ලංකාවේ අවුරුදු 05 ට අඩු ළමයින් සහ කාන්තාවන් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබේ. එම සමීක්ෂණයට අනුව අවුරුදු 05 ට අඩු ළමයින් 300,746 ක් සහ කාන්තාවන් 671,142 ක් මන්දපෝෂණයෙන් පීඩා විඳිති. මේ පිරිස පළාත් 09 පුරාම විසිරී සිටින අතර වැඩිම පිරිසක් වෙසෙන්නේ බස්නාහිර පළාතේ බවද සඳහන්ය.
මේ තොරතුරු හෙළි වී තිබුණේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පොහොට්ටු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමුකළ ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබාදුන් පිළිතුරෙනි. මෙය දරුවන්ගේත් මවුවරුන්ගේත් පෝෂණය සම්බන්ධයෙන් උනන්දු වන කාගේත් අවධානයට යොමුවිය යුතු තත්ත්වයක් බව අපි සිතමු. පක්ෂ, විපක්ෂ වෙනසකින් තොරව සියලු මැති ඇමැතිවරුන්ගේත් අවධානය යොමුවීමද අවශ්‍යය.
මන්දපෝෂණ තත්ත්වය සැලකීමේදී වඩාත් විශ්මය දනවන කාරණය වන්නේ බස්නාහිර පළාතෙන් වැඩි පිරිසක් වාර්තා වීමය. ජනගහනය අතින් වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු වන්නට ඇතැයි කිව හැකි වුවද ආර්ථික වශයෙන්ද වඩාත් ඉදිරියෙන් සිටින්නේත් බස්නාහිර පළාතය. එවැනි තත්ත්වයකදීත් මන්දපෝෂණයෙන් පීඩා විඳින වයස අවුරුදු 05 ට අඩු දරුවන් අධික සංඛ්‍යාවක් බස්නාහිරෙන් වාර්තා වන්නේ කෙසේදැයි සොයා බැලීම අවශ්‍යය. ආහාර නොලැබෙන තරම් දරුණු තත්ත්වයකට මුහුණදෙන දරුවන් බස්නාහිර පළාතේ සිටින බව ඇසීමත් පුදුමයක් බැවිනි.
දැනට පවතින තත්ත්වය උදා වූයේ රටේ ආර්ථික කඩා වැටීම සමඟම දැයි පැහැදිලි නැත. විශේෂයෙන් කොවිඩ් වසංගතයේ බලපෑමෙන් ඇතිවූ හානියද එයට හේතුවක් විය හැක. නමුත් අප දන්නා තරමින් කොවිඩ් වසංගත අවස්ථාවේදී පවා හැකි හැම දෙනකු වෙතම ආහාර සැපයීමට ආණ්ඩුව උපරිම උත්සාහයක් දැරූ බවද අපට මතකය. එසේම ඒ කාලයේදී ආර්ථිකයේ පසුබෑමක් මිස කඩා වැටීමක් තිබුණේද නැත. මන්දපෝෂණ තත්ත්වයට කොවිඩ් බලපෑමක් සිදු වූ බවට තොරතුරක්ද දැනගන්නට නොතිබිණි.
එහෙත් මන්දපෝෂණ තත්ත්වයට රටේ ආර්ථික අර්බුදයේ බලපෑම තදින්ම හේතු වී ඇති බව පැහැදිලිය. මේ අර්බුදය සමඟ රටේ ජනතාවගෙන් බහුතරයකට තමන් ගෙවමින් සිටි එදිනෙදා ජීවිතය අහිමි විය. එහි උපරිමය වූයේ දිනකට ගන්නා ප්‍රධාන ආහාර වේල් සංඛ්‍යාවද සීමාවන්ට කොටුවීමය. එහිදී වඩාත්ම පීඩනයට මුහුණ දුන්නේ දරුවන් බව නොරහසකි.
මවුපියන් කෙසේ හෝ සොයාගන්නා ආහාර මුලින්ම ලබාදෙන්නේ තමන්ගේ දරුවන්ට බව අප දන්නා සත්‍යයයි. එහෙත් එසේ ලබාදෙන ආහාරද ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් ගිය බවත් අවසානයේ ඇතැම් දරුවන්ට ආහාර අහේනිය හේතුවෙන් පාසල් කාලය තුළදී කලන්තය සෑදුණු බවත් වාර්තා විය. එහිදී දේශපාලනඥයන්ගේ නම් පිළිතුර වූයේ එවැනි දෙයක් තමන්ගේ බල ප්‍රදේශවල පාසල්වල සිදු නොවූ බව කීම පමණි. දරුවන් පාසල්වල කලන්තෙ දමන බව පෙනි පෙනීත් ඇතැමුන්ගේ පිළිතුර වූයේ එහෙම නොවෙන බව පමණි. නමුත් එවැනි පාසල්වල ගුරු දෙගුරුන් එකතු වී පාසල්වල ආහාර පෙට්ටි නම් සංකල්පයක් ගොඩනංවාගෙන හැකි පමණ ආහාර පාර්සල් සකස් කර කන්න නැති දරුවන්ට ලබාදෙන තුරු සමහරුන්ගේ ඇස් ඇරුණේ නැත. දැන් එවැනි තත්ත්වයක් නැති වුවද මන්දපෝෂණයෙන් පීඩා විඳින දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරුවලින් පෙනෙන්නේ එම ආහාර අහේනිය එකී තත්ත්වයට හේතු වී තිබෙන බවකි. අදාළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේම ඇමැතිවරයකු බැවින් මන්දපෝෂණ තත්ත්වය විපක්ෂයේ මඩ ගැසීමක් වශයෙන් ලඝු කිරීමටද හැකියාවක් නැත.
මේ අප දකින්නේ ආර්ථිකය කඩා වැටී වසරක් ඉක්ම යන කාලසීමාවේදී ඇතිවී තිබෙන තත්ත්වයකි. මේ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කිසියම් වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යය. සමෘද්ධිය, අස්වැසුම වැනි දිළිඳුකම දුරලන වැඩසටහන් තිබියදී පවා මෙසේ මන්දපෝෂණ තත්ත්වයක් පිළිබඳ කරුණු හෙළිවීම එක් අතකින් කනගාටුවට කරුණකි. රටේ ආධාර අවශ්‍යම වන ඉතා පහළම ස්ථරයේ සිටින අන්ත දිළිඳු පිරිසකට ප්‍රමාණවත් ජීවන ආධාරයක් නොලැබීම මෙයට හේතුව දැයි සොයා බැලිය යුතු නොවේද?
රටේ වර්තමාන ජනගහනය මිලියන 220 ක් වශයෙන් සැලකුවහොත් මන්දපෝෂණයට මුහුණ දී සිටින කාන්තාවන් සහ වයස අවුරුදු 05 ට අඩු ළමුන් සංඛ්‍යාවේ එකතුව ආසන්නව එක් මිලියනයක් වන බැවින් ජනගහනයේ සෑම 22 කින් එක් අයකුම මන්දපෝෂණයෙන් පෙළෙන බව මේ සංඛ්‍යාලේඛනවලින් හෙළි කරන සත්‍යයයි. එය වහා පිළියම් යෙදිය යුතු තත්ත්වයක් බව උලුප්පා පෙන්විය යුතු නැත.