වටේම ගොස් ගෙදරටම එන්නාක් මෙන් පළාත් සභා ඡන්දය යළිත් දේශපාලන කරළියේ කරක් ගසමින් තිබේ. එය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ මාතෘකාව කතාබහට ලක්වීමත් සමඟ සිදුවූවකි. මේ රටේ දේශපාලනය ඇතුළේ හෝද හෝදා මඩේ දමන මාතෘකාවක් වී තිබෙන 13 වැනි ව්‍යවස්ථාව බලගැන්වීම පිළිබඳ සියලු දේශපාලන පක්ෂ ඇතුළේ යළිත් කතිකාවකට පාර කැපුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක් වන 13 ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව දිගින් දිගටම නොවිසඳී තිබීම යහපත් නොවන බවත් එය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ විසින් ගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයාගේ මතය වී තිබෙන බව පැහැදිලිව ප්‍රකාශ වී තිබේ.
පළාත් සභා ඡන්දය ඉදිරියට ආවේ ඒ ක්‍රියාවලියේම කොටසක් හැටියටය. 13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡාවට ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී සියලු අදහස් දැක්වීම්වලට වඩා කැපී පෙනුණේ පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවට කෙරුණු ඉල්ලීම්ය. ඒ පිළිබඳ ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී අවධානය යොමු නොකළද පසුගිය 09 වැනිදා බදාදා පාර්ලිමේන්තුව අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේදී ඒ ගැන අදහස් දැක්වීය. ඔහු එහිදී කියා සිටියේ දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීන්ටත් පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම සහ කාන්තා නියෝජනය සියයට 25ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම යන කරුණු තුන සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි බවය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු විශේෂ කතාවට පිළිතුරු දීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මුලින්ම පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද පවත්වා ජනවරමක් සමඟ මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැදගත් බවය. රටේ මැතිවරණයක් නොපැවැත්වූ තත්ත්වය යටතේ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව විපක්ෂ නායකවරයාගේ අදහස විය.
මේ අදහස් දැක්වීම්වලින් පෙනී යන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබුණත් එයත් ප්‍රමාණවත් නොවන බවය. පළාත් සභා සම්බන්ධ ඉහත නව නීති සංශෝධනය කර සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බවද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වී තිබිණි.
තත්ත්වය එසේ නම් බැලූ බැල්මට රටේ සාමාන්‍ය පුරවැසියකුට පෙනී යන්නේ රජය පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානමක නොසිටින බවය. කොන්දේසි පැනවීමෙන් ඒ බව තහවුරු වෙයි. එම කොන්දේසිවලට විපක්ෂයේ එකඟත්වය ලබාගැනීම පහසු කාර්යයක් නොවන බවද පැහැදිලිය. විපක්ෂය එකඟත්වයට නොපැමිණෙන තෙක් ඡන්දය නොපැවැත්වෙන බව සහතිකය. නමුත් එම කොන්දේසි තුනට එකඟත්වයකට එළඹුණද පළාත් සභා පනත සංශෝධනය කිරීම එකවර සිදුවන බවක් ප්‍රකාශ වී නැත. සඳහන් වන්නේ එම පනත සංශෝධනයට සූදානම් බව පමණි. දැන්ම ඡන්ද පැවැත්වීම අවශ්‍ය නැතැයි යන මතය දරණ මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුව තුළ සිටින තුරු පළාත් සභා පනත් සංශෝධනය සීමා වනු ඇත්තේ කතාබහට පමණි. පළාත් සභා පනත සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අණ පනත්වලට විපක්ෂය සහයෝගය ලබා දෙන බවට මීට පෙරදී විපක්ෂ නායකයා කළ ප්‍රකාශය හමුවේද ආණ්ඩුව කළේ නිහඬ වීම පමණක් බවද මෙහිදී සිහිපත් කළ යුතුය.
13 වැනි සංශෝධනය සහ බලය බෙදීම ගැන තම යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඒ යෝජනා පිළිබඳ ගැඹුරින් විමසා බලා අදහස් ඉදිරිපත් කරන්නැයි කියාය. එහෙත් විපක්ෂය ප්‍රකාශ කරන්නේ 13 සංශෝධනය සහ බලය බෙදීම ගැන කතාබහ කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. එසේම පළාත් පාලන ඡන්දයක් පැවැත්විය යුතු බවද විපක්ෂය කියයි.
ආණ්ඩුවේත් විපක්ෂයෙත් අදහස් එසේ නම් ජනාධිපතිවරයා කොතරම් ඕනෑකමකින් සහ අධිෂ්ඨානයකින් යුක්තව තම යෝජනා ඉදිරිපත් කළත් ඒවා ක්‍රියාවට නංවාගැනීම බෙහෙවින් දුෂ්කර වනු ඇත. රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැලපෙන ආකාරයකට 13 වැනි සංශෝධන ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශය යථාර්ථයක් වීමට නම් පළාත් සභා හෝ පළාත් පාලන ඡන්දය හෝ පැවැත්වීම පිළිබඳ අඩුම තරමින් නිශ්චිත කාලරාමුවක් හෝ ප්‍රකාශ කිරීම වඩාත් ප්‍රායෝගික බව පෙන්වා දිය යුතුය. එසේ සිදු නොකර බලය බෙදීම පිළිබඳ කතා කිරීම බිත්තර නැතුව ඔම්ලට් හැදීමට කරන උත්සාහයක් වනු ඇත.