රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ නිල සංචාරයක යෙදීම ඔහුගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේය. ඔහු ජනාධිපති ධුරයට පත් වී ටික දිනකින් ඉන්දීය අගමැති මෝදිගේ සුභාශිංසන පිරිනැමුණත් ඒ සමඟ පැමිණිය යුතු නිල සංචාර ආරාධනය ලැබුණේ නැත. ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් පත්වෙන හැමෝම තමන්ගේ පළමු නිල සංචාරය සිදුකරන්නේ ඉන්දියාවට වීම සම්ප්‍රදායකි. යුද්ධය පැවැති කාලයේත් ඒ සම්ප්‍රදාය වෙනස් වුණේ නැත. මේ නිසා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ නිල සංචාරය රනිල්ගේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වීම අරුමයක් නොවේ.
කොහොම වුණත් ඒ අවස්ථාව රනිල්ට ලැබීමට ඔහුගේ ධුරයට වසරක් කල් පිරෙනතුරු බලා සිටීමට සිදුවිය. රාජ්‍යතාන්ත්‍රික තොරතුරු ඔස්සේ වාර්තා වුණේ ඉන්දීය අගමැති මෝදිගේ රාජ්‍ය නායකයන් පිළිගැනීමේ ''ඩයරිය'' බොහෝ සෙයින් කාර්යබහුල වීම එම ප්‍රමාදයට හේතුව බවය. හැබෑ හේතුව ඒකමදැයි කියන්න දන්නේ නැති වුවද ලබන ඔක්තෝබර් මාසයේදී චීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිගේ සූදානම පිළිබඳ කරුණු මාධ්‍යයේ සැරිසරන විට මෝදිගේ ඩයරියේ ඉඩක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් විවෘත විය. ඒ අනුව ලබන 21 වැනිදා රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජනාධිපති වශයෙන් තමන්ගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරය ආරම්භ කරයි. මේ නිල සංචාරය යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා තිරය පිටුපස සිටිමින් විශාල කාර්යභාරයක් සිදු කර තිබිණි.
ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි පමණක් නොව ජනාධිපතිනියද සෙසු බලවත් අමාත්‍යවරුන්ද මුණගැසී සාකච්ඡා කිරීමට කාලය වෙන්කර තිබේ. එහිදී සාකච්ඡා වන කරුණු ගැන ලොකුවට අනාවරණය නොවුණත් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රාගේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ ගැන රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සඳහන් කෙරිණි.
ඉන්දියාවේ ''හින්දු'' පත්‍රය වාර්තා කරන අන්දමට එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ ඉන්දියාව ලංකාවෙන් ''ධනාත්මක පරිවර්තනයක්'' අපේක්ෂා කරන බවය. නවදිල්ලියේදී ලබන 21 වැනිදා ආරම්භ වන්නේ ''අසාමාන්‍ය තත්ත්වයන්'' යටතේ මීට වසරකට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරය බවද ''හින්දු'' පත්‍රය කියයි.
විදේශ ලේකම්වරයා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් කියා තිබුණේ තමන් ජනාධිපතිවරයා සමඟ ''දෙරට අතර ආර්ථික සහයෝගීතාවේ පූර්ණ ආකෘතිය'' සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවය. ''මා අද දිනයේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයද ඇතුළු නායකත්වය සමඟ කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ ඉදිරියේදී සිදුකෙරෙන ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී සම්පූර්ණ අවධානය යොමුකෙරුණේ දෙරට අතර සබඳතාවල ''ධනාත්මක පරිවර්තනයක්'' ඇති කිරීම සම්බන්ධයෙන්'' යැයි ඔහු කියා තිබිණි. ජනාධිපතිගේ ඉන්දීය සංචාරයට ''විශාල සාර්ථකත්වයක්'' අත්කර දීමට ඉලක්ක කර ඇති බවත් වික්‍රමසිංහ මහතා දෙරට අතර සබඳතාවලදී ''ඉතා ශක්තිමත් ආධාරකරුවකු'' බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.
ඉන්දීය සංචාරයේදී මතුපිට ප්‍රකාශ වෙන කරුණු වගේම යටිපෙළේ දෙරටටම ඉතා වැදගත් කාරණාද සාකච්ඡා වීම බලාපොරොත්තු විය යුතුය. සංචාරයට පෙරම ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඉන්දීය ණය පහසුකම ඉතා දීර්ඝ කාලයකට දිගුකර දීමටද ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි අර්ථය ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් ණය ආපසු ගෙවීමට තවත් කාලයක් ලැබෙන බවය. එය ඉන්දියාව පැත්තෙන් ධනාත්මක සිග්නල් එකකි.
හැබැයි ඉන්දියාව කතාකරන මේ ''ධනාත්මක චින්තනයේ'' යටි දේශපාලන අරමුණු මොනවාදැයි තවම කියන්න බැරිය. ඉන්දියාව තම අසල්වාසී රටවල දේශපාලන ප්‍රවණතා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවෙයි. කලාපීය ආරක්ෂාවත් චීනයේ බලපෑමත් සැමවිටම ඔවුන්ගේ ප්‍රමුඛතා අතර වෙයි. ඊට අමතරව ශ්‍රී ලංකාව සමඟ ආයෝජන ඇතුළු වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන්ද මෙහිදී ඉන්දියාව අවධානය යොමුකරනු ඇති බව පැහැදිලිය. ඉන්දියාව ශ්‍රී ලංකාවත් සමඟ ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම්වලට එළඹෙනු ඇති බවද සඳහන්ය. එහෙත් මේ ගිවිසුම් සමඟ ශ්‍රී ලංකාව එකඟ විය යුතු කොන්දේසිද තිබිය හැකි බවත් සඳහන්ය.
මේ අතර ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. සමඟ ඇතිකරගත් ගිවිසුම බරපතළ ලෙස විවේචනය කරමින් ආචාර්ය හොවාර්ඩ් නිකලස් කළ ප්‍රකාශයක්ද මේ වනවිට රටේ ආර්ථික අංශවල ආන්දෝලනයක් ඇති කරමින් තිබේ. නෙදර්ලන්තයේ රොටර්ඩෑම් හි ඉරාස්මුස් සරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වන ඔහු ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. බෙහෙත ගෙඩි පිටින්ම ගිල නොදැමිය යුතු බවට අනතුරු අඟවා තිබේ. අයි.එම්.එෆ්. එක මෙහිදී නිසැකවම ''ගේම්'' එකක් ගහන බවටද ඔහු චෝදනා කරයි.
ශ්‍රී ලාංකික ආර්ථික විශේෂඥයකු සහ සමාජ විද්‍යාඥයකු වන ආචාර්ය නිකලස් ශ්‍රී ලංකා ආර්ථිකයට සම්බන්ධ පොත් ගණනාවක කර්තෘවරයෙකි.
''ඇත්තෙන්ම මෙහිදී අයි.එම්.එෆ්. එක ගහන්නේ ගේමක්. 2020දී ඒ ගොල්ලො ලෝකයේ රටවල්වලට කිව්වේ කොවිඩ් - 19 බලපෑම්වලට මුහුණදීමට අයවැය හිඟයක් පවත්වාගෙන යා යුතු බවයි. අවුරුදු දෙකකට පස්සේ ඒ අය දැඩිව කියනවා ඒ නිසා ලොකු අවුලක් වෙන්න පුළුවන් කියා. ඔබ අතීතය දෙස බැලුවොත් පෙනී යාවි අයි.එම්.එෆ්. එක කරන නිර්දේශවලින් ලංකාව වගේ රටවල්වලට සෙතක් වී නැති බව.''
එහෙම කියන මේ ආර්ථික විශේෂඥයා ශ්‍රී ලංකා ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් කියන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හැර වෙන කිසිවක් සිදු නොකරන බවයි. මොනම රටකවත් ආර්ථික වර්ධනයට ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. රාජ්‍ය පාලනයට ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවට අයි.එම්.එෆ්. එක ලංකාවට කියනවා. ඒකේ යම් සත්‍යයක් තිබුණත් ''රටේ ආර්ථික ගැටලු'' වලට එය විසඳුමක් නොවේ. ''අපනයනය අරමුණු කරගත් කාර්මිකකරණයකින් තොරව මෙයට විසඳුමක් නෑ'' ඔහු කියයි.
ලංකාව මේ වනවිට ණයවෙලා ඉන්න විදියත් ඔහුගේ කතාවේ සඳහන් කර තිබුණි. ''ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා 2007 සිට ලංකාව ණය අරන් තිබෙනවා. 2015ත් 2019ත් අතර කාලසීමාවේදී පමණක් ගත් ණය ඩොලර් බිලියන 14කට අධිකයි. මේක රටේ ණය ස්ථායීකරණයට කරන්නේ විශාල බලපෑමක්. ඊළඟට කොවිඩ් ආවා. ඒ වෙනකොට රටේ වසර 40ක් තිස්සේ තිබුණු (වෙළෙඳ හිඟය) අපනයන ආදායමට වඩා ආනයනික වියදම වැඩිවීමේ බලපෑමත් හේතුවෙන් රටේ ආර්ථික ගැටලු එහෙමම ඉතිරිවෙලා. ගෝඨාභය 2019 දී සිදුකළ ''බදු කැපිල්ල'' මහ විනාශකාරී පියවරක්. ඒ වගේම පොලී අනුපාත අඩු කිරීමත් සැලසුමකින් තොරව රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමත් රටේ විදේශ සංචිතය සිඳීයාමට බලපෑවා. අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට මේ කිසිම ආණ්ඩුවක් පියවර ගත්තේ නෑ.''
ලංකාවට වැදී තිබෙන ආර්ථික හෙණයට අදාළ මේ තොරතුරු එක මිටට ගෙන ආර්ථික විශේෂඥයන් මෙහෙම කතා කරද්දී ලංකාවේ විපක්ෂය මේ ගැන ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
බැලූ බැල්මට එහෙම පේන්නේ නැත. ආණ්ඩුව රටේ ප්‍රශ්න ඔක්කොම වහගෙන බොහොම සරල භාෂාවෙන් දැන් රටේ කිසිම ප්‍රශ්නයක් නෑ. පෝලිම් නෑ. බඩු මිල අඩුයි. උද්ධමනය අඩුයි වගේ රසකතා කියමින් ප්‍රචාරක වාසියක් ගනිමින් සිටියි. දැන් රනිල් රට හොඳට කරනවා කියා මතවාදයක්ද ජනගත කරයි. ඒකට පොහොට්ටුවේ මැති ඇමැතිලාත් ෆුල් සපෝට් එකක් දෙයි. එහෙම බැලුවාම විපක්ෂයෙන් නම් ඒ තරම් ලොකුවට ජනතාව දැනුවත් කරන බවක් පේන්නේ නැත. තමන්ට පේන දේත් සරල භාෂාවෙන් කියන්න දන්නේත් නැත. ලොකු වචන භාවිත කරමින් සිදුකරන කතා රටේ පොදු මහජනතාවට කරන බලපෑමක් නැත.
මේ කාලේ විපක්ෂයේ ඉන්නේ මහින්දලා නම් ඔවුන් මේ වනවිට මේ ආණ්ඩුවට වැලේ වැල් නැතිවෙන්න ගහන බව කියන්නේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීලා නොව ඔවුන්ට සහාය දක්වන පාක්ෂිකයන්ය. මහින්දලා විපක්ෂයේ හිටියා නම් මේ කාලය වෙනකොට රෝහල්වල බාල බෙහෙත් නිසා මැරෙන, ඇස් අන්ධවෙන ලෙඩුන්ගේ ප්‍රශ්නය කතා කරන්නේ මාධ්‍ය සාකච්ඡා තියා නොව මහපාරට ඇවිත්ය. ඡන්දයක් නොතියන එක ගැන නඩු දමා දමා නොඉඳ ඒ ප්‍රශ්නය කතා කරන්නේ ගමට ගිහින්ය. අස්වැසුම අලකලංචියත් එහෙනම් තාමත් අතඅරින්නේ නැත. ආණ්ඩුව හඳුන්වා දෙන්න යන නව දූෂණ විරෝධී පනතේ තිබෙන භයානක වගන්ති ටික අල්ලාගෙන ඒවා සටන්පාඨ බවට පත්කර ගෙනය.
2015-2019 ආණ්ඩුව කාලේ මහබැංකු මගඩිය ගැන මහින්දලාගේ විපක්ෂය කතා නොකළ දවසක් නැත. වෙන එකක් තබා මහදවල් මහ බැංකුව කොල්ල කෑ කතාව රට ඉදිරියේ තැබුවේ තමා බව කියා ඡන්ද කැම්පේන් කළ මන්ත්‍රීලාත් සිටියහ. එහෙම කියපු අය දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිලාය. මේ ඔක්කෝටමත් වඩා රටේ අතිවිශාල ආදායමක් ලබන මහා ව්‍යාපාරිකයන්ගේ ධනයට අත නොතබා රටේ දුප්පත් අහිංසක වැඩකරන ජනතාවගේ ඊ.පී.එෆ්. එකට අතතැබූ ආණ්ඩුවට මෙහෙම ලේසියෙන් ගැලවී යන්නට ඉඩ දෙන්නේ නැත.
ජනාධිපතිවරයා පහුගිය දවසක කිව්වේ ''දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විපක්ෂය කියපු කතා ඔක්කොම බොරු වුණා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා වැඩකරන්න'' කියලාය. ඒකට විපක්ෂයේ උත්තරය පාර්ලිමේන්තුවේ කතාවකට පමණක් සීමා විය. දැන් සමාජ මාධ්‍යවල ''ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ උන් හොරාකාපු සල්ලි අපි ගෙවනවා'' කියා හිටු කියා පෝස්ට් දමයි. අඩුම තරමින් මේ ටික කියාගන්නවත් විපක්ෂය උනන්දු වුණේ නැත. කිසිම ප්‍රශ්නයක් නැතුව රනිල් රට කරනවා කියලා ජනතාව කියන එක අහන්නත් දෙයක්ද?
I ශශීන්ද්‍ර