2023 ජුලි 29 වන සෙනසුරාදා

නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ලිපි ’’සටන’’

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 75


නැගෙනහිර ආණ්ඩුකාරවරයා පසුගිය සති කිහිපය තුළ මාධ්‍ය සිරස්තල මැව්වේ රාජ්‍ය අංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සමඟ මතභේද ඇතිකර ගැනීම හේතුවෙනි. මේ අතර භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් සහ ආණ්ඩුකාරවරයාගේ කාර්යාල නිලධාරීන් අතර ඇවිලී ගිය ලියුම් හුටපටය දැන් වෙනතකට හැරෙමින් තිබේ.

මීට පෙර වාර්තා වූයේ නැගෙනහිර ආණ්ඩුකාරවරයා තම පළාතේ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දීමක් කරමින් යළි දැනුම් දෙන තුරු පළාතේ ඛනිජ වැලි සහ කාර්මික ඛනිජ සඳහා වන කිසිදු යෝජනාවක් සඳහා අනුමැතිය ලබාදීම අත්හිටුවන ලෙසටය. එම ඉල්ලීම් අනුව පළාතේ ඛනිජ නිධි ඇතුළත් වටිනා ඉඩම් මුදා නොහරින ලෙසටද වැඩිදුරටත් දැනුම් දී තිබිණි. ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ සිට ක්‍රියාත්මක වන පළාත් ඛනිජ තක්සේරු කාර්යාලය මගින් එම යෝජනා නිසි ලෙස අධ්‍යයනය කරන තුරු එම ඉල්ලීම්වලට අනුමැතිය ලබා නොදිය යුතු බවද එහි සඳහන්ය.

කෙසේ වුවද 13 ව්‍යවස්ථාවට අනුව රටේ කුමන පළාතක වුවද ඛනිජ සම්පත් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ඇත්තේ මධ්‍යම රජයට බව පෙන්වා දීමෙන් අනතුරුව නැගෙනහිර ආණ්ඩුකාරවරයාට මුලදී දැරෑ ඉහත කී ස්ථාවරය වෙනස් කර ගැනීමට සිදුවී තිබිණි. නමුත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් පතල් කැණීම් කාර්යාංශ නිලධාරීන්ට කළ නවතම දැනුම්දීම අනුව එම තත්ත්වයද වෙනස් වී ඇත. මෙය කාර්යාල දෙක අතර ගැටලුව නිලධාරීවාදී ''සටනක්'' බවට පෙරළෙන ලකුණු දැන් පහළ වී තිබේ. 

ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් පතල් කැණීම් කාර්යාංශයට යවා ඇති ලිපියකින් දැනුම් දී ඇත්තේ පතල් කැණීම්, ඛනිජ වැලි, කාර්මික සහ ධීවර අවශ්‍යතා සඳහා පසුගිය කාලය තුළ මුදාහැර තිබෙන ඉඩම් නිසි ආකාරයට පරිහරණය කර නැති බවට පළාතේ ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවය. ''විවිධ ව්‍යාපෘති සඳහා වෙන්කර දී තිබෙන ඉඩම් නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නේ මන්දැයි සිවිල් සංගම්, රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලනඥයන් සහ මහජනතාව ප්‍රශ්න කරන බවත් මේ ගැටලුව ජනතාව අතර විශාල නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත්'' ආණ්ඩුකාරවරයාගේ ලේකම් එල්.පී. මදනායක භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවූ ලියුමේ සඳහන්ය.

චෙංකලාඩි සහ මඩකලපු ප්‍රදේශවල පිහිටි පතල් කැණීම් වැඩ බිම් එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන් පසුව ඉඩම් යළි සකස් කිරීමෙන් තොරවම අතහැර දමා ගොස් තිබෙන බවද එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන්ය. මේ තත්ත්වය බරපතළ පරිසර විනාශයකට තුඩු දී ඇති අතර එම ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිරීමට හේතු වී තිබෙන බවද එයින් පෙන්වා දී තිබේ.

මීට පෙරදී යවන ලද මතභේදයකට තුඩු දුන් ලිපිය ගැනද එහි සඳහන් කර ඇත. එහි සඳහන් වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ලේඛනගත කර ඇති පතල් සහ ඛනිජ වැලි විෂය සම්බන්ධයෙන් කිසිදු අතපෙවීමක් සිදුකිරීම තමන්ගේ අරමුණ නොවූ බවය. මහජනතාවගේ මුදල් නාස්ති වීම වළක්වා ගැනීමට මේ පියවර ගත් බවද එහි සඳහන්ය.

වැලි කැණීම් සිදුකර ඇති වැඩ බිම්වල දැන් පවතින දුර්වල නඩත්තු කිරීමේ තත්ත්වය පෙන්නුම් කරන සාක්ෂිද සහිතව මේ ලිපිය ජනාධිපති සහ අගමැතිටද, පරිසර, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශවලටද නීතිපතිවරයාටද පළාතේ සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ටද යොමු කර තිබේ.

- සන්ඩේ ටයිම්ස්

අගෞරවයක් වූ ඇමැතිගේ ''ගෞරව සම්මානය''

සාමාන්‍යයෙන් ආචාර පෙළපාළියකින් ගෞරව සම්මාන පුද කිරීම සිදුකෙරෙන්නේ හමුදාවේ හෝ පොලීසියේ සෙබලුන් හෝ නිලධාරීන් විසිනි. ඒ සපැමිණි සුවිශේෂ අමුත්තකු සඳහාය. වචනයෙන් දැක්වෙන පරිදිම ආචාර පෙළපාළියකින් අදහස් කරන්නේ ඉතා වැදගත් අමුත්තකුට උපරිම ගෞරවය පුද කිරීමකි. එහෙත් තමන් කොතරම් කැමැති වුවද එවැනි උපහාරයක් ලබාගැනීමට සෑම කෙනකුටම හැකියාවක් නැත.

එය කෙසේ වුවද ජනතාව අතරේ කොතරම් විහිලුවකට ලක්වුවද කෙසේ හෝ එවැනි උපහාරයක් ලබාගැනීමට කැස කවන බලධරයෝද මෙරට වෙති.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පසුගිය දිනක එප්පාවල රාජ්‍ය ආයතනයක් වන ලංකා ෆෝස්පේට් සමාගම් නිරීක්ෂණ චාරිකාවකට ගියේය. එහිදී එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඔහුට ආචාර සම්මාන පුද කරනු ලැබීය.

ලංකා ෆොස්පේට් ආයතනයේ ආරක්ෂක නිලධාරීන් 07 දෙනකු විසින් කුඩා ඉඩකඩක රාජ්‍ය අමාත්‍යවරයාට ආචාර පෙළපාළියකින් සම්මාන පුද කරන ආකාරයත් ඔහු එම ආචාර පෙළපාළිය ඉතා පරෙස්සමින් නිරීක්ෂණය කරන ආකාරයත් එසැණින් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය. එය පසුව රෑපවාහිනී නාලිකා ප්‍රවෘත්තිවලද ප්‍රචාරය කෙරිණි. ඒ හරහා තමන්ගේ බලය සහ නම්බුව පිළිබඳ පණිවුඩයක් ජනතාවට යැවීමට රාජ්‍ය අමාත්‍යවරයා අපේක්ෂා කළා නම් එම අරමුණ එසේ ඉටු නොවූ බව පැහැදිලිව පෙනී ගියේය.

- සන්ඩේ ටයිම්ස්