උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ ''ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්'' වශයෙන් හඳුන්වන, පසුගිය වසරේ ඇතිවූ අරගලය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරීක්ෂණයක් කළ යුතු යැයි ප්‍රකාශ කරයි. වමේ දේශපාලන කඳවුරේ කසකාරයකු වශයෙන් ප්‍රසිද්ධව සිටි විමල්ගේ සභාගය දේශපාලන පක්ෂයක් වශයෙන් තවම ලියාපදිංචි වී නැත.
''මේ දුෂ්ට කුමන්ත්‍රණය සම්බන්ධ තවදුරටත් තොරතුරු දැන ගැනීමෙන් පසුව මේ ඉල්ලීම කිරීම සඳහා ජනාධිපති හමුවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.''යැයි ඔහු අප සමඟ කීය. ඔහු මේ සම්බන්ධයෙන් පළමුවරට හෙළිකළ තොරතුරු ''නවය - සැඟවුණු කතාව'' නම් වූ පිටු 135කින් සමන්විත පොතේ අඩංගු විය. එම පොත පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කෙරිණි.
තමන් සතු තොරතුරු වැඩිදුරටත් හෙළිකිරීමෙන් විමල් වීරවංශ වැළකී සිටියේ ''වැරදියට වාර්තා කරන්න පුළුවන්'' යැයි ප්‍රකාශ කරමිනි. මේ පිළිබඳ විභාග කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහට මේ තොරතුරු මුලින්ම ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා තමන්ගේ පොතෙන් හෙළිදරව් කළ තොරතුරු දැන සිටි අතර ඒ බව පසුගියදාලන්ඩනයේ සිදුකළ සංචාරයේදී කළ කතාවක ඔහු සඳහන් කර තිබූ බවද ඔහු කීය. ''අප අතේ තිබෙන සාක්ෂි වෙනත් පාර්ශ්වයක් අතින් දියාරු වෙනවා දකින්න අපි කැමැති නැහැ.'' විමල් සඳහන් කරයි.
ඔහු ප්‍රකාශ කරන්නේ ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා තම ධුරය අතහැර යාමට පෙර මෙවැනි කොමිසමක් පත් කළ යුතු යැයි යෝජනා කළ බවය. නමුත් ඒ ඉල්ලීම ඉටු නොවූ අතර සාමාජිකයන් තිදෙනකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කෙරුණේ ඒ අනුව බවද ඔහු කියයි.
අප විසින් මැයි 07 වැනිදා වාර්තා කළ පරිදි රාජ්‍ය ඒජන්සියක් මගින් විමල්ගේ පිටු 135කින් යුත් පොතේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර තිබේ. සිංහල භාෂාවෙන් පළ වූ එම ග්‍රන්ථයේ මේ වනවිට රුසියානු සහ ඉංග්‍රීසි භාෂා පිටපත් මුද්‍රණය කෙරෙමින් තිබෙන බවද විමල් කියයි. සිංහල පිටපත් තවත් 10,000ක් ළඟදීම නිකුත් කරන බවද සඳහන්ය.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග්ට එරෙහි අරගලයට සම්බන්ධව පවතින චෝදනා පිළිබඳ විමල් යළිත් බරපතළ විවේචනයක් කර ඇතැයිද සඳහන්ය. කෙසේ වුවද ඇය මේ චෝදනා දිගින් දිගටම තදින්ම ප්‍රතික්ෂේප කරන අතර ඒවා ''බොරු'' යැයි ප්‍රකාශ කරයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරෑ කාලයේ විමල් සැලකුණේ ඔහුගේ සමීප විශ්වාසවන්තයකු වශයෙනි. ඔහු සහ ඔහුගේ පක්ෂය අමෙරිකානු විරෝධීය. රාජ්‍ය ඒජන්සියක් මගින් ඔහුගේ ග්‍රන්ථයේ තොරතුරු හඹා යන්නේ ජාතික ආරක්ෂාවට සහ සමාන ක්‍රියාවලට සම්බන්ධව තොරතුරුවල නිරවද්‍යභාවය සොයාගැනීම සඳහා බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
''ජනාධිපති ගෝඨාභය සහ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් අතර සමීප මිත්‍රත්වයක් පැවතුණා. කලහකාරී සිදුවීම්වලින් පස්සේ තානාපතිනිය ජනාධිපති ගෝඨාභයට කතා කළා. ඔහු මුහුණ දුන් පීඩාකාරී තත්ත්වය ගැන අනුකම්පා කරන බවද ඔහු වෙනුවෙන් යාච්ඥා කරන බවද කියා තිබුණා. ඊට පසු දින අමාත්‍යවරයකුට මේ බව ජනාධිපතිවරයා කියා තිබුණේ ඇයගේ එම ක්‍රියාව තමන්ට මහත් අස්වැසිල්ලක් වූ බවද සඳහන් කරමින්. ගෝඨාභය ජනාධිපති මිරිහානේ සිද්ධියෙන් පස්සේ ඉවත් නූනත් ආරක්ෂක උපදෙස් අනුව ජනාධිපති මැඳුරට ගියා. විරෝධතා පැතිරී ගියා. 2022 අප්‍රේල් 02 ට්විටර් පණිවුඩයක් නිකුත් කළ තානාපතිනිය සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතියට ගරුකරන බව කියා තිබුණා. ඇය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් ගෝල්ෆේස් කරා එම විරෝධතාව ගෙනයාමට වේදිකාවක් හැදුවා. ''ගෝඨා ගෝ හෝම්'' සටන් පාඨය වෙනකොට මාධ්‍යවේදීන් විමසුවේ ගෝඨාභය වෙනුවට පත් කරන්නේ කවුද කියලයි. ඒකට පිළිතුරු වුණේ ඒ ගැන සිතන්න අවශ්‍ය ගෝඨා ගෙදර යැව්වට පස්සේ බවයි.''
මේ වගේම විමල් හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාටද දැඩි ලෙස චෝදනා කර තිබිණි. කෙසේ වුවද එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ජෙනරාල් ශවේන්ද්‍ර එක් චෝදනාවකට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කර තිබේ.
''අප ජනාධිපති වික්‍රමසිංහ හමුවුණාම දැනුම් දෙනවා තව බොහොමයක් සිද්ධීන් ගැන අප සතු තොරතුරු. ජාතික අවශ්‍යතාවක් සේ සලකා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පැහැර හැරිය නොහැකියි'' විමල් කියයි.
- සන්ඩේ ටයිම්ස්
ජල බිල වැඩි කිරීමේ යෝජනාව උණුවතුරේ වැටෙයි
ජල ගාස්තු වැඩි කිරීමට ගනු ලබන තීන්දුව ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පසුගිය 07 වැනිදා ආණ්ඩු පක්ෂ සංවිධායකගේ කාර්යාලය මගින් රුස්වීමක් කැඳවා තිබුණි. එහෙත් එම රුස්වීම හිටිඅඩියේ අත්හිටවනු ලැබීය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 මේ රුස්වීම සඳහා වෙන්කර තිබිණි. එදින පාර්ලිමේන්තුව පැවති දිනයක් බැවින් බොහෝ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. දහවල් 12.30ට පැවැත්වීමට නියම කරගෙන තිබූ මෙම රුස්වීමට සහභාගි වෙන්නැයි දැනුම්දෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සිහිකැඳවීම් පණිවුඩ ගණනාවක් යවා තිබිණි.
කෙසේ වුවද රුස්වීමේ ආරම්භයට මිනිත්තු 05ක් තිබියදී ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය මගින් හදිසියේම මන්ත්‍රීවරුන්ට එස්.එම්.එස්. පණිවුඩයක් ලැබිණි. ඒ වනවිටද ඇතැම් මන්ත්‍රීහු රුස්වීම සඳහා අසුන් ගැනීමට කමිටු කාමරයට පැමිණෙමින් සිටියහ. එම පණිවුඩයෙන් කියැවුණේ ''නොවැළැක්විය හැකි හේතුවක්'' නිසා රුස්වීම එදින නොපැවැත්වෙන බවය.
ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රුසක් මේ ජල බිල වැඩි කිරීමේ යෝජනාවට විරුද්ධ වීම හේතුවෙන් රුස්වීම කැන්සල් කෙරුණු බවය. ඉතාම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ද මේ යෝජනාවට විරුද්ධ වූ පිරිසේ සිටියේය. කැබිනට්ටුව මගින් ගෙන තිබූ මේ යෝජනාවට මන්ත්‍රීවරුන් රුසක් ඒ වනවිටද තමන්ගේ අකැමැත්ත දැනුම් දී තිබී ඇත.
ජල බිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් දැන් සාකච්ඡා පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
''නැව ගිලුණත් බෑන් චූන්'' රාජ්‍ය ආයතනේ!
මෙරට අධික ලෙස පාඩු ලබන එක් රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසක් බදු ගෙවන ජනතාවගේ මුදලින් අමෙරිකානු ඩොලර් 44,788ක් වැයකර රට සවාරි යාම සඳහා ඉල්ලීම් කර ඇතැයි සඳහන් වේ. එය ශ්‍රී ලංකා රුපියල් වලින් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලකි.
මේ සංචාරක වියදම් සඳහා බිල්පත් පසුගිය ජූනි මාසයේ සිට ජූලි මැද දක්වා කාලයක් සඳහාය. නිලධාරීන් 34 දෙනෙක් රට සවාරි 20ක් පමණ සංඛ්‍යාවකට මේ බිල්පත් ඉදිරිපත් කර ඇත. අග්නිදිග ආසියානු කලාපීය රටවල්, බටහිර ආසියානු රටවල් සහ යුරෝපා රටවල් ඔවුන්ගේ ගමනාන්ත වී තිබේ. සම්මන්ත්රණ, පුහුණු සහ ප්‍රවර්ධන කටයුතු මේ සඳහා හේතූන් වශයෙන් දක්වා ඇති අතර සම්මාන ප්‍රදානෝත්සවයක්ද එක් අවශ්‍යතාවක් වශයෙන් දක්වා තිබිණි. ඇතැම් නිලධාරීන් කිහිප වතාවක්ම රට සවාරි සඳහා ඉල්ලුම් කර තිබේ.
මේ සියලු සවාරි අනුමත කර නැති අතර ඇතැම් ඉල්ලීම් පවතින්නේ සලකා බලන මට්ටමේය. කෙසේ වුවද 2021-2022 කාලය තුළ රුපියල් බිලියන 163කට අධික පාඩුවක් ලබා ඇති මේ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් තුළ ජනතාවගේ බදු මුදලින් රට සවාරි ගැනීමට තිබෙන ගිජුකම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් විමතිය පළකර තිබේ. ඔවුන් කියන්නේ මේ ආයතනය ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ වුවත් ඔවුන් ''නැව ගිලුණත් බෑන් චූන්'' හැටියට ක්‍රියාකරන බවය.
- සන්ඩේ ටයිම්ස්