මේ රටේ ආර්ථිකය ගැන කතා විවිධය. විෂමය. සිත නිවන කතා මෙන්ම හද පාරවන කතාද නිමක් නැත. ලොරි ටෝක් ද අසීමිතය. එහෙත් තවමත් අඳුරු වළාවල රිදී රේඛා දකිනවා හැරෙන්නට තිරසාරව ආර්ථිකය යහපත් අතට හැරෙන බවක් පෙනෙන්නට නැත. ආර්ථිකයේ වර්ධනය සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා වී ඇති බවක්ද පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයෙන් එම තත්ත්වය පැහැදිලිව පෙනී ගියේය. ඔහුගේ එම ප්‍රකාශයට අනුව මෙරට ආර්ථිකය පවතින්නේ යම් ස්ථාවර මට්ටමකය. තවදුරටත් ඔහු කියන්නේ පසුගිය කාල සීමාවේදී තිරසර නොවන ආර්ථික රටාවක් පැවතියත් එය යළි ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඉදිරියේදී ආර්ථික වර්ධනය යහපත් මට්ටමකට ළඟාවනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බවය.
මහ බැංකු අධිපතිවරයා එසේ කිව්වත් මේ වනවිට යළිත් රුපියල අවප්‍රමාණ වෙමින් තිබේ. ''බ්ලූම්බර්ග්'' වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මීට සති තුනකට පෙර දකුණු ආසියාවේ හොඳම මුදල් ඒකකය බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ රුපියල දැන් දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබෙන බවය. එපමණකින් නොනැවතී ඔවුන් පුරෝකථනය කර තිබුණේ ලබන දෙසැම්බර් අවසානය වනවිට ශ්‍රී ලංකාවේ රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 355ක පමණ මට්ටමට ළඟාවීමට ඉඩ තිබෙන බවය. එසේ වුවහොත් එය රුපියලේ විශාල කඩා වැටීමකි. එහි ප්‍රතිඵල වඩාත්ම බලපානු ඇත්තේ හැමදාමත් පීඩා විඳින මෙරට බදු ගෙවන ජනතාව සහ ඉතා දිළිඳු මට්ටමේ සිටින ජනතාවය. එය යහපත් අතට හැරෙමින් තිබෙන රට යළිත් කරකවා අතහැරීමක් හා සමාන වනු ඇත.
රටේ පසුගිය වසරේ පැවති තෙල්, ගෑස් පෝලිම් අද නැති බව සත්‍යයකි. එසේම පෙට්රල්, ඩීසල් මිල ගණන්ද පසුගිය වසරට සාපේක්ෂව අඩුය. ගෑස් මිල කැපී පෙනෙන ලෙස අඩුවෙමින් තිබේ. සහල් සහ පාන් පිි වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්ද පහළ බැස තිබේ.
එහෙත් එය ආර්ථිකය ස්ථාවර වීමක් වශයෙන් සැලකීමට හැකියාවක් නැත. දැනට පවතින මිල ගණන්වලට වඩා මීට වසර කිහිපයකට ඉහතදී භාණ්ඩ මිල තිබුණේ අඩුවටය. පසුගිය වසරේ තිබූ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය මේ වනවිට අඩු වී තිබුණද බොහොමයක් භාණ්ඩවල මිල ගණන් පවතින්නේ ඉතා ඉහළ මට්ටමක බව හඳුනා ගැනීමට අපහසු නැත. එහි පීඩනය ජනතාවට තදින්ම දැනෙමින් තිබේ. මාළු, කුකුළු මස් පමණක් නොව ඇතැම් එළවළු වර්ගද ඇතුළු ආහාර වර්ග මිල ගණන්ද පවතින්නේ ඉහළ මට්ටමේය.
එසේම පාසල් යන දරුවන් සහ මවුපියන් මුහුණ දී සිටින්නේද බරපතළ ආර්ථික ගැටලුවලටය. පාසල් වෑන් ඇතුළු ගමනාගමන වියදම් ඉහළ ගොසිනි. බස් ගාස්තු තරමක් අඩුවුවද සෙසු වියදම් අඩු වී නැත. ළමයින්ගේ පාසල් උපකරණ, සපත්තු, මේස් පමණක් නොව ඔවුන්ට අවශ්‍ය ඇඳුම්ද සපයා ගැනීමට යන වියදම බොහොමයක් මවුපියන්ට දරා ගැනීම අපහසුය. මේ තත්ත්වය නොවෙනස්ව පවතිද්දී ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සිදුකෙරෙන අනාවැකි ඇස්බැන්දුම් හැටියට ජනතාවට නොදැනෙනවා නම් එය පුදුමයකි.
බෙහෙත් මිල ගණන් සම්බන්ධයෙන්ද ඇත්තේ මේ හා සමාන කතාවකි. රටින් ගෙන්වූ ඇතැම් බෙහෙත් පමණක් නොව මෙරට නිෂ්පාදිත ඇතුළු බෙහෙත්ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවේ හිරවී සිටියදී බෙහෙත් වර්ග කිහිපයක පමණක් මිල ගණන් 16%කින් අඩුවීම ඇඟට දැනෙන්නේ නැත. ඩොලරයේ නැගීමත් සමඟ සියලුම ඖෂධ වර්ග මිල ගණන් ඉහළ ගියේ 300%ක තරම් මට්ටමකිනි. එපමණක් නොව රජයේ රෝහල්වල බෙහෙත් වර්ග සහ උපකරණ හිඟවීම හේතුවෙන් රෝගීන්ට කෙරෙන ප්‍රතිකාරද අඩාල වී තිබේ. මෙවැනි තත්ත්වයක් පවතිද්දී රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බවට කරන ප්‍රකාශ පිළිගැනීමට ජනතාව පෙළඹෙන්නේ නැත.
රජය සියලු බලාපොරොත්තු තබා ඇත්තේ සැප්තැම්බරයේදී ලැබීමට නියමිත අයි.එම්.එෆ්. ණය මුදලේ දෙවැනි වාරිකය පිළිබඳවය. එය ලබාගැනීම ඉලක්ක කර ගනිමින් පසුගිය කාලය තුළදී ගනු ලැබූ පියවර රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් බඳු විය. විශේෂයෙන් විදුලි බිලේ ඉහළ යාම සහ බදු ඉහළ දැමීමේ සීමා දරා ගැනීමට ඉතා අපහසුය. එහෙත් රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ බොහොමයක් අපහසුකම් බහුතරයක් ජනතාව ඉවසා ගෙන සිටිති. නමුත් මේ ඉවසීමේ සීමාව රටේ ආර්ථිකය ස්ථාවර වනතුරු පවතීද යන්න ගැන සහතිකයක් නැත. මේ නිසා රටේ ආර්ථිකය පිළිබඳ සිදුකරන පුරෝකථන ජනතාවට සිදුකරන බලපෑම් පිළිබඳ අවබෝධයක් එම පුරෝකථන සිදු කරන බලධාරීන්ට තිබීමද අවශ්‍යය.