2024, ඒ කියන්නේ ලබන අවුරුද්ද මැතිවරණ අවුරුද්දක් බව පහුගියදා රටටම ඇහෙන්න කිව්වේ යූ.එන්.පී.යයි. මේ අවුරුද්දේ මාර්තු මාසේ 20 වැනිදාට කලින් තබා අවසන් කිරීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල්දැමීමට හැම උප්පරවැට්ටියක් දාපු යූ.එන්.පී.ය හදිසියේම මෙහෙම මැතිවරණ වසරක් ගැන කතා කරන්න පටන් ගත්තේ ඇයි?
බැලූ බැල්මට පෙනෙන්න තිබුණේ මැතිවරණ කියන වචනය අහන්නවත් යූ.එන්.පී.ය හෝ පොහොට්ටුව හෝ කැමැති නැති බවය. යූ.එන්.පී.ය හැම තිස්සේම කිව්වේ මේ වෙලාවේ කරන්න තියෙන්නේ මැතිවරණ තැබීම නොව රටේ ආර්ථිකය ගොඩදැමීමට ජනාධිපතිවරයා සිදුකරන කාර්යභාරයට හැම දේශපාලන පක්ෂයම උදව් කිරීම බවය. රටේ ජනතාව මැතිවරණ ඉල්ලන්නේ නැති බවද ඒ සමඟ යූ.එන්.පී.යේ ප්‍රබල චරිත ගණනාවක්ම වරින්වර කියා තිබිණි.
පොහොට්ටුව හැමවිටම කියන්නේ ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි. ඒ වුණත් පළාත් පාලන ඡන්දය තැබීමට හිටපු මැතිවරණ කොමිසම දැරෑ උත්සාහයට ඔවුන්ගෙන් කිසිම සහායක් ලැබුණේ නැත. රටේ අනෙක් හැම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ කොමිසමට ගොස් ඡන්දය තැබිය යුතු බවට කරුණු ඉදිරිපත් කරද්දී පොහොට්ටුව කිසිම අදහසක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. එයින් ඔවුන් නොකියා කිව්වේ තමන් මැතිවරණයකට සූදානම් නැති බවය. අන්තිමට පළාත් පාලන මැතිවරණය පිළිබඳ ගැටලුව උසාවියට ගියේය. මැතිවරණ කොමිසම ගෙදර ගියේය.
හැබැයි පළාත් පාලන මැතිවරණය කොහොම වුණත් මහ මැතිවරණයක් පැවැත්වීමට පොහොට්ටුවට කිසිම අවශ්‍යතාවක් නොතිබීමට හේතුවක් තිබේ. ඔවුන් බලයට පත්වූ මහ මැතිවරණය තිබුණේ 2020 අගෝස්තු මාසයේ 05 දාය. ඒ අනුව ගණන්බැලුවොත් පොහොට්ටුවේ ආණ්ඩුවට යන්තම් අවුරුදු 03 පිරෙන්නේ මේ සතියේය. අවුරුදු තුනක් පමණක් බලයේ සිටි ආණ්ඩුවක් කවදාවත් මහ මැතිවරණයකට ගියේ නැත. එහෙම යන්න හේතුවක් නැත.
ඒ වුණත් පහුගිය අවුරුද්දේ ඇතිවූ අරගලයත් එක්ක පොහොට්ටු ආණ්ඩුවේ ආයුෂ ඉවර විය. අවුරුදු 02කට කලින් තුනෙන් දෙකක ආණ්ඩුවක් තිබූ පොහොට්ටුවට අගමැති අහිමි විය. ඊළඟට ලක්ෂ 69ක් අරගෙන ජනාධිපති වූ ජනාධිපති අහිමි විය. පොහොට්ටුව තුනෙන් දෙක කොහොම වෙතත් පාර්ලිමේන්තුවේ සරල බහුතරය පවා රුකගන්නේ හතර පැත්තටම ගණන් හදලාය. පක්ෂයක් හැටියට එය ඒ තරමට කැඩී ගොසිනි. අගමැතිකම පවා හිමිවී තිබෙන්නේ පොහොට්ටුවේ හවුල්කාර පක්ෂයක නායකයා වන දිනේෂ් ගුණවර්ධනටය. ඊට වසර දෙකකට පෙර ජනාධිපති, අගමැති, මුදල් ඇමැති යන ආණ්ඩුවේ ප්‍රධාන ධුර තුනම රාජපක්ෂවරුන් අතේ තිබුණු පොහොට්ටුවේ අද යන්තම් තිබෙන ආණ්ඩුව ඇතුළේ එක රාජපක්ෂ කෙනකුට හෝ කැබිනට් ඇමැතිකමක් නැත.
මෙහෙම තත්ත්වයක් පවතිද්දී ඡන්දයකට යාමට පොහොට්ටුව කැමැති වෙයිද? කොහෙත්ම නැත. තමන්ගේ පක්ෂය රට ඇතුළේ කිසියම් ස්ථාවර බවක් ගොඩනංවාගන්නා තුරු මැතිවරණයක් තැබීමට ඔවුන් ඉඩ තබන්නේ නැත. රාජපක්ෂලා අතුරින් තරමක සක්‍රීය බවත් රට ඇතුළේ පෙන්වන නාමල් ඔහු සමඟ එකට සිටින තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනකුත් සම්බන්ධ කරගෙන පොහොට්ටු බල මණ්ඩල රුස්වීම් දිස්ත්‍රික් ගණනාවක් පැවැත්වූයේ ඒ ස්ථාවර බව ඇතිකර ගැනීමට විය යුතුය. එම රුස්වීම්වලට දෙතුන් දහසක සෙනඟක් පැමිණියත් එය ඔවුන් බලාපොරොත්තු වන ඉලක්කය නොවන බව පැහැදිලිය. නමුත් පසුගිය වසරට සාපේක්ෂව එය පොහොට්ටුවට සුබ ලකුණකි. ඒ වුණත් තවමත් ඔවුන්ගේ ලොකුම ශක්තිය වූ ප්‍රාදේශීය බිම් මට්ටමේ සහාය ලැබීම පවතින්නේ ඉතාම අඩු මට්ටමකිනි.
නීතිපතිවරයාගේ පවා විරෝධයට ලක්වූ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දිගටම ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලබාදීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් වීමට හේතු වූයේද මේ ගැටලුවය. එම යෝජනාව ඉදිරිපත් කිරීමට මූලික වූ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා බැසිල්ගේ සමීප දේශපාලන සගයෙකි. මේ කෙටුම්පත සකස් කෙරුණේ බැසිල්ගේ අනුමැතිය යටතේ බවද ප්‍රකාශ විය. එය බැසිල් ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් විපක්ෂයේ දැඩි විරෝධය එම යෝජනාවට එල්ල විය. සජබ එයට එරෙහිව උසාවියටද ගියේය. නීතිපතිගේ විරෝධය සමඟ එම යෝජනාව අහෝසි විය. එය පොහොට්ටුවේ යළි නැගිටින සැලැස්මට වැදුණු ලොකු පහරකි. බිම් මට්ටමේ සන්ධාන ජාලය හොඳින්ම කළමනාකරණය කළ බැසිල් තම පළාත් පාලන සභිකයන් පාවෙන තත්ත්වයෙන් තබා ගැනීම දිගටම කළ නොහැකි බව හොඳින් දැන සිටියි. එය පොහොට්ටුවට ඉදිරි ඡන්දයකදී අවාසියක් වීම වළක්වනු නොහැකිය.
කොතරම් අවාසියක් වුවත් දැන් මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයට මුහුණදීමටද පොහොට්ටුව සූදානම් නැත. ඔවුන් ඒ ඡන්දය ගැන කතා කරන්නේ නැත. ඒ වෙනුවට ජනාධිපති ප්රමුඛ යූ.එන්.පී.ය කියන ජනාධිපතිවරණය පිළිබඳ අදහසට සහාය දක්වයි. ජනාධිපතිවරණයකදී තමන්ගේ අපේක්ෂකයා කවුදැයි දැන්ම හෙළි නොකරන බවත් ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒ කවුදැයි කියන බවත් ඔවුන්ගේ ප්‍රකාශවලින් අනාවැකි පළ කෙරෙයි. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කියන්නේ මොන අපේක්ෂකයා ආවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදය යටතේ එය සිදුවන බවකි.
වෙනත් ඡන්ද පිළිබඳ මාතෘකාව අරහං වුවද යූ.එන්.පී.යද මහත් ප්රබෝධයකින් කතා කරන්නේ ජනාධිපතිවරණය ගැනයි. එයට එක් හේතුවක් වශයෙන් පෙනෙන්නේ දැනට යෝජිත මැතිවරණ අතුරින් ඈතින්ම තිබෙන්නේ ජනාධිපතිවරණය වීමය. පළාත් සභා සහ පළාත්පාලන මැතිවරණ බිම් මට්ටමේ ඡන්ද තීරණාත්මක සාධකය වුණත් ජනාධිතිවරණයකදී එහෙම වෙන්නේ නැත. එහිදී මුළු රටම ක්‍රියාත්මක වන්නේ එක ඡන්ද කොට්ඨාසයක් හැටියට වීම නිසා රටේ බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා අපේක්ෂකයාට ජයග්‍රහණය හිමිවෙයි. යූ.එන්.පී.ය අදහස් කරන්නේ ඉදිරි කාලය තුළදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතට පොහොට්ටුවේ පිරිසකගේ සහායද ඇතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගත හැකිවනු ඇති බවය. ඔහුගේ ඒ මතයට සහාය දක්වන පිරිසක්ද පොහාට්ටුවේ සිටීම එහි ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට හිසරදයක් වී තිබෙන බවක්ද පෙනී යයි.
මෙහිදී කැපී පෙනෙන කාර්යයක් ඉටුකරන්නේ පොහොට්ටුවෙන් කැඩී ස්වාධීන වූ මන්ත්‍රීවරයකු වන නිමල් ලන්සාය. ඔහු තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් පසුගියදා අංක 118, ලේක් ඩ්‍රයිව් පාර, කොළඹ ලිපිනයේ පක්ෂ කාර්යාලයක්ද පිහිටුවීය. මේ කණ්ඩායම තවම වෙනම නමකින් යුත් පක්ෂයක් වශයෙන් පෙනී සිටින්නේ නැත. නිමල් ලන්සාට කටයුතු මෙහෙයවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඩ පහසුකම් සලසා දී තිබීමද කැපී පෙනෙයි. මේ කණ්ඩායමට පොහොට්ටුවේ ප්‍රධානියකු වන ගම්පහ ප්‍රසන්න රණතුංගද සම්බන්ධ වන බවට කතාවක් තිබුණත් ඔහු පසුගියදා ප්‍රකාශයක් කරමින් එම කතාවේ ඇත්තක් නැතැයි කියා තිබිණි. ඔහු තමන්ගේ අනාගත දේශපාලන භූමිකාව පිළිබඳ කළ විශ්ලේෂණයකින් පසුව එම තීන්දුව ගත් බවද සඳහන්ය. එසේම පසුගිය කාලය තුළදී ඔහු දැඩි ලෙස අරගලය විවේචනය කරමින් කතා කිරීමත් ඊළඟට ගැහැව්වොත් ගහන තරමට එම විවේචන සැරවූ බවත් පෙන්නුම් කරන්නේ ඔහු අනාගතයේදී අරගල විරෝධී පෙරමුණක් වෙනුවෙන් පෙනී සිටිනු ඇති බවය. එය බොහෝදුරට නාමල් රාජපක්ෂ දරණ දේශපාලන මතවාද සමඟ සමපාත වන බවද පෙනී යයි.
ලන්සාගේ දේශපාලන සන්ධාන නායකත්වය සඳහා පොහොට්ටුවේ හිටපු අමාත්‍යවරයකු නම් කිරීමට නියමිත බවත් දැනගන්නට තිබේ. ලන්සා සඳහන් කර තිබුණේ තමන්ට සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් 40ක් සූදානමින් සිටින බවය. මේ සහාය ලබාගැනීම සඳහා ඉතා පෞද්ගලික මට්ටමින් ලන්සා රුස්වීම් පවත්වන බවත් එම මන්ත්‍රී සංඛ්‍යාව 60ක් දක්වා වැඩිකර ගැනීම අපේක්ෂාව බවත් සඳහන් වෙයි.
ලන්සාගේ ඉලක්කය යූ.එන්.පී. ටිකට් එකෙන් ඡන්දයට මුහුණදීමට අකැමැති පොහොට්ටු මන්ත්‍රීන්ට තම සන්ධානය හරහා අවස්ථාවක් දීම බව පැහැදිලිය. අවසානයේ ලන්සා සන්ධානය යූ.එන්.පී.ය ගොඩනඟන සන්ධානයක පාර්ශ්වකරුවකු වනු ඇත. දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය දිනක ජනාධිපතිවරයාට ලන්සා තොරතුරු හෙළි කිරීමෙන් පෙනෙන්නේ මේ එකතුව අවසන් අරමුණ බවය.
එහෙම වුණත් පොහොට්ටුවට සම්බන්ධ බොහෝ දෙනකුගේ අදහස වන්නේ දැනට නම් එවැනි සන්ධානගත වීමකට ඉඩක් නැති බවය. ලන්සාගේ මන්ත්‍රීන් 40කගේ සහාය ලැබෙන කතාව ඔවුහු බැහැර කරති. තත්ත්වය ඒක නම් එය යූ.එන්.පී.ය පැත්තෙන් ගැටලුවකි. ඔවුන් තවමත් විශ්වාසය තබන්නේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමෙන් පසුව පොහොට්ටුවෙන් සහාය දක්වන පිරිස සමඟ එක්වී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි බවය. ඉන්පසුව මහ මැතිවරණයකට ගොස් පාර්ලිමේන්තු බලයද ලබාගැනීමටය.
මේ සැලසුම් කොහොම හැදුවත් ඒ එකකවත් ස්ථීරව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවේ ප්‍රධානම අරමුණු මේ සියලු දේශපාලන මතවාද මැද ආර්ථිකය ගොඩදා ගැනීමය. මෙහිදී පොහොට්ටුවට යන්තම් හෝ ඔලුව උස්සා ගැනීමට අවස්ථාව උදාවුණේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී ගනු ලැබූ තීරණ හේතුවෙන් රටේ ජනතාව මුහුණ දුන් ප්‍රධානම ගැටලුව වූයේ පෝලිම් නැති වීමය. එසේම අහස උසට නැග තිබූ ජීවන වියදමද සැලකිය යුතු මට්ටමකින් අඩුවීමටද ඒ තීරණ හේතු විය. කෙසේ වුවද ඒ තීරණ බොහොමයක් ජනප්‍රිය තීරණ නොව තිත්ත කසාය බඳු තීරණ විය. අද රටේ ජනතාව අධික විදුලි බිලක් ගෙවන්නේ ඉසිලිය නොහැකි බදු ගෙවන්නේ, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සඳහා ඉහළම මුදලක් වැය කරන්නේ එම තීන්දුවල බලපෑමෙනි. අයි.එම්.එෆ්. එකඟතා මේ තීරණවලට හේතු වුවත් රටේ නායකයා වශයෙන් රනිල් ගත් තීරණ බංකොලොත් වී තිබූ රට යම් තරමක ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට සමත් විය. අද පොහොට්ටුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් යළිත් ''පොර ටෝක්'' දෙන්න පටන් අරන් තිබෙන්නේ රනිල් ඇතිකළ එම වෙනස ඇතුළේ පවතින සීමිත ඉඩකඩ තුළය.
කොහොම වුණත් මේ හැම තීන්දු තීරණයක්ම අවසානයේ යොමුවන්නේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිතිවරණය ඉලක්ක කර ගනිමින් බව පැහැදිලිය. ඊට මෙහා මොනම මැතිවරණයක් හෝ පැවැත්වෙනු ඇතැයි හිතන්න බැරිය. යෝජිත මැතිවරණයකට හැමෝම ඡන්ද ගුණ්ඩු ගහන්නේ රටේ ජනතාව දැඩි පීඩනයකින් සිටියදී වීම ලොකුම අවාසනාවය.
I ශශීන්ද්‍ර