"සුවය පතා ඔසු බී විස වී මියැදීම" ගෙවී ගිය සතියේ මුළු රටම කැළඹූ මාතෘකාව බවට පත්විය. දේශපාලන කරළිය ද ඖෂධ ගැටලුව නිසාවෙන් ගිනියම් වී තිබුණි. ජනපතිගේ ඉන්දීය සංචාරය, උතුරේ දේශපාලන පක්ෂවල අරෝව තරමක අවධානය දිනාගත් මාතෘකා විය. පොලිස්පති ධූරය ඇතුළු තනතුරු කිහිපයක් හේතුවෙන් ව්‍යවස්ථාදායක සභාව ද පඹගාලක පැටළුණි.
මේ අතර පසුගිය සතියේ දේශය හෙළිදරව් කළ පරිද්දෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංවිධානය කළ සාදය පසුගිය සතියේ පැවැත්වුණි. වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් ජූලි 18 වැනිදා රාත්‍රියේ මෙම සාදය පැවතියේය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනාටම සිය බිරින්දෑවරුන් සමඟ මෙම සාදයට සහභාගී වන ලෙසට ජනපති ඇරුයුම් කර තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූවක් අනූවක් පමණ සිය බිරින්දෑවරුන් සමඟ සාදයට සහභාගි වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් මන්ත්‍රී පවුල්වල දරුවෝ ද මෙහි පැමිණ සිටියහ.
ඒ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ මෙහි පැමිණ සිටි බව වාර්තා වේ. කෑම බීම ඇති පදමට තිබුණද මෙහි සංගීත සාජ්ජයක් නොපැවැති බව ආරංචි මාර්ග සඳහන් කරයි. තැන තැන කල්ලි ගැසී මන්ත්‍රීවරුන් සිය පවුල්වල පිරිස් සමඟ බොහෝ දේශපාලන කතිකාවල නිරතව ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ. මේ අතර ජනාධිපතිවරයා ද සිය ආර්යාව සමඟ මන්ත්‍රීවරුන්ගේ මේස වෙත ගොස් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු, සුවදුක් විමසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පසු දිනට සියලු දෙනාටම පාර්ලිමේන්තු කටයුතු ඇතුළුව, බොහෝ රාජකාරි යෙදී තිබූ බැවින් සාදය රාත්‍රී එකොළහ හමාර දොළහ පමණ වනවිට අවසන්ව ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට පවුලේ අය සමඟ පැමිණ සහභාගිවීමට මෙවන් සාදයක් සංවිධානය කරනු ලැබුවේ පළමු වතාවට වීම මෙහි සුවිශේෂීත්වයයි.
ජූලි 18 වැනිදා රාත්‍රියේ පැවැති මෙම සාදයට පූර්වයේ දෙමළ ජාතික සන්ධානය සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර පැවැත්වුණු සාකච්ඡාව ද කාගේත් අවධානය දිනා ගත්තේය. අප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනපතිගේ ඉන්දීය නිල සංචාරය ඉලක්ක කරගෙන මෙම සාකච්ඡාව පැවැතිමුත්, ඒ පිළිබඳව නිල වශයෙන් යමක් සඳහන් කිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවකි.
"අපිට හැමදාම විසඳුම් දෙනවා දෙනවා කියල කියනවා. ඒත් මේවා වෙන්නේ නෑ."
දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මෙහිදී අදහස් දක්වා තිබුණේ ප්රසාදයකින් නොවේ.
"මම එහෙම නෙවෙයි."
උතුරු නැගෙනහිර දේශපාලන අර්බුදය පිළිබඳ පැවැති මෙම සංවාදයේදී, ජනපති තමා මෙම ගැටලුවට විසඳුම් ලබා දීම මග නොහරින බව සහතික කරමින් කතා කර තිබේ.
"අපිට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තිබුණු බලතල ලබා දෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයත් පොරොන්දු වුණා."
සාකච්ඡාවක් පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම එම කරුණු ඉස්මතු කර ඇත.
"මම රනිල් රාජපක්ෂ නෙවෙයි. මම රනිල් වික්‍රමසිංහ."
යනුවෙන් ද පවසමින් ජනාධිපතිවරයා විසඳුම් ලබාදීම පිළිබඳ පිරිස තුළ යම් විශ්වාසයක් ඇති කිරීමට මෙහිදී උත්සාහ දරා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
"හැබැයි මට මේ වැඩේ තනියම කරන්න බෑ. මේ වැඩේ කරන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟතාවයක් හම්බවෙන්න ඕනෑ. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ පැත්තෙන් බලන්න. මාත් මගේ පැත්තෙන් කතා කරනවා."
මෙලෙස පැහැදිලි කර දී ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොලිස් බලතල හැර අනෙක් බලතල ලබා දීමට තමා උත්සාහ කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම රුස්වීම අවසන් වීමෙන් පසු වික්‍රමසිංහ ජනාධිපතිවරයා තවත් සුවිශේෂී උපදෙස් කිහිපයක් සිය කාර්ය මණ්ඩලය වෙත ලබා දී ඇතැයි වාර්තා වේ.
"මේ සාකච්ඡාවේ සම්පූර්ණ වාර්තාවක් හිටපු ජනාධිපතිවරු වෙත යවන්න."
ඒ අනුව පැය කිහිපයකින් ජනපතිගේ උපදෙස් මත හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන අය වෙත මෙම රුස්වීමේ වාර්තාවක් යැවීමට ජනපති කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ. හිටපු ජනාධිපතිවරුන්ගෙන් මේ සම්බන්ධ අදහස් ලබා ගැනීමට ද වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් ජනපති දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව එම සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණි. ඔවුන් කතා කර තිබුණේ ප්රසාදයකින් නොවේ. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සඳහන් කර තිබුණේ, ජනාධිපතිවරයා හමුවීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවකි.
දෙමළ ජාතික ප්රශ්නය විසඳීමේදී දෙමළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ලෝකයට හුවා දැක්වීමට පැවැත්වූ මෙම රුස්වීම, විශේෂයෙන් ඉන්දියාවට ‘ප්‍රදර්ශනයක්’ පමණක් බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
“ඔහු ව්‍යවස්ථාවේ ඇති කිසිවක් ක්‍රියාත්මක කිරීමටවත් කැමැති වූයේ නැත.”
ඒ අතර දේශයට වාර්තා වූයේ උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති රනිල් ලබන සතියේ නැවතත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට නියමිත බවය. ඒ සඳහා සියලු පක්ෂ කැඳවීමටද නියමිතය.
ගෙවී ගිය සතියේ විපක්ෂයේ ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබුණේ ද ඖෂධ අර්බුදයයි. සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳව රාවයක් සතියක දෙකක පටන් නිර්මාණය වි තිබුණි. මේ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය කළමනාකරණ කමිටු රුස්වීමක් කැඳවා මේ පිළිබද සාකච්ඡා කර තිබේ.
"සෞඛ්‍ය ඇමැතිට විතරක් විශ්වාසභංගයක් ගෙනල්ල වැඩක් නෑ. අපි මේ විශ්වාසභංගය ගේන්න ඕනෑ මුළු ආණ්ඩුවටම විරුද්ධව. ආණ්ඩුව කෙහෙළියට විරුද්ධව කිසිම පියවරක් ගන්නේ නෑ. ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාම නිහඬව ඉන්නවා."
සජබ මන්ත්‍රී කණ්ඩායමෙන් පිරිසක් එම සාකච්ඡාවේදී මතු කර ඇත්තේ මෙවන් මතයකි. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය රුගෙන ආ යුතු බව ඔවුන් පවසා තිබේ. සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුද මෙම මතයේ රුඳෙමින්, උත්සාහ දරා ඇත්තේ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිතන මන්ත්‍රීවරුන්ගේ ඡන්ද තම පාර්ශ්වය වෙත ලබා ගැනීමටයි.
"ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් අරගෙන ආවොත් එයාලා ඔක්කොම එකතු වෙනවා. මේ වෙලාවේ හොඳම දේ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන එක."
මෙලෙස යෝජනා කළ පිරිසක්ද මෙම රුස්වීමේ සිට තිබේ. මේ අතර මෙම අදහස තහවුරු කරමින් සමගි ජන බලවේගයේ තවත් ජ්‍යෙෂ්ඨයෙක් කතා කොට තිබේ.
"සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව මේ විශ්වාසභංගය ගෙන එනවා නම් අපිට සහයෝගය පළ කරන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිප දෙනකුත් බලාගෙන ඉන්නවා."
"ඒ කවුද?"
"එයාල කවුද කියල නම් කියන්න බෑ. එහෙම කිහිප දෙනෙක් ඉන්නවා. මේක ජාතික ප්‍රශ්නයක් හැටියට සලකලා ඒගොල්ලන්ගෙ සහයෝගය අපට ගන්න පුළුවන්."
කෙසේ හෝ සමගි ජන බලවේගය කළමනාකරණ කමිටු රුස්වීම අවසානයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම වඩාත් ප්‍රායෝගික බව යෝජනා ස්ථිර වී තිබේ. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම සමගි ජන බලවේගය විසින් ආරම්භ කෙරිණි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තරයේද සෞඛ්‍ය අමාත්‍ය ධූරය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කළ යුතු බව විශ්වාස කරන කිහිප දෙනකු ද සිටින බව ආරංචි මාර්ග තහවුරු කළේය. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතමයන් කිහිප දෙනකු අතරේ ද මේ සම්බන්ධව එකඟතා නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාගැනීමේ අභිප්‍රායෙන් පසුවන්නන් කිහිප දෙනකු පක්ෂය තුළ සේම ආණ්ඩු පක්ෂයේ ද වන බව දැනගැනීමට ලැබේ. මෙම ගැටලුව තවදුරටත් උණුසුම්ව තබාගැනීමට එම පිරිස ද දායකත්වයක් සපයන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කවුරුන් කුමන උත්සාහයක් දැරුවද ජනපතිගේ ඉන්දීය නිල සංචාරයෙන් අනතුරුව මේ සම්බන්ධව නිශ්චිත තීරණයක් ලැබෙනු ඇතැයි අප දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටී.
පසුගිය සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද රුස්විය. මැතිවරණ කොමිසමේ ඉතිරි සාමාජිකයන් දෙදෙනා පත්කිරීම සහ පොලිස්පති පත්කිරීම සම්බන්ධ නීතිමය තත්ත්වය විග්රහ කරගැනීම මෙම හමුවේ අරමුණ විය. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු සාමාජිකයන් නව දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දීර්ඝ සාකච්ඡාවක නිරතව තිබේ.
මෙහිදී මැතිවරණ කොමිසමට පත්කිරීම සඳහා නව සාමාජිකයන් දෙදෙනකුගේ නම් සභාව වෙත ඉදිරිපත් වී ඇත. කෙසේවෙතත් එම නාමයෝජනා පිළිබඳ සාකච්ඡා කළ පිරිස, අදාළ නාම යෝජනා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව තීරණය කළ ඇතැයි කියැවේ. ඒ අනුව නැවත නාමයෝජනා සලකා බැලීම් ඉදිරි රැස්වීමකදී සිදුවනු ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පති පත්කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. පොලිස්පති පත්වීම ස්ථිර පත්වීමක් ලෙස ලබා දෙනවාද, නැතිනම් වැඩබලන පත්වීමක් ලබා දෙනවාද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා ඇතිව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මේ වනවිට ජනාධිපතිවරයාගේ නාමයෝජනා පරිදි සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සංවාදයට හේතු වී ඇත්තේ සී.ඩී. වික්‍රමරත්න මහතා අවස්ථා කිහිපයකදී වැඩබලන පොලිස්පතිවරයෙක් ලෙස කටයුතු කර තිබීම සහ ඔහුගේ විශ්‍රාමික වයසයි. කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙම පත්වීම ස්ථිර පත්වීමක් ලෙස ලබාදිය යුතු බව ලිඛිතව දන්වා එවා ඇතැයි කියැවේ.
''මෙහි නීතිමය තත්ත්වය පිළිබඳ එකපාරටම අපිට පැහැදිලි කරගන්න අමාරුයි. මෙතැන මේ ඉන්න අයට මේ නීතිය පිළිබඳ දැනුම අඩුයි. අපි නීතිපතිවරයා ව්‍යවස්ථා සභාවට කැඳවල අහමු කොහොමද මේක කරන්නේ කියල.''
මෙවන් අදහසක් සභාව තුළින් මතුව ඇතැයිද ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නාම යෝජනාව සම්බන්ධව ගැටලුවක් උද්ගත වී නොමැත.
''මේක ජනාධිපතිවරයාගේ නාම යෝජනාව. රාජ්‍ය නායකයාට කැමති කෙනෙක් තමා පොලිස්පතිවරයා විදියට පත්කරගන්නේ. ඒ සම්බන්ධ ගැටලුවක් නෑ.''
ඒ අනුව සිකුරාදා වනවිට නීතිපතිවරයා කැඳවීමට ආණ්ඩුක්‍රම සභාව සූදානමින් සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය පසුගිය සතියේ ප්‍රධානතම දේශපාලන සිදුවීම විය. ජනපති ඇතුළු දූත පිරිසට මෙම කෙටි සංචාරය තුළදී විශාල වැඩ කොටසක් සිදුකර ගැනීමට අවශ්‍ය තිබුණි. එමනිසාම බ්‍රහස්පතින්දා පස්වරුවේ ආරම්භ වී සිකුරාදා රාත්‍රියේ නිමා වූ මෙම සංචාරය ඉතා කාර්යබහුල එකක් විය. දිල්ලි ගුවන් තොටට පැමිණි ජනපති පිළිගත්තේ ඉන්දීය විදේශ රාජ්‍ය ඇමැති මුරලිදරන් මහතා විසිනි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස නිල සංචාරයේ පළමු අදියරයේදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර්, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් යන රාජ්‍ය තාන්ත්‍රිකයන් රුසක් හමුවීමට කටයුතු කළේය. ඒ සමඟ අදානි සමූහ ව්‍යාපාර සභාපති ගෞතම් අදානිද හමුවිය.
මේ අතර වඩාත්ම සුවිශේෂී සිදුවීම වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබු දිවා භෝජන සංග්‍රහයයි. රාජ්‍ය නායකයන් දෙපළ පමණක් සහභාගි වූ ''වන් ටූ වන්'' භෝජන සංග්‍රහයක් ලෙස මෙය සංවිධානය වී තිබුණි. සාමාන්‍යයෙන් මෙවන් භෝජන සංග්‍රහ පවත්වන්නේ ඉතා කලාතුරකින්ය.
ඉන්දීය දේශපාලන තොරතුරු අනුව දැනගැනීමට ලැබෙන පරිදි, මින් පෙර ඉන්දීය ජනාධිපතිවරයා මෙවන් භෝජන සංග්‍රහයක් පවත්වා ඇත්තේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් වෙනුවෙන් පමණි. ඒ අනුව විශේෂ භෝජන සංග්‍රහය සංවිධානය වී ඇත්තේ ඉන්දු-ලංකා සබඳතා තරකර ගැනීමේ අරමුණෙනි.
මෙම සංචාරය අතරතුරදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ විශේෂ සාකච්ඡා සහ තවත් ක්ෂේත්රය කිහිපයකට අදාළ ගිවිසුම්ද අත්සන් කිරීම සිදුව ඇත. විදුලි බලය සහ බලශක්තිය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නළයක් එලීම, ත්‍රිකුණාමලයේ ආර්ථික හබ් එකක් ඇති කිරීම, ඉන්දීය රුපියල් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම ආදී ක්ෂේත්‍ර සුවිශේෂි අවධානය මෙම සංචාරය අතරතුරදී යොමුව තිබුණි. ඒ අනුව ප්‍රධාන ගිවිසුම් 4කට අත්සන් තැබූ බව කියැවේ.
පසුගිය සතියේ ජාතික ජනබලවේගය විසින් අලුත් මාතෘකාවක් දේශපාලන කරළියට රුගෙන ඒමට කටයුතු කළේය. තිරිඟු පිටි ඒකාධිකාරිය විසින් මැතිවරණ සඳහා මුදල් යොදවන බවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. පසුගියදා පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය සිදුකළේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාය.
ඔහු මේ බව පැවසූවේ සමාගම් දෙකකට වෙළඳපොළේ තිරිඟු පිටි ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප්‍රශ්නයක් ආණ්ඩුවට යොමු කරමිනි.
''ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙමින් තිබියදී තිරිඟු ඇට මිල අඩුවෙමින් තිබියදී ඩොලරයේ අගය අඩුවෙමින් තිබියදී ඒ වාසිය පාරිභෝගික ජනතාවට යන්නේ නැතුව වෙන ආකාරයකින් ඒ සමාගම්වලට මුදල් උපයා ගැනීම සඳහාත් විවිධ දේශපාලන අධිකාරීන් වෙත මැතිවරණ ව්‍යාපාර, ජනාධිපති ඡන්දය සඳහා ෆන්ඩ් එක හදනවා මේ සල්ලිවලින්.''
අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ මෙම එම ප්‍රකාශය දේශපාලන කරළියේ විශේෂ අවධානයක් දිනා ගත්තේය. ඔහු මෙම ආයතනවලට ඍජුව චෝදනා කිරීම මීට හේතුව විය.
''මේකයි තියෙන එකඟතාවය. මේගොල්ලො හැම ජනාධිපතිවරණ ඡන්දෙකම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය, නොදන්න කෙනෙක් නැහැ ඒක. මේ මොකක්ද කරන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේ අරමුදල් සඳහා තමයි මේ පිටි අධික මිලකට පාරිභෝගික ජනතාවට ලබාදෙන්න සිදු වී තිබෙන්නේ.”
පසුගිය සතියේ ටෙලිකොම් සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධ සිදුවීමද ඉහළ අවධානයක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධූරයෙන් තමන්ව ඉවත් කිරීම “අධ්යක්ෂ මණ්ඩලයේ සිදුවූ කුමන්ත්‍රණයක්” බවත් තමා ඉවත් කිරීම පිටුපස ඇත්තේ ටෙලිකොම් ආයතනය විකුණා දැමීමේ අරමුණ බවත් එහි හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු පසුගිය තව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසීය.
“මම හිතන්නේ, මම මේකට කියන්නේ boardroom coup කියන්නේ. අධ්යක්ෂ මණ්ඩලයේ ඇතිවුණු කුමන්ත්‍රණයක් හැටියටයි මම මේක සලකන්නේ. මට හිතාගන්න බැහැ. මොකද මම හිතන එකම කාරණය, මේක විකිණීමේ අවශ්‍යතාව කියල තමයි මම හිතන්නේ. සමහර විට මම මේකට බාධකයක් වෙන්න පුළුවන්.''
කෙසේවෙතත් වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී රොහාන් ප්‍රනාන්දු මහතාව සභාපති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඔහු වෙනුවට මැලේසියානු ජාතික රියාස් මියුලර් අධ්යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්ව ඇතැයිද වාර්තා වේ.
I චමිඳු නිසල් ද සිල්වා