අපේ රට විකුණාගෙන කෑමට කප් ගැසූ රටකි. දේශපාලනය තුළ මැතිවරණ කාලසීමාවේ ඉහළින්ම විකිණෙන්නේ සටන් පාඨය. මැතිවරණයෙන් පසුව බලයට පැමිණෙන බොහොමයක් ආණ්ඩුවලට ඊළඟට මුහුණ දීමට සිදුවන්නේ 'ඔන්න රට විකුණාගෙන කනවා' වැනි චෝදනාවලටය. මේ චෝදනා එල්ල කරන බොහෝ දෙනා විපක්ෂයේ සිටියදී එවැනි චෝදනා එල්ල කළත් ආණ්ඩුවට පැමිණි පසුව කලින් කියූ රට විකිණීමේ කතා රටේ ආයෝජන බවට හරවති. විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් විවිධ වරදාන සහ තානාන්තර ලබා ආණ්ඩු පක්ෂයට එකතු වූ පසුවද කලින් කියූ රට විකුණන චෝදනා ගැන මතක් කරනවාටත් කැමැති නැත. මෙහෙම රටක නියඟය පවා විකුණා ගැනීමට ලක්වුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත.
දැන් මේ රටේ පවතින්නේ මතක ඇති කාලෙක ඇති නොවූ තරමේ මහා නියඟයකි. වෙනදාට පළාත් කිහිපයකට බලපාන සේ ඇතිවන නියඟය මෙවර පළාත් නවයම ගිල ගනිමින් සිටී. වෙනදාට පතුලටම නොසිඳෙන අනුරාධපුර මහකනදරාව වැනි වැව් පවා පතුලටම සිඳී යමින් තිබේ. රන්දෙණිගල, මාඋස්සාකැලේ, කාසල් රී වැනි ජලාශ මුහුණ දී තිබෙන්නේද මේ අනතුරටමය. නමුත් මේ තත්ත්වයට පිළියම් යෙදීම පසෙක තබා අපට පෙනෙන්න තිබෙන්නේ මේ ගැටලුව ඇතැම් දේශපාලකයන් ඇතුළු බලධාරීන් විසින් විකුණා ගනිමින් සිටින බවය. ගොවීන්ගේ වගා හානියට වන්දි ගෙවීමේදී විවිධ තහංචි දැමීම එවැනි එක් අවස්ථාවකි. ගොවීහු ඇත්ත වශයෙන්ම දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිට එයින් යන්තම් ගැලවීමෙන් පසුව නියඟය හේතුවෙන් යළිත් නන්නත්තාර වී සිටිති. ඒ ගැන නිසි තක්සේරුවකින් තොරව කෘෂිකර්මය, විදුලිය, වාරිමාර්ග වැනි ක්ෂේත්‍රවල දේශපාලන අධිකාරියේත් නිලධාරීන්ගේත් වචන හරඹ සිදුකිරීම්වලින් පෙනී යන්නේ නියඟය ද අද වෙන්දේසි වෙමින් පවතින බවය. එයින් බැට කන්නේ රටේම ගොවි ජනතාවය.
රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර වී අර්බුදය පිළිබඳ 'දේශය'ට සිදු කළ මත දැක්වීමකදී ප්‍රකාශ කර තිබුණේ උඩවලව ජල ප්‍රශ්නයේදී බොහෝ දෙනකු ගොවීන්ට චෝදනා කළ බවය. ගොවීන් දෙපාර්තමේන්තු උපදෙස් පිළිනොගත් බවත්, කන්න රුස්වීම්වලට නොපැමිණි බවටත් නියමිත කන්න දිනයට වගාව ආරම්භ නොකළ බවත් කියමින් ගොවීන්ට චෝදනා එල්ල කළත් ඒ වනවිට ගොවීන් සිටියේ කන්න තුනක් අසාර්ථකව සිටින තත්ත්වයක් තුළ බව මහාචාර්යවරයා පවසා තිබිණි. රසායනික පොහොර තහනම, ඉන්දියාවෙන් යූරියා ලැබෙන බව දැනගන්නා විට ප්‍රමාද වී තිබීම වැනි කාරණා ඔහු පෙන්වා දී තිබිණි. එසේම පූර්ණ වශයෙන් වී වගාවට භාවිත කළ යුතු හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම වැනි අනුවණ යෝජනා නිසා වී නිෂ්පාදනය අඩු වූ බවද ඔහු පෙන්වා දෙයි.
මහාචාර්යවරයා පෙන්වා දෙන මේ කරුණු සියල්ල රටේ ස්වභාවික ආපදා පවා විකුණා ගැනීමේ තත්ත්වයක් ඇතැයි සිතෙන තැනකට රට තල්ලු කර තිබේ. ඒ සඳහා මූලික පියවර ගනු ලබන්නේ දේශපාලකයන් විසිනි. රසායනික පොහොර තහනම, උඩවලව ජලාශයට ප්‍රමාද වී ජලය මුදාහැරීම, හම්බන්තොට වැනි වී නිෂ්පාදනයේ උපරිම පල නෙළාගත හැකි දිස්ත්‍රික්කයක සුදුඅලි වැනි වැඩකට නැති බොරු සෝබන ව්‍යාපෘති ඇතිකිරීම, ඉන්දියාවෙන් යූරියා ගෙන එන බව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කිරීම වැනි මේ සියලු තීරණ දේශපාලන උවමනා එපාකම් අනුව ගනු ලැබූ ඒවාය. එවැනි තීරණ දේශපාලනික අවශ්‍යතාවලදී හොඳට විකිණිය හැකි 'භාණ්ඩ' ය. මේ හේතුවෙන් එකී තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් නිලධාරීන්ද ඇස්, කන් පියාගෙන සිටින්නේ තමන්ට සිදුවිය හැකි අවාසි අවම කර ගැනීම සඳහාය. අවසානයේ නියඟය පැමිණ හැම අතින්ම රටේ ගොවි ජනතාව තලා පෙළද්දී මේ දේශපාලකයන් සහ නිලධාරීන් බැණ වදින්නේද ගොවි ජනතාවටම වීම ලොකුම ඛේදවාචකයයි.
නියඟයක් යනු අපේ රටට අමුත්තක් නොවේ. හැම වසරකම පාහේ නියං කාලයක් පැමිණෙයි. එහෙත් මේ ආකාරයට රටටම බලපාන නියඟයක් ඇතිවීම බරපතළ තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීමේදී කොන්දේසි දැමීමත්, දේශපාලන හිතවත්කම් යොදාගැනීමත් තුළින් දේශපාලනඥයන් සිදුකරන්නේ නියඟය විකුණාගෙන කෑමය. නිලධාරීන් සිදු කරන්නේ මේ තත්ත්වයේ වරද එල්නිනෝ පිට පටවා ඇඟ බේරාගැනීමය. ගොවීන්ට ඉතිරිව ඇත්තේ අමුඩය තද කර ගැනීම පමණි.