රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් පිරෙද්දී ඔහුගේ එක් විශාල බලාපොරොත්තුවක් ඉටු කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට අවස්ථාව ඔහුට ලැබිණි. ඒ අනුව ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් එහිදී ඉන්දීය අගමැති මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර ඉන්පසුව දෙදෙනාම ඒකාබද්ධ මාධ්‍ය හමුවකටද සහභාගි වීම කැපී පෙනිණි.
ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දියාවේ ප්‍රබල නිලධාරියකු වන ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉහළම පෙළේ ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානිද හමු විය. එසේම ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මියද විදේශ ඇමැති ජයශංකර්ද හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (21) පස්වරුවේ ආපසු පැමිණියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය. එහිදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවය. ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙන බවත් ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශ්වයන්ගේද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේද කියා තිබිණි.
&අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයෙන් නවදිල්ලියට පැමිණීමට ලැබීම මා ලද ගෞරවයක් ලෙස සලකනවා. පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරය මට සහ මගේ රජයට ඉතා වැදගත් සංචාරයක් බව කිවයුතුයි. මෙම සංචාරයේදී මට සහ මගේ දූත පිරිසට දැක්වූ ආගන්තුක සත්කාරය වෙනුවෙන් මම අගමැති මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා.
අද උදෑසන අගමැති මෝදි මැතිතුමා සහ මට අපේ රටවල මෙන්ම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල මෑතකාලීන වර්ධනයන් පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලැබුණා. ඉන්දියාවේ ජනතාවගේ වර්ධනය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්ෂණය යන ක්ෂේත්රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් අගමැති මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව අඛණ්ඩව අත් කරගෙන ඇති විශිෂ්ට ප්‍රගතිය පිළිබඳව මම සුබ පතනවා.
ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රාජ්‍යයන්ට සහ ඉන්දියානු සාගර කලාපයට ප්‍රයෝජනවත් වනු ඇති බව අපි විශ්වාස කරනවා.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් අත්විඳින ලද අසාමාන්‍ය අභියෝග සහ මෙම අභියෝග ජයගැනීමේදී මා විසින් ප්‍රතිසංස්කරණමය ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කළ බවටද මම අග්‍රාමාත්‍ය මෝදි මහතාව දැනුවත් කළා.
අපගේ මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අගමැති මෝදි මැතිතුමාට, ඉන්දීය රජයට සහ ජනතාවට මම එහිදී හෘදයාංගම ස්තූතිය පළ කළා.
ප්රතිසන්ධානය හා බලය බෙදීම සහ උතුරේ සංවර්ධන සැලැස්මේ බහුවිධ අංගයන් තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා මා පසුගියදා ඉදිරිපත් කළ විස්තීර්ණ යෝජනාවලිය පිළිබඳවද මම එතුමා සමඟ සාකච්ඡා කළා. මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්මුතියකින් යුතුව සහ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබෙනවා.
රටවල් දෙක අතර වැඩිදියුණු කරගන්නා සම්බන්ධතාවයන් සංචාරක ව්‍යාපාරය, අන්තර් පුද්ගල හුවමාරු සහ සංස්කෘතික සබඳතා යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ඇති බවට එකඟතාවක් අප අතර තිබෙනවා.
හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතා සහ ගෝලීය කැපවීම්වලට අනුකූලව, බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා, හරිත හා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ හවුල් වීම ඉතා වටිනා අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව දකිනවා.
මෙම සන්දර්භය තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුම සාර්ථක කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධි ධාරිතා විදුලි අන්තර් සම්බන්ධතා ජාලයක් ස්ථාපිත කිරීමට හැකිවන අතර එමඟින් දෙරට අතර ද්වි-මාර්ග විදුලි බල වෙළෙඳපොළට අවකාශ හිමිවෙනවා.
ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහාද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වනවා.
ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම, ශ්‍රී ලංකාව වෙත දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති සම්පත් සැපයුමක් සහතික කරනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි සහ මම විශ්වාස කරනවා.
වැඩි සමාජ-ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වන අපගේ පොදු උනන්දුව සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අපගේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට කිරි නිෂ්පාදන සහ සත්ත්ව පාලන ක්ෂේත්රවල දෙරට අතර සහයෝගීතාවය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද අප සාකච්ඡා කළා.
අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාවය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ ප්‍රධාන අංගයක් වනවා. ඉන්දියාවේ ආධාර ඇතිව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම වැදගත් බවත් අප විශ්වාස කරනවා. එය අපගේ තරුණ තරුණියන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීමට ඉවහල් වන අතර ඔවුන් ජාතික සංවර්ධනට දායක කර ගැනීමක්ද වෙනවා.
ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයේ නිරතව සිටියදී ඔහුගේ කැබිනට්ටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සිකුරාදා (21) විපක්ෂය කතානායකවරයාට බාර දුන්නේය. එම යෝජනාවට මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් කර තිබූ බවද කියයි. කෙහෙළිය කියා තිබුණේ තමන් ඕනෑම අභියෝගයකට සූදානම් බවය.
කෙසේ වුවද සෞඛ්‍ය ගැටලු ආණ්ඩුවට මහත් හිසරදයක් වී ඇති බවත් පෙනී යයි. මෙය ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවට එරෙහිව ප්‍රබල සටන්පාඨයක් වනු ඇති බව පෙනෙන්නට තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඊ.ටී.එෆ්. එකට සිදුවිය හැකි බලපෑමද ඇති කරන්නේ ආණ්ඩුවට අසීරු තත්ත්වයකි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ ඉදිරියෙන් සිටියත් රට ඇතුළේ දේශපාලන කරළියේ ගැටලු සංකීර්ණ බවට පත්වෙමින් තිබේ. මේ තත්ත්වය ඉදිරියේදී කොයි අතට හැරෙයිදැයි දැන්ම කියන්න පහසු නැත. හැබැයි පැහැදිලිව පේන්නේ ළඟකදී මැතිවරණයක් නම් පැවැත්වෙන්නේ නැති බවය.
I ශශීන්ද්‍ර