2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

මොහුට විරුද්ධව පියවරක් නොගන්නේ ඇයි?

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 155

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම නියතයකි. එසේ නොකර ඩොලර් සංචිතය ඉහළ දමා ගැනීම සිහිනයක් පමණි.

ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් ඔවුන්ට උපරිම පහසුකම් සැලැස්වීම අවශ්‍යය. වඩාත් වැදගත් පහසුකම දූෂිත, වංචනික ක්‍රියාවලින් තොරව ආයෝජකයන්ට ඔවුන්ගේ ආයෝජන ගෙනඒමට ඉඩකඩ විවර කිරීමය. නමුත් නොවෙන්නේම ඒකය.
පසුගිය දිනෙක සෞදි අරාබිය සම්බන්ධ ආයෝජනයකට සිදු වූ දේ එයට ආසන්නම උදාහරණය සපයයි. සෞදි අරාබිය ශ්‍රී ලංකා ආණ්ඩුවට මෑතකදී සිදුකළ පැමිණිල්ලක සඳහන් වී ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඉහළම පෙළේ නිලධාරියකු මෑතකදී මෙරටට පැමිණි සෞදි අරාබියානු රාජ්‍ය නිලධාරීන් පිරිසකට සිදුකළ අයුතු බලපෑමක් සම්බන්ධයෙනි.

අදාළ සෞදි අරාබි නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ශ්‍රී ලංකාවෙන් එරටට පොල් රොඩු අපනයනය කර ගැනීමේ ආයෝජනයක් පිළිබඳ සොයාබැලීමටය. ඔවුන් පොල් සංවර්ධන අධිකාරියට ගොස් තිබුණේ ඒවා සැකසීමේ පිළිවෙළ පරීක්ෂා කිරීම සඳහාය. නිලධාරියාගේ අයුතු බලපෑම් සිදුවී ඇත්තේ එතැනදීය. සෞදි අරාබියට ඉදිරි වසර ගණනාව තුළදී පොල්රොඩු අපනයනයෙන් ඩොලර් බිලියන ගණනක් උපයාගත හැකිවනු ඇතැයිද විශ්වාස කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සෞදි අරාබියට සිය කනගාටුව පළකර තිබිණි. එහෙත් වෙනත් රටක නම් එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර ඔහුට එරෙහිව විමර්ශනයක් සිදු කෙරේ. අදාළ චෝදනාව ඔප්පු වී නම් ඉහළම දඬුවමකට යටත් කෙරේ. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැත. හැමදෙයම සිදුවෙන්නේ වංචනිකයා හෝ දූෂිතයා හෝ බලවත් නම් ඔහු හෝ ඇය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මේ නිලධාරියාට එරෙහිව පියවරක් ගැනීමට තවමත් ප්‍රමාද නැත. එසේ පියවරක් නොගන්නේ නම් එයට එකම හේතුව ඒ නිලධාරියා ආරක්ෂා කරන බලවත් හස්තයක් ක්‍රියාත්මක වන බවය. මේ රට තුළ දූෂණය සහ වංචාව සංවිධානාත්මක අපරාධයක් බවට පත්ව තිබේ. එම සංවිධානයේ මුල සිට අග දක්වාම ගාන කපා ගැනීම ජයටම සිදුවෙයි. මෙහෙම රටකට ආයෝජන ගෙන්වා ගැනීම ගැන බලාපොරොත්තු තබාගැනීමත් නිෂ්ඵලය.

කෝටි 900ක වංචාවේ චූදිතයා රට ගිහින්

මේ වගේ තවත් කතාවක් වාර්තා වුණේ තෙල් සංස්ථාවෙනි. එම වංචාවේ වටිනාකම රැපියල් කෝටි 900ක් බව කියති.

කෝටි 900ක ඉන්ධන පිල්ලි යැවීමේ සිද්ධිය පසුපස සිටින එක් චූදිතයකු වන්නේ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ අරඹා තිබේ. තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ අදාළ නිලධාරියාට අමතරව උසස් නිලධාරීන් කිහිප දෙනකුද මේ වංචාවේ සැකකරැවන් බවද කියයි.

මේ සිද්ධියේ හොඳම කොටස වන්නේ චූදිතයකු වන අදාළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මේ වනවිට රට හැරගොස් සිටීමය. විශ්‍රාම යාමට ආසන්නව සිටින බව කියන මොහු අමෙරිකාවට යන බව පවසා නිවාඩු ගෙන කැනඩාවට ගොස් එහි සිට සේවයෙන් ඉවත් වන බව මෙරට බලධාරීන්ට ලිඛිතව දැනුම්දීමක් කර ඇති බවද කියති.

කෝටි 900කට අදාළ වංචාවක චූදිතයකු වන මොහුට රට හැර යාමට ඉඩදුන් සියලුදෙනාද මේ සම්බන්ධයෙන් වගකිවයුතු නොවේද? එසේම ඔහු මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ට හැකියාවක් නැද්ද? මේ ප්‍රශ්නවලට උත්තර ලැබිය යුතුය.

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00