සමගි ජනබලවේගය ජාතික සංවිධායක - පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
►විපක්ෂ නායකතුමා මැතිසබේ වැඩිපුර කතා කරන්නෙ ජනතාව වෙනුවෙන්
►මිහින්තලේ ලයිට් බිල ගෙව්වෙ දේශපාලන අරමුණකින් නෙවෙයි
►13 ගැන කතා කරන්න කලින් ඡන්දය තියන්න
►විශ්වාසභංගය පරද්දන අය ගැන ජනතාව තීන්දුවක් ගනීවි
විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුව තුළ බරපතළ චෝදනාවක් එල්ල වෙනවා මයික් ටයිසන් වගේ කියවනවා කියලා. ඇත්තටම ඇයි මෙහෙම කාලය ගන්නේ?
විපක්ෂ නායකතුමා හැමවෙලේම පෙනී ඉන්නේ රටේ ජනතාව සහ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්. පෙර හිටපු විපක්ෂ නායකවරු ඒක කළේ නැති නිසා දැන් ඉන්න අයට හිතෙන්න පුළුවන් මේ විපක්ෂ නායකතුමා කතා කරනවා වැඩියි කියලා. ඒ නිසා පෙර හිටපු විපක්ෂ නායකවරු සමඟ සමාන කරන්න බෑ. මොකද මෙතුමා නිරන්තරව පෙනී ඉන්නේ ආණ්ඩුව විසින් ජනතාවට එරෙහිව කරන ක්‍රියාවන් සහ ප්‍රශ්න වෙනුවෙන්. අනික එතුමාගේ වරප්‍රසාදයක් කතා කරන එක. එතුමා කරන්නේ ජනතාව සහ අසාධාරණයට ලක්වෙන පිරිස වෙනුවෙන් පෙනී ඉන්න එක. ඒක කාට හරි වරදක් කියන්න බෑ.
අපි දැක්කා ඔබලා සෞඛ්‍ය අමාත්‍යවරයට විරුද්ධව පහුගියදා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. ඒත් ඒක නැවත ගන්නවා කිව්වා. ඇයි වැඩේ හරියන පාටක් නැද්ද?
අපි විශ්වාසභංගයක් ගේන්නේ ජනතාව විසින් ඉදිරිපත් කරන විරෝධතාවයට හඬක් හැටියට. ඒත් විපක්ෂයේ යෝජනා සම්මත කරන්න අමාරුයි බහුතරයක් ඉන්නේ ආණ්ඩුව අතේ නිසා. ඒ නිසා ආණ්ඩුව හරි හෝ වැරදි හෝ ඔවුන්ගේ මතය ජයග්‍රහණය කරනවා. ඉතින් මේ විශ්වාසභංග විවාදය සඳහා අපි ඉල්ලලා තියෙනවා සැප්තැම්බර් මාසයේ මුල සතියේ දවස්. ඒත් ඒ වෙනුවට පහුගිය දවසක ජනාධිපතිවරයා යෝජනා කළා වහාම එය අද හෙට ගන්න කියලා. ඒ නිසා අපි කිව්වා මේ බලහත්කාරකම නිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ න්‍යාය පත්‍රයෙන් පිට යන්න එපා කියලා. ඒකට හේතුව වුණේ මේ සතියේ කතා කරන්න තිබුණු විශේෂ කරුණු රුසක් ඒ හරහා කල් දාපු එක.
දැන් මොකක්ද මේ සතියේ තිබුණු සුවිශේෂී කාරණය?
මේ සතියේ තිබුණා වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් විශේෂ සංවාදයක්. ආණ්ඩුවට ඕන වුණේ ඒක කල් දාන්න. ඒ නිසා අපි කිව්වා න්‍යාය පත්‍රයට අනුකූලව වැඩ කරන්න ඉඩ දෙන්න කියලා.
විශ්වාසභංගය දිනන්න අමාරුයි කියලා දන්නවා නම් ඇයි මේ ගේන්නේ. ආණ්ඩුවේ හයිය පෙන්නන්න උදව් කරන්නද?
ඒක වැරදි මතයක්. විශ්වාසභංග යෝජනාවක් හැමවිටම ඉදිරිපත් කරන්නේ දිනන්නම නෙවෙයි. ඒකේ මූලික අරමුණ තමයි අදාළ ඇමැතිවරයට හෝ පුද්ගලයට හෝ ආණ්ඩුවට හෝ අප්‍රසාදය පළ කරන එක. අපි දන්නවා ආණ්ඩුවේ බහුතරය තියෙන ආකාරය. ඒක අපි නොදැන නෙමේ ඉන්නේ. හරි විදිහට හිතට එකඟව වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි මේ. අන්න ඒ නිසයි ඒ ගැන අවබෝධයෙන් ජනතාව වෙනුවෙන් ජනතාවගේ අප්‍රසාදය පළ කරන්න මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ. දැන් බලන්නකෝ සෞඛ්‍ය ක්ෂේත්රය. බාල බෙහෙත් ගෙනල්ලා, ඖෂධ මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන පිළිවෙළ උල්ලංඝණනය කරලා. ඒ වගේම රෝහල්වල පහුගිය කාලයේ සිදුවුණු සිදුවීම් මේ සියල්ල දැකලා අපිට නිශ්ශබ්දව ඉන්න බෑ. අපි අපේ විරෝධය ඉදිරිපත් කරන්න ඕන. ඒක තමා අපේ හඬ. විශ්වාසභංගය පරද්දන අයට විරුද්ධව ජනතාව ඉතින් ඉදිරියේදී තීන්දුවක් ගනීවි. මේක අපේ යුතුකමක් හැටියටයි කරන්නේ.
දැන් මේ දවස්වල ලොකුම මාතෘකාව තමයි 13 ක්‍රියාත්මක කිරීම. ඒ ගැන පක්ෂ විපක්ෂ අදහස් ගොඩයි. ආණ්ඩුවේ සමහර අයත් විරුද්ධයි. සජබයේ මතය මොකක්ද?
දැන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔහුගේ මතය පැහැදිලිනේ. ඔහු පෙර සිටි මතයෙන් බැහැරවෙලා දැන් ඔහුත් පොලිස් බලතල සම්බන්ධයෙන් අකැමැත්ත පළ කරමින් යන්නේ. ඒ වගේම ඉඩම් බලතල ගැන දෙගිඬියාවෙන් කතා කරන්නේ. අපි කියන්නෙ ඒක නෙමෙයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කලින් දැන් කල් දාලා තියෙන පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. ඒක කල් දාන වැඩේ කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි කියන්නේ ඡන්දය තිබ්බොත් අපිට පොලිස් බලතල ගැන කතා කරන්න පුළුවන්. ඒත් ඒක නොකර තර්ක විතර්ක දාලා කරන්න පුළුවන් දේ කල් දැමීම ගැන අපිට දැඩි අප්‍රසාදයක් තියෙන්නේ. හැබැයි අපි අපේ ස්ථාවරය පැහැදිලිවම කියලා තියෙන්නේ. ඒත් පොහොට්ටුවට තවම ස්ථාවරයක් නෑ. අපි දැක්කා පොහොට්ටුවේ ලේකම්වරයා විවිධ ප්‍රකාශ කරනවා. අපි කියන්නේ එතුමට බලය දුන්න කණ්ඩායමේ පැහැදිලි ස්ථාවරය කියන්න කියලා. ජනාධිපතිවරයා මේ කරන්නේ දේශපාලන සූදුවක්. ඔහු මේ කරන්නේ කැරට් අල පෙන්වමින් ඔහුගේ ජනාධිපතිවරණ හීනය සඳහා පාර කපන එක. හැබැයි මේ කරන්නේ රුවටීමක් බව සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම දන්නවා. දැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පිට දාලා ඇඟ බේරාගන්න හදන්නේ.
දැන් අපි දන්නවා හැම පන්සලක්ම ලයිට් බිල ගෙවා ගන්න බැරුව දුක් විඳිනවා. ඒත් විපක්ෂ නායකවරයා මිහින්තලේ ලයිට් බිල ගෙවනවා. ඔහු මේ හදන්නේ බෞද්ධයන්ගේ හිත දිනාගන්නද?
මිහින්තලය කියන්නේ ලංකාවට බෞද්ධාගම ගෙනාපු ප්‍රධාන ස්ථානය. ඒ ඓතිහාසික වටිනාකම බලද්දි ආණ්ඩුව ඊට සලකන හැටි පේනවා. අපි දන්නවා ඒ සාම්ප්‍රදායිකව රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන තැනක්. ඒත් මේ අවුරුද්දේ ඒ අනුග්‍රහය ලබා දුන්නේ නෑ. පළමු අවස්ථාව තමයි ඔය වගේ විදුලිය කැපිල්ලක් වුණේ. ඒ කළ දේ වැරදියි. මොකද විදුලි බිල වැඩි කිරීම නිසා ඇතිවෙලා තියෙන පීඩනය අපිට හිතාගන්න පුළුවන්. ලයිට් කපනවට වඩා ඒ සඳහා මැදිහත්වෙලා කටයුතු කරන්න රජයේ ආයතන මැදිහත් වෙන්න ඕන.
ඒ කියන්නේ විදුලි බිල අයකර ගන්න එපාද පන්සල්වලින්?
නෑ. අපි කියන්නේ විදුලි බිල අයකර ගන්න එපා කියන කතාවක් නෙමෙයි. මම කියන්නේ ඒ අයකර ගැනීම් සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයකට නොයා විදුලිය විසන්ධි කිරීම සම්පූර්ණයෙන් වැරදියි.
ඇයි විපක්ෂ නායකවරයා මැදිහත් වුණේ?
ඔහුගෙන් ඉල්ලීමක් කළා. මීට පෙර මිහින්තලේ ගියාම ආණ්ඩුව මිහින්තලයට සලකන ආකාරය ගැන චෝදනා කළා. ඉතින් විපක්ෂ නායකවරයා හැටියට මැදිහත් වුණා. ඔබ කියනවා වගේ විහාරස්ථාන සහ ආගමික ස්ථාන ගණනාවක ඒක වෙලා තියෙනවා. කවුරු හරි මේක වැරදියි කියනවා නම් විපක්ෂ නායකවරයගේ මැදිහත්වීම මම හිතන්නේ ඒක විවේචනාත්මක කාරණයක් විතරයි. මෙතැන කිසිම දේශපාලනික අරමුණක් නෑ. අපිට තිබුණේ ඓතිහාසික ස්ථානයක් හැටියට ඒක රුකගන්න එක. කොහොම වුණත් මිහින්තලයට කළ දේ වැරදි දෙයක්. හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න තිබුණා.
අපි දැක්කා එදා මහරගම ජන පවුර රුස්වීමෙදි රොඩ්නි ප්‍රෙෂර් විසින් දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා ඔවුන්ව කපලා කියලා. ඇයි ඒ එහෙම කරන්නේ. මොකක්ද පක්ෂයේ අවුල?
ඉතා සාර්ථක ක්‍රියාදාමයක් එදා තිබුණා. ඒ වුණේ ඔය කියන පුද්ගලයගේ නම පමණක් සඳහන් කරලා තනතුරු සඳහන් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒකෙන් ඔහු හෑල්ලුවට ලක්වුණා කියන කාරණය තමයි ඔහු කිව්වේ. ඒක ඇත්තටම අභ්‍යන්තර කාරණාවක්. ඒක පක්ෂයේ මහා දෙයක් කියලා හිතන එක වැරදියි. අඩුපාඩු වුණේ නෑ කියන එක කියන්නේ නෑ. හැමදෙනාම සම්බන්ධ කර ගන්නත් ඕන. ඒත් එක්කම ඒ අඩුපාඩු මගහැර ගන්නත් ඕන. ඒක ඒ මහරගම කොට්ඨාසයේ කැඳවීමක් මිස පක්ෂයේ කැඳවීමක් නෙවෙයි. අපි මේ ගමන යන්න ඕන. ඒ වගේම අඩුපාඩු හදාගන්නත් ඕන.
I ගයාන් ගාල්ලගේ