2023 ජුලි 29 වන සෙනසුරාදා

සර්වපාක්ෂික ’’ දේශපාලන පන්දුව’’

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පසුගිය සතියේ දේශපාලන කරළියේ හොඳටම හිට්වෙලා තිබුණු මාතෘකාවය. පසුගිය දවස්වල රටම රත්වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාවේ සැර බැස්සේත් 13 කතාව හේතුවෙනි. පොහොට්ටුවේ කැබිනට් ඇමැතිකම් ඉල්ලන අයත් හිටියේ නිහඬවෙලාය.

13 කතාව එළියට ආවේ ජනාධිපති රනිල් ඉන්දියාවට ගොස් අගමැති මෝදි හමුවී ආපහු ආවාට පස්සේය. ඉන්දියාවට යන්න කලින් ජනාධිපති රනිල් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දමිළ නායකයන් සමඟ සාකච්ඡාවක්ද පැවැත්වූයේය. ඔහු ඒ සාකච්ඡාව සිදුකිරීමට පෙර ලංකාවේ දමිළ දේශපාලන නායකයන් කිහිප දෙනකුම මෝදිට ලියුම් යවා තිබිණි. තම ජාතියේ ගැටලුව විසඳා දීමට රනිල්ට බලකරන ලෙසත් අඩුම තරමින් 13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට බලපෑම් කරන ලෙසත් එම ලිපිවල සඳහන් මූලික කාරණා වූ බවද සඳහන් විය.

ඒ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් පැහැදිලිවම කිව්වේ ජාතික ගැටලුව විසඳීම සම්බන්ධයෙන් තමන්ට තනි තීන්දුවක් ගත නොහැකි බවකි. විශේෂයෙන් ඉඩම් සහ පොලිස් බලතල උතුරට සහ නැගෙනහිරට ලබාදීම සම්බන්ධ තීරණය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විසින් ගතයුතු තීරණයක් බවත් තමන් ජාතික ගැටලුවෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා දමිළ පක්ෂවලට දැනුම්දී තිබුණි.

සමහරවිට ජනාධිපතිවරයා ඉන්දියාවට යන්න පෙර දමිළ පක්ෂ සමඟ කළ ඒ සාකච්ඡාවේ යටි අදහස වූයේ සර්වපාක්ෂික සමුළුවකට පූර්විකාවක් වශයෙන් එය යොදාගැනීම විය හැකිය. ඉන්දියාවට ගොස් පැමිණි වහාම ඔහු සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබීමෙන් එය පැහැදිලි විය. එසේම උතුරේ එක් දමිළ නායකයකු වන හිටපු මහඇමැති සී. විග්නේෂ්වරන් සමඟ ජනාධිපති රනිල් ජාතික ගැටලුව සම්බන්ධයෙන් කිසියම් අවබෝධාත්මක සම්මුතියක සිටින බවටද තිරය පිටුපස කතාවලින් කියැවෙයි. ඒ කතාව කොහොම වුණත් විග්නේෂ්වරන් දැන් කලින් තරමට කැත්තට පොල්ල මෙන් ආණ්ඩුවත් එක්ක ඇවිළෙන්න යන්නේ නැත. ඒ තත්ත්වය ජනාධිපති රනිල්ගේ පැත්තෙන් බලන කළ දේශපාලන වාසියකි.

ජනාධිපතිවරයා ඉන්දියාවේ සිට පැමිණ සර්වපාක්ෂික සමුළුවක් කැඳවූ විට එයට සහභාගි වෙනවාද නැද්ද යන්න විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ගැටලුවක් විය. මේ සියලුම පක්ෂ ඊළඟට පැවැත්වෙන මැතිවරණයේදී බලය ඇල්ලීමට කුරුමානම් අල්ලමින් සිටින බව ප්‍රසිද්ධ රහසකි. මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවට ආණ්ඩුව පැත්තේ ප්‍රවෘත්ති මුදාහැරුණේ වරක් දෙවරක් නොවේ. ඒ සමඟ කියැවුණේ පළාත්පාලන හෝ පළාත් සභා හෝ ඡන්ද නොපැවැත්වෙන බවය. මේ පසුබිමේ විපක්ෂය දිගටම චෝදනා කළේ ජනාධිපතිවරණයේදී දමිළ - මුස්ලිම් ඡන්ද බලාගෙන ජනාධිපතිවරයා දේශපාලන උප්පරවැට්ටියක යෙදී සිටින බවය. සර්ව පාක්ෂික සමුළුව ඒ සඳහා අටවන ලද උගුලක් බවද සමහරු කියා තිබිණි.

කොහොම වුණත් ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුට සහභාගි නොවන බව නිශ්චිතවම කියා තිබුණේ ජාතික ජන බලවේගය පමණි. 13 ගැන ආණ්ඩුවේ සැලැස්මක් නැතිව ඒ පිළිබඳ කිසිම එකඟත්වයක් නැතුව වෙනත් පක්ෂවලින් අදහස් විමසීම තේරුමක් නැති වැඩක් වශයෙන් සලකන නිසා තමන් සමුළුවට නොඑන බව ජා.ජ.බ. කියා තිබිණි.

සජබ දෙගිඩියාවක සිටියේ සර්ව පාක්ෂික සමුළුව දෙස ඉන්දියාවේ ඇතුළු ජාත්‍යන්තරයද බලා සිටින බව හොඳින්ම දන්නා නිසාය. එසේම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී සමුළුවට නොයා සිටීම හේතුවෙන් දෙමළ සහ මුස්ලිම් ඡන්දවලට සිදුකළ හැකි බලපෑම ගැන තක්සේරුවක්ද ඔවුන් තුළ තිබෙන්නට ඇත.

සමුළුවට සහභාගි වීමට තීන්දු කිරිමට පෙර දවසේ විපක්ෂනායක සජිත් හමුවට විදෙස් තානාපතිවරුන් ගණනාවක් පැමිණ සාකච්ඡාවක්ද පවත්වා තිබිණි. එසේම සර්ව පාක්ෂික සමුළුවට දමිළ ජාතික සන්ධානයත් ආණ්ඩු පක්ෂයේ කැඩී ගිය කොටස් සහ ශ්‍රීලනිපයත් සහභාගි වීමට තීරණය කර සිටීම හේතුවෙන් සමුළුවට සහභාගි නොවී සිටීමේ දේශපාලන අවාසියක් තිබෙන බව සජබට වැටහෙන්නට ඇත. ඔවුන් සමුළුවට යන බව කියද්දී සමුළුව බොරුවක් හෝ එහිදී සුපුරුදු දේශපාලන ගේම් ගැසීමට හෝ ජනාධිපතිවරයා ක්‍රියා කළොත් නැගිට යන බවට කොන්දේසියක්ද ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

කෙසේ හෝ පසුගිය බදාදා (26) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සමුළුව පැවැත්විණි. එහිදී ජනාධිපති කළ ප්‍රකාශයේ මෙසේ කියා තිබිණි.

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ගැන ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. එය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡාකර තීන්දුවක් ගැනීම මගේ ස්ථාවරයයි. පවතින ගැටලු විසඳීමට නව නීති සම්මත කිරීමේ බලය මට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාටත් තිබුණේ නෑ. නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මා කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණයි.''

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමෙන් බලාපොරොත්තු වුණේ 13 සම්බන්ධයේ එකඟත්වයකට පැමිණීමට රටේ දේශපාලන පක්ෂ සූදානමක් නොමැති බව ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයට දැනෙන්නට ඉඩ සැලැස්වීමදැයි කියන්නත් බැරිය. ඒ කොහොම වුණත් සමුළුවට සහභාගි වීමෙන් පසුව විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සිදුකෙරුණු ප්‍රකාශ අනුව පෙනී ගියේ මේ ගැටලුව විසඳීමට සර්ව පාක්ෂික සමුළුවෙන් කිසිදු වැඩක් නොවූ බවය.

ආණ්ඩු පක්ෂයේ වෙන් වූ කණ්ඩායමක් නියෝජනය කරන නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා මෙහෙම කියා තිබුණි.

''ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අසාර්ථකයි. කොතරම් අසාර්ථකදැයි කියනවා නම් එය අවසන් කිරීමකින් තොරව ජනාධිපතිවරයා නැගිට ගියා. විපක්ෂය භේදබින්න කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම් එක ආපහු කැරකිලා ගියා. ඔක්කොම එකතු වූ ජනාධිපතිවරයාට බලපෑම් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.''

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී කිව්වේ දමිළ ඡන්ද බලාගෙන ජනාධිපතිවරයා කරන්න හැදූ වැඩේ මිස් ෆයර් වූ බවය. පොදුවේ සියලුදෙනාම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බවද වාසුදේව කිව්වේය. ''මේ සංශෝධන ඉස්සරහට දාගෙන ඔබතුමා හදන්නේ ඡන්ද ගුණ්ඩුවක් කරන්නද? අපි මේ වචනෙ එහෙමම ඇහැව්වා'' යැයිද ඔහු කීය. කොහොම වුණත් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වී සිටි සියලුම පක්ෂ අතර අනියමින් සන්ධානයක් ගොඩනැගී තිබූ බවත් ඒ සන්ධාන හෝ පොදුවේ ඔක්කොම ඉල්ලා සිටියේ ඡන්දය පවත්වන ලෙසට බවත් ඒ මහතා සඳහන් කළේය.

දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන්ද කියා තිබුණේ මේ සමුළුව අසාර්ථක වූ බවය. බලය බෙදීමට පෙර පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ඉල්ලීම් කරද්දී 13 වැනි සංශෝධනය හෝ පළාත් සභා ඡන්දය හෝ දෙකෙන් එකක් තෝරා ගන්නැයි ජනාධිපතිවරයා පැවසූ බවත් මුලින් ඡන්දය තියන්නැයි කියන විට ජනාධිපතිවරයා නැගිට ගිය බවත් සුමන්තිරන් කියා තිබිණි.

සජබ සර්ව පාක්ෂික සමුළුව අවසන් වීමෙන් පසුව නිකුත් කළ නිවේදනයෙන් කියා තිබුණේද බලය බෙදාහැරීම පිළිබඳ තීරණයකට එළඹීමට ප්‍රධානතම බාධකයක් බවට පත්ව තිබෙන්නේ පළාත් සභා දැන් වසර හතරහමාරක කාලයක් තිස්සේ විධායකය විසින් මෙහෙයවමින් සිටීම බවය. එයින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇති බවද මේ නිසා මේ ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමට මූලිකව පළාත් සභා සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව පත්කර ගතයුතු බවද කියා තිබිණි.

මේ කියන්නේත් පළාත් සභා ඡන්දය පැවැත්වීමකින් තොරව සර්වපාක්ෂික සමුළුවකින් ගැටලුව විසඳාගත නොහැකි බවය. ඒ වගේම සජබ කියා තිබුණේ ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව සමඟ එකඟ වූ යෝජනාවක් ඉදිරිපත් නොකර විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලීම පළක් නැති බවය. ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ කෙටිකාලීන දේශපාලන වාසි ලබාගැනීමට බවද සජබ චෝදනා කර තිබිණි.

මේ කතාවලින් පේන්නේ ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව කොටි වලිගයක් බවට පත් වී තිබෙන බවය. තවම මේ ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරයක් නැත. ඒ වගේම පොහොට්ටුවත් 13 වැනි සංශෝධනය පිළිබඳ කෙරෙන කතාබහට කිසිම සහායක් දක්වන බවත් පේන්නට නැත. මේ නිසා මේ සර්ව පාක්ෂික සමුළුවටද අතීතයේ පැවැති සර්ව පාක්ෂික සමුළුවලට අත්වූ ඉරණම අත්වීමට ඇත්තේ විශාල ඉඩකි. එය එසේ නොවීමට නම් ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටුවේ ස්ථාවරය උඩු යටිකුරු විය යුතුය.

මේ නිසා තමන් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව විපක්ෂයට ''සේලයින්'' ලබාදීමක් දැයි ජනාධිපතිවරයාට නොසිතුණොත් පුදුමය. සමුළුව කැඳවූයේ 13 ගැන කතා කිරීමටය. විපක්ෂය කළේ එකට එකතු වී ඡන්දයක් පවත්වන ලෙසට ඉල්ලීමක් කිරීමය. බලය බෙදීම කෙසේ වෙතත් විපක්ෂයේ ඉල්ලීමට ඡන්දයක් පැවැත්වීම නම් ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයේ නැත. සමුළුවේ හුළං ගියත් ජනාධිපතිවරයා තමන්ගේ ඒ න්‍යාය පත්‍රය නම් වෙනස් කර ගන්නවාදැයි හිතන්න අමාරුය.

I ශශීන්ද්‍ර

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00