දුමින්ද නාගමුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
අර්ථසාධකේ කොල්ලකන්න යනකොට කකුල් මාට්ටු දාන එක වැරදිද?
එකතු විය යුත්තේ කා එක්කද කියන එක අපි තාම හඳුනාගෙන නෑ
ගොඩනැගුණු ප්‍රශ්න ටිකක් විසඳුණත් තවත් ප්‍රශ්න එහෙමමයි
එදා යට ඇරපු බෝලය අද තව තැනකින් මතුවෙලා
• පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඇත්තටම බලය ලබාගැනීමේ වුවමනාවක් තවම නැද්ද?
ඕනෑම පක්ෂයක් බලය ලබාගැනීමේ අරමුණෙන් තමයි පිහිටුවලා තියෙන්නෙ. රාජ්‍ය බලය ලබාගැනීමේ අරමුණක පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්නවා. පොදුවේ දේශපාලන පක්ෂ කරන්නේ අහවල් පුද්ගලයාට ඡන්දෙ දෙන්න, එයාට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන මතය තමයි වපුරන්නෙ. අපේ දේශපාලන මතවාදය වෙනස් වෙන්නෙ, අපේ අරමුණ තියෙන්නෙ ජනතාවගේ බලයක් පිහිටුවීම. ජනතාවට තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන එක. අන්න ඒ පටලැවිල්ල නිසා තමයි සමහර අයට අපේ බලය සම්බන්ධයෙන් ප්රශ්නය පැන නැගිලා තියෙන්නෙ.
• අපි දන්නවා දක්ෂිණාංශික පක්ෂ එකතුවෙලා බලය ලබාගැනීම සඳහා කටයුතු කරනවා. හැබැයි අපි ලේසියකට දකින්නෙ නෑ වමේ බලවේග එක තැනකට එකතුවෙලා බලය ලබාගැනීමට කටයුතු කරනවා. මොකක්ද ඒකට හේතුව?
ඔබ ඉතිහාසය සම්බන්ධයෙන් අහනවා නම් ඒ ප්‍රශ්නයට මම සම්පූර්ණයෙන් එකඟ වෙන්නෙ නෑ. මොකද ඉතිහාසයේ වමේ බලවේග එකතුවෙලා බලය ලබාගැනීම සිදුවෙලා තියෙනවා. අපි ගැන කතා කළොත් වමේ පක්ෂ තිබුණට ඒ පක්ෂවල සෑහෙන වෙනස්කම් රුසක් තියෙනවා. වැඩපිළිවෙළ පවා බරපතළ ලෙස වෙනස් කරලා තියෙනවා. එහෙත් ඒ පක්ෂවලට එකතු විය හැකි, එකතු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවල අපි එකතුවෙලා තියෙනවා. අපි ඒ වගේ අවස්ථාවල මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙනවා. අපි ඒකාබද්ධ විය යුතු අවස්ථා හඳුනාගෙන තියෙනවා. ඒ වුණාට කා සමඟ ඒකාබද්ධ විය යුතුද කියන එක අපි හඳුනාගෙන නැහැ.
• ජනතා විමුක්ති පෙරමුණ හෙවත් වර්තමානයේ මාලිමාව අද වෙනකොට බලය ලබාගැනීමේ ක්‍රියාමාර්ගයක නිරත වෙමින් ඉන්නවා. ඇයි ඔබලට ඔවුන් සමඟ එකතුවීමේ හැකියාවක් නැත්තෙ?
දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඒක වෙනම සංවිධානයක්. මාලිමාව ගත්තොත් තවත් සංවිධානයක්. ඒකෙ ඉතිහාසය වගේම ක්‍රියාකාරීත්වය ගත්තාම එකට එකක් වෙනස්. ඒ නිසා කාත් එක්කද වැඩ කටයුතු කළ යුත්තේ කියන ප්රශ්නය ඇතිවෙලා තියෙනවා. හැබැයි ඕකට පොදු උත්තරයක් ගත්තොත් ජවිපෙ එක්කත්, මාලිමාව එක්කත් අපි බොහෝ අවස්ථාවල, මෑත නෙවෙයි දැන් ටික කාලෙක ඉඳන්ම උත්සාහ ගත්තා සාකච්ඡා වට පවත්වන්න. ඒ සඳහා විවිධ අවස්ථා යොදාගන්න හැදුවා. හැබැයි අද වෙනකම් ඒ කිසි දේකට මාලිමාව හෝ ජවිපෙ කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ නිසා ප්රශ්නය අහන්න ඕනෙ ඒ අයගෙන් කියලයි මම හිතන්නෙ. අපිට තේරෙන්නෙ ඒකට ඒගොල්ලො සූදානමක් නැහැ වගෙයි.
• කනින් කොණින් ලැබෙන ආරංචි අනුව අපිට පෙනෙන්නෙ ඔබලා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට සරත් ෆොන්සේකා මහත්තයව ඉදිරිපත් කරන්න යනවා කියලා. ඒක ඇත්තද?
ඔය වගේ කතා ගොතන එක තමයි සමහර අයගේ වෘත්තිය. ඔබට මතක නම් 2011 අපි අපේ කටයුතු ආරම්භ කළ වෙලාවෙ අපේ සහෝදරවරැ පැහැරගත්තා. ඒ නිසා අපිට 2015 වගේ තමයි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න හැකියාවක් ලැබුණෙ. එතකොට ගොඩක් අය කිව්වා අපි රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් කරන්නෙ කියලා. ඔය වගේ දේවල් දේශපාලනිකව විවිධ අවස්ථාවල ගොතනවා. ඒවට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඒක අවස්ථානුකූලව නිර්මාණය කරලා තියෙන දේවල්. ඔය කරන්නෙ ඒ වගේ මතයක් හදලා ඒ අයගේ දේශපාලන ස්ථාවරභාවය තහවුරැ කරලා තියෙනවා.
• සරත් ෆොන්සේකා එක්ක කිසිම ගනුදෙනුවක් නැද්ද?
නෑ. සරත් ෆොන්සේකා පහුගිය අරගල කාලේ සිදුවෙච්ච මර්දනයේදි ඊට එරෙහිව පෙනී හිටියා. ඒක අගය කළ යුතු දෙයක්. ඒ ඇරෙන්න අපිට දේශපාලනික වශයෙන් කිසිම සම්බන්ධයක් නැහැ.
• මේ වෙද්දි ආණ්ඩුවේ මතයක් යනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට නැවත වතාවක් බලය දෙන්නෙ මේ ප්‍රශ්න විසඳපු නිසා කියලා. ඇත්තටම ඔබ මොකක්ද හිතන්නෙ ඒ ගැන?
මම ඔය ප්‍රශ්නෙ අහපු ඔබගෙන් අහනවා ඔබගේ ප්‍රශ්න මේ වෙනකොට නිරාකරණය වෙලා තියෙනවද කියලා. ඔබ ඔය ප්රශ්නය ඇසීම තුළින්ම මතයක් නිර්මාණය කරනවා. බලන්න මේ වෙද්දි විශාල ප්‍රමාණයකට රුකියා අහිමිවෙලා තියෙනවා. තමන්ගේ දරැවට උගන්වගන්න බැරිවෙලා තියෙනවා. මන්දපෝෂණය ඇතිවෙලා තියෙනවා. බෙහෙත් ටික ගන්න බැරිවෙලා තියෙනවා. මෙතැන තියෙන ලොකුම දේ තමයි පහුගිය කාලේ ගොඩනැගුණු ප්‍රශ්න අද වෙද්දි නිරාකරණය වෙලා තියෙනවා තරමක් දුරට. ඒවා මූලික ප්‍රශ්න. හැබැයි ඒ ප්‍රශ්න විසඳුණාට සමාජය තුළ ගොඩනැගිලා තියෙන යම් යම් ප්‍රශ්න එන්න එන්න වැඩිවෙලා තියෙනවා. එදා බෝලය යට ඇරියට අද වෙද්දි බෝලය වෙන තැනකින් මතුවෙලා තියෙනවා. අද මේ වෙද්දි හැම ගෙදරකටම ප්‍රශ්න ඉස්මතුවෙලා තියෙනවා. හැබැයි අර මූලික ප්‍රශ්න තරම් ඒක ඉස්මතුවෙලා පේන්නෙ නැහැ. ඒකට හේතුව කලින් තිබුණ ගෑස්, තෙල්, විදුලිය වගේ මූලික ප්‍රශ්න තුන සමාජයට එක ලෙස බලපෑවට මේ කාරණා එක ලෙස බලපාන්නෙ නැති නිසා ඉස්මතු වෙන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි, අද වෙද්දි ආණ්ඩුව ප්‍රශ්න හදමින් ඉන්නවා. හොඳම උදාහරණය අර්ථසාධක අරමුදල සම්බන්ධ ප්රශ්නය.
• ඔබ කියන්නෙ ප්‍රශ්න නිමාවක් නෑ?
ඔව්. ඒ ප්‍රශ්න ටික එහෙමම තියෙනවා. මතක තියාගන්න ඒ වගේ ප්‍රශ්න විසඳුණා කියලා අන්ධභාවයකට සමාජය අරගෙන යන්න පුළුවන් නම් වෙන කතා කරන්න දෙයක් නැහැ. අන්න ඒ අයට කවදාවත් මේ වළෙන් ගොඩ යන්න වෙන්නෙ නැහැ.
• අවසාන වශයෙන් අහන්නෙ ආණ්ඩුවෙන් එන චෝදනාවක් තමයි ඔබලා ආණ්ඩුව කරන්න දෙන්නෙ නෑ, වමේ පක්ෂ හැම වෙලේම කකුල් මාට්ටු දානවා කියලා. ඇත්තද ඒ?
ඔබ සංකල්පයක් හැටියට ඕක ඇහුවට ඕකෙ ඇත්ත ප්‍රශ්නෙ ඉස්මතු වෙන්නෙ නැහැ. දැන් අර්ථසාධකය කොල්ලකන්න යනවා. ඒ කකුල් මාට්ටු දාන එක වැරදිද? ජනතාව වෙනුවෙන් ඒක කරන්නෙ. ජනතාව වෙනුවෙන් කකුල් මාට්ටු දාන එක වැරදිද?
I ගයාන් ගාල්ලගේ