බොහොමයක් කාලයක සිට ඉහළ නොගිය ගාස්තුවක් හැටියට ඉතිරිව තිබුණේ ජල බිල්පත පමණි. එයටද පසුගිය බදාදා (02) මධ්‍යම රාත්‍රියේ සිට තිත තැබිණි. එදින සිට ජල ගාස්තුව සමස්තයක් වශයෙන් සියයට 50කින් පමණ ඉහළ ගියේය. සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට ගාස්තු වැඩි නොවන බවද ඒ සමඟ ප්‍රකාශ කෙරිණි.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ ප්‍රකාශ කරන්නේ අවම සියයට 30ක සිට ජල ගාස්තු ඉහළ යාමට නියමිත බවය. උපරිම වැඩිවීම සියයට 50කට ආසන්න වන බවද ඇය සඳහන් කර තිබිණි.
අධික ජීවන වියදම හේතුවෙන්ද ලයිට් බිල්, ඉන්ධන මිල ඇතුළු අත්‍යාවශ්‍ය සේවා ගාස්තු සහ ආදායම් බදු දැරිය නොහැකි තරමට ඉහළ යාම නිසාද දැඩි ලෙස පීඩනයට පත්ව සිටින පොදු මහජනතාවගේ කර මතට කඩාපාත් වූ මේ ජල ගාස්තු වැඩි කිරීමේ මරාලය ඔවුන්ගේ දිවි පැවැත්මට එල්ල කරන්නේ තවත් කුළුගෙඩි ප්‍රහාරයකි. මහපාරට බැස්ස වෙලේ පටන් දැඩි පීඩනයකින් වැඩ කටයුතු කර වෙහෙස මහන්සි වී නිවෙසට පැමිණ වතුර කරාමය අරින මොහොතද ජනතාවට දැන් අස්වැසිල්ලක් නොව කරුමයකි. වැඩි වී පැමිණීමට නියමිත වතුර බිල සෙසු වැඩි වූ බිල්වලට එකතු වීම ගැන සිතීමත් භයානක අත්දැකීමක් වන බැවිනි.
මේ විදියට භාණ්ඩ හා සේවා ගාස්තු වැඩි කිරීමකින් තොරව රට පවත්වාගෙන යා නොහැකිද යන ගැටලුව ජනතාවගේ සිතට නැගෙන්නේ නිතැතිනි. පසුගිය කාලය තුළදී වැඩි නොවුණේ කුමන ගාස්තුවදැයි සොයාගැනීමත් අපහසුය. විදුලි බිල සියයට 200කින් නැග්ගේය. අයබදු වැඩි කළ ප්‍රතිශතය ගණන් බැලීමත් අපහසුය. තෙල් මිල වැඩි විය. ගෑස් වැඩි විය. තෙල් සහ ගෑස් මිල ගණන් වරින්වර වෙනස් වෙමින් තිබීමද ජනතාවගේ ජීවිතය මහත් අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමා තිබේ. මේ හැර තවත් බොහොමයක් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගියේය. මේවා එකක්වත් පහළට ආවේ නැත. වතුර බිල වැඩිවෙන්නේ මේ අතරවාරයේය.
වතුර බිල දැන් පවතින තත්ත්වයෙන් පවා ගෙවා දැමීම අසීරු වී සිටින පවුල් ප්‍රමාණය ඉතා විශාලය. බිල් ගෙවාගත නොහැකි වීම නිසා ජල සැපයුම විසන්ධි කිරීමට සිදුවන අවස්ථා නිරතුරුවම වාර්තා වෙයි. ඉදිරියේදී ඒ තත්ත්වයේ වර්ධනයක් සිදුවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් විදුලියත් ජලයත් නොමැතිව ජීවත් විය නොහැකි බැවින් කෙසේ හෝ මේ බිල් දෙක ගෙවා ගැනීමට හැකි හැමදෙනාම කටයුතු කරති. එසේ කිරීමේදී පවුලේ පෝෂණ තත්ත්වය පවත්වා ගැනීම අර්බුදයට යාම වළක්වා ගත නොහැකිය. ජනතාවගේ ආහාර වේල්වල තත්ත්වය තවදුරටත් පහළ බැසීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වනු ඇත.
රටේ ජනතාවට වතුර බිල ගෙවීම ප්‍රශ්නයක් වුවද රට කරවන මැති ඇමැතිවරුන්ට නම් එය ප්‍රශ්නයක් නොවන බවද වරින්වර වාර්තා වෙයි. ඇතැම් ඇමැතිවරුන් තමන්ගේ නිල නිවාසවල වතුර බිලට ලක්ෂ ගණන් පොදු තබන අවස්ථාද තිබිණි. සමහර මැති ඇමැතින්ලා තමන්ගේ නිවෙස්වල වතුර බිල් පරීක්ෂාවට පවා ඉඩ නොදෙන අවස්ථාද තිබේ. ඔවුන් ජලගාස්තු කොතරම් වැඩි කෙරුණත් ගැටලුවක් නැත. හැම ගැටලුවටම මුහුණදීමට සිදුව තිබෙන්නේ රටේ පොදු මහජනතාවටය. ඔවුන්ට දැරීමට සිදුවන පීඩනය එන්න එන්නම වැඩිවෙනවා මිස අඩුවීමක් පෙනෙන තෙක් මානයක නැත.
මේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට තිබෙන එකම මාර්ගය රටේ බදු ගෙවන මහජනතාව මත සියලු බර පැටවීම පමණද? රටේ ආදායම් උපදවන පිරිසගෙන්, රජයට සම්බන්ධ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන්, මැති ඇමැතිවරුන්ගෙන්, ගජ මිතුරන්ගෙන් මීට වඩා බදු අයකර ගැනීමට හැකියාවක් නැද්ද? අඩු තරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙතින් බදු සහන ලැබූ මේ රටේ ඉහළ පෙළේ ව්‍යාපාරික පැළැන්තියෙන් එසේ ලැබූ බදු සහනයෙන් කිසියම් හෝ ප්‍රතිශතයක් ආපසු ලබාගැනීමට ක්‍රියාමාර්ගයක් නොගැනීම ද ගැටලුවකි. හැම බද්දටම යටත් වෙන රටේ පොදු මහජනතාවගේ පැත්තෙන් එය මහත් අසාධාරණයක් බව බැලූ බැල්මට පෙනී යයි.
ආදායම් උපදවන සියලු දෙනා පුරවැසියන් හැටියට බදු ගෙවිය යුතුය. ඒ ගැන විවාදයක් නැත. සේවා ගාස්තු සහ භාණ්ඩ මිල ගණන් වැඩිවීමද පවතින ආර්ථික අර්බුදය හමුවේ තරමක් දුරකට සියලුදෙනා විසින් දරා ගත යුතුවීමද පිළිගත යුතුය. එහෙත් සියලු බර පොදු මහජනතාවගේ පිට පටවා අත් සෝදා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. අඩුම තරමින් රජයට සම්බන්ධ මැති ඇමැතින් පමණක් නොව ඉහළ පෙළේ නිලධාරීන් හෝ තමන්ගේ සුවපහසු ජීවිත යම් තරමකට හෝ වෙනස් කර ගනිමින් නාස්තිය වළක්වා ගැනීමට කිසිදු ආදර්ශයක් ලබාදෙන බවක් හෝ පෙනෙන්නට නැත. රට බංකොලොත් වීමේ කරුමය පඩිසන් දී තිබෙන්නේ ජනතාවටම වීම ලොකුම කරුමයයි.