මේ දවස්වල පායන පෑවිල්ලේ තරම තේරුම් ගැනීමට පසුගිය දිනවල පළවූ පුවත්පත් සිරස්තල පමණක් ප්‍රමාණවත්ය. ''නියඟය කුඹුරු අක්කර 50,000ක් ගිලගනී, වියළි කාලගුණයෙන් 99,599ක් පීඩාවට, සමනල වැව සිඳේ: වතුරත් විදුලියත් නවතී, රටෙන් භාගයක් නියඟයෙන් දැවෙයි.'' ඒ සිරස්තල අතුරින් කිහිපයකි. එසේම මේ වනවිට රටේ පානීය ජල ධාරිතාව 9% කින් අඩුවී ඇති බවක්ද වාර්තා විය. මේ සියලු කාරණාවල අවසානයේ එක් ප්‍රතිඵලයක් ලැබෙන බවට සියලු පෙරනිමිති පහළ වෙමින් තිබේ.
ඒ ප්‍රතිඵලය වෙන කිසිවක් නොව තව මාස කිහිපයකින් රටේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමය. ඒ සමඟ උග්‍ර පානීය ජල හිඟයක්ද ඇතිවන බවට අනාවැකි පළ වෙයි. දැනටම රටේ ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් දැනුමැති පුද්ගලයන් විසින් ඒ ගැන අනතුරු අඟවා තිබේ. එහෙත් සුපුරුදු පරිදි රට කරවන මැති ඇමැතිවරුන්ගේ ඇස් තවම ඇරී නැත. ඇරුණත් ඒ බාගෙටය. මේ රටේ හැමදාමත් සිදුවුණේ ඒ ක්‍රියාවලියයි. ඔවුන් කරන්නේ රට වියළීම ගැන මහප්‍රාණ කතා කියමින් ගත යුතු පියවර නොගෙන සිටීමය.
මෙයට හොඳම උදාහරණය ලැබුණේ උඩවලව ගොවීන්ගේ ජල ගැටලුව විසඳූ ආකාරයයි. වැසි නොලැබීම නිසා තමන්ගේ කුඹුරු ගොවිතැන් සියල්ල විනාශ වෙමින් පවතින බව ගොවීන් කිව්වේ සති ගණනකට පෙරදීය. ඔවුන් ඉල්ලා සිටියේ දැනට තම ගොයම රැකගැනීමට අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් මුදාහරින ලෙසටය. එහිදී ගොවීන්ගේ ජල ප්‍රශ්නය පැත්තක තිබියදී ඇමැතිවරු දෙදෙනෙක් තමන්ගේ හයිය පෙන්වීමට පටන් ගත්හ. කෘෂි ඇමැති ගොවීන්ට ජලය ලබාදිය යුතු යැයි කියන විට විදුලිබල ඇමැති කිව්වේ එහෙම ජලය මුදාහැරියොත් දකුණට විදුලිය පැය 03ක් කප්පාදු කිරීමට සිදුවන බවය. දින ගණනක් මේ ඇමැතිවරුන්ගේ උද්ධච්ඡ කයිවාරුව සිදුවෙද්දී ගොවියෝ තමන්ගේ ගොයම බේරා දෙන්නැයි කන්නලව් කළහ. එහෙත් ආණ්ඩුවේ බලධාරීන්ගේ ඇස් ඇරුණේ නැත. ආණ්ඩුවේ ඇතැමුන් කිව්වේ උඩවලවේ තිබුණේ ගොවීන්ගේ ප්‍රශ්නයක් නොව එක් එක් දේශපාලන සංවිධාන මෙහෙයවන උද්ඝෝෂණ මාලාවක් බවය.
මෙවැනි තකතීරු කතා සහ අමාත්‍යවරුන්ගේ උද්ධච්ඡ සාකච්ඡා අතරේ වී ගොවීන්ගේ ගොයම විනාශ වෙමින් තිබිණි. අවසානයේදී ඉහළම බලධාරීන් මැදිහත් වී සමනළ වැවෙන් මුදාහැරි ජලය ගොවීන්ගේ කුඹුරුවලට ළඟාවෙන විට ගොයම පිදුරු බවට පත් විය. ප්‍රතිඵලය 50% කට අධික අස්වැන්නක් විනාශ වී යාමය. රටට බත සපයන ගොවීන්ගේ හඬට කන්දිය නොහැකි නම් ආණ්ඩුවට ඉදිරියේදී තවත් බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව තේරුම් ගැනීමට මහා දේශපාලන දැනුමක් අවශ්‍ය නැත.
මේ රටේ ආණ්ඩු පිහිටුවීමේදී කෘෂිකර්මයට සම්බන්ධ අමාත්‍යාංශ ගණනාවකට ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, වී-8 වාහන ඇතුළු සියලු සැප පහසුකම් සමඟ පත්වීම් ලබති. ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්ද කාලයක සිට ක්‍රියාත්මකය. එහෙත් නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත් සඳහා පූර්ව සූදානමක සිටින කිසිදු වැඩපිළිවෙළක් නැත. නියඟය හෝ මහ වැසි හෝ සුළි කුණාටු හෝ ඇතිවීම අපට පාලනය කළ නොහැකිය. එහෙත් එවැනි ස්වභාවික විපත් ඇතිවන බව සියලු දෙනා දැන සිටිති. සුළි කුණාටු කෙසේවෙතත් නියඟය සහ මහ වැසි ඇතිවන කාලසීමා ගැන කල් තබා අනාවැකි පළවෙයි. නමුත් නියඟයකදී ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමේ සැලැස්මක් අප රට සතුව නැත. එවැනි සැලැස්මක් තිබුණා නම් ඇමැතිවරුන් එකිනෙකාට බැණ ගනිමින් සිටීම අවශ්‍ය වන්නේ නැත. කළ යුත්තේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පමණි. නමුත් දැන් සිදුවන්නේ ගොවීන්ගේ ජල ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවට ආණ්ඩුවේ ඇතැම් බලධරයන් ගණන් හදාගෙන සිටීමය. එහෙත් පාඩුව සිදුවන්නේ මැති ඇමැතින්ට නොව රටේ මුළු මහත් ජනතාවටමය. බඩගින්නේ රඟ දැනෙන්නේ ජනතාවට මිස දේශපාලකයන්ට නොවේ.
වර්තමානයේ ඇතිවී තිබෙන බරපතළ වියළි කාලගුණ විපත හේතුවෙන් ඉදිරි කාලයේදී ජනතාවට දැඩි ආහාර අර්බුදයකට සහ පානීය ජල හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති බවට විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එහෙත් කෘෂිකර්ම ඇමැති කියන්නේ එවැනි අවදානමක් නැති බවය. එවැනි ආහාර හිඟයක් ඇතිවුණත් ආහාර තොග ප්‍රමාණවත් තරම් තිබෙන බවත් එය මදි වුවහොත් පිටරටින් හෝ සහල් ගෙන්වා දෙන බවත්ය.
එය ප්‍රශ්නයට ලැබෙන තාවකාලික පිළිතුරකි. එවැනි පිළිතුරුවලින් ලැබෙන භයානක ප්‍රතිඵල මීට වසරකට පෙර දැකගන්නට ලැබිණි. ගොවීන්ගේ පොහොර ගැටලුව පාරට ඇවිත් එය ගෝල්ෆේස් පිටිය දක්වාම පැමිණෙන විටත් එවකට සිටි කෘෂිකර්ම ඇමැතිවරයා කිව්වේ රටේ ගොවීන්ට පොහොර ප්‍රශ්නයක් නැති බවය. එකම හාල් ඇටයක්වත් පිටරටින් නොගෙන්වන බවය. ඉන්පසුව සිදුවූ සියල්ල අතීතයට එක්වී හමාරය. නමුත් අපට පෙන්වා දීමට තිබෙන්නේ මේ පාලනය යන්නේත් ඒ පාරේම නම් ඒ අතීතය පුනරාවර්තන වීමටත් බැරිකමක් නැති බවය.