්වාධීන පුද්ගලයෙක්. එතුමා අඩුම ගණනේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රුස්වීමට පවා ගියේ නැහැ. අඩුම ගණනේ එක්සත් ජාතික පක්ෂයේ කිසිම දෙයකට එතුමා ප්‍රබල වශයෙන් මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතුමා උත්සාහ කරනවා උපරිම ස්වාධීනව වැඩකටයුතු කරලා සියලු පක්ෂත් එක්ක එකට වැඩකරන්න. පොහොට්ටුව තමයි එතුමාට හිටිය පළවෙනි විරුද්ධ කණ්ඩායම. යහපාලන ආණ්ඩුව කාලේ දැඩි ලෙස අපි විවේචනයට ලක්කළා. අපි අර්බුද වෙලාවේදී මේ රට බාරගන්න සියලුම නායකයන්ට ආරාධනා කළා. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තා. ඒ නිසා අපි එතුමාට උදව් කරනවා. ඔය විපක්ෂයේ අද කයිය ගහන කිසි කෙනෙක් ඒ අභියෝගය බාරගන්න බය වුණානේ. අනෙක මේ අපිට වඩා ලේසියි සජබයට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වැඩ කරන්න. මොකද එතුමා දේශපාලනයට ගෙනාපු අය තමයි ඔතන ගොඩක් ඉන්නේ. 

ඒ අය කියන්නේ ඔබලත් එක්ක වැඩකරන්න අකමැතියි කියලා?

ඒක තමයි අපි කියන්නේ. අපිට වඩා ඔය හැමෝටම වැඩ කරන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණත් යහපාලන කාලයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක සමීපව කටයුතු කරපු කට්ටිය. අපිට තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. නමුත් මේ වෙලාවේ රටට වෙන විකල්පයක් නැති නිසාත් අපි එතුමාත් එක්ක එකතුවෙලා වැඩ කරනවා. ඒ නිසා අපි කියන්නේ අපිත් එක්ක ඇවිල්ලා වැඩකරන්න ඕනෑ නැහැ. ජනාධිපතිතුමාත් එක්ක වැඩ කරන්නකෝ. 

මාළිමාව නම් කියන්නේ ඔබලයි ආණ්ඩුවයි විපක්ෂයයි ඔක්කොම එකට තියලා පරද්දන්න ඕනේ කියලා. මොකද මේ රටේ විනාශයට ඔබලා සියලුදෙනාම වගකිවයුතුයි කියලා?

අද ඔය මාළිමාව කියලා කිව්වාට ජනතා විමුක්ති පෙරමුණ එදා ප්‍රේමදාස මහත්තයාට උදව් කළා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට උදව් කළා. ඊටපස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාටත් උදව් කළා. ඊටපස්සේ යහපාලන කාලේ මෛත්‍රීපාල සිරිසේන ගේන්නත් උදව් කළා. මේ අය සමහර ආණ්ඩුවල තනතුරු පවා ගත්තා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සුවිශේෂී කණ්ඩායමක් නෙමෙයි. අපි ලෙඩකට බෙහෙත් ගන්න ගියත් හොඳ වෛද්‍යවරයකු සොයාගෙන යනවා. අපි දේශපාලනයේදීත් එහෙමයි. හැබැයි විපක්ෂයේ ඉඳන් කයිවාරු ගහන මිනිස්සු ජනතාව පාලනයට තෝරාගන්නේ නැහැ. ඔය කියන කට්ටිය කරපු දෙයක් කියන්නකෝ මට. හැමදාම කයිය ගැහුවා විතරයි. ඒ අය තනිකරම කටින් බතල හිටවන කණ්ඩායමක්. ඒ නිසා 88-89 දේපළ විනාශ කරපු මේ අය අලුත් ජෙනරේෂන් එක නොදන්නවා වුණාට පරණ කට්ටිය හොඳට දන්නවා.

අද වෙද්දී පොහොට්ටුව සීඝ්‍රයෙන් ගමින් ගමට යමින් ඉන්නවා. මොකද මැතිවරණයක්වත් ළඟදී එනවාද?

අපි ඕනෑම මැතිවරණයකට සූදානම් කණ්ඩායමක්. අපිව හාන්සි කරන්න විපක්ෂයේ සමහර අය උත්සාහ කළා. හැබැයි අපි ශක්තිමත් කණ්ඩායමක්. අපි නැවත බිම් මට්ටමේ අපේ දේශපාලන කටයුතු ආරම්භ කරමින් ඉන්නේ. අපි මේ සිදුකරමින් ඉන්නේ අපේ පක්ෂය ශක්තිමත් කරමින් ඉන්න එක. මොකද ඕනෑම අභියෝගයකට අනාගත සූදානම අපි ගාව තිබෙනවා.

ඔබලාගේ සමහර අයට තවම ඇමැතිකම් ලැබුණේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් නේද?

ඇත්ත. අපේ දිස්ත්‍රික් නායකයන්ට ඒ ඇමැති පදවි ලැබුණේ නැහැ. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවක් තිබුණා විපක්ෂය එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදලා රට ගැටලුවලින් විසඳා ගන්න. ඒත් ඒ වැඩේ වුණේ නැහැ. අපි ජනාධිපතිතුමාත් එක්ක කතා කරනවා මේ ප්‍රශ්නය විසඳාගන්න. ජනාධිපතිතුමාට වුවමනාවක් තියෙනවා අපේ නායකයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ඉතින් ඒක අපි කතා කරලා විසඳා ගන්නවා.

I ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00