චන්ද්‍රිකා 2005 මුල් කාලයේ හිටියේ දේශපාලන වශයෙන් අතරමං වූ තත්ත්වයකිනි. ඒ සුනාමි ව්‍යසනය නිසා නොව තමා රටේ නායිකාව වගේම පක්ෂයේද නායිකාව වුණත් ධුර කාලයේ නිමාව ළඟාවීම යනු තමන් සතු හැම බලයකම හුළං බහින කාලය බව ඇය දැන සිටි බැවිනි. ටික කාලයක සිටම මේ තත්ත්වය චන්ද්‍රිකාට දැනෙමින් තිබිණි. කොටින්ම තම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ වගකීමද තමන්ගෙන් ඈත්වෙමින් තිබෙන බව ඇයට දැනිණි.
මේකට ලොකුම හේතුව වුණේ ඒ වනවිට ඔවුන්ගේ පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා එවකට අගමැති වූ මහින්ද විය යුතු බවට පක්ෂය ඇතුළේ විශාල බලවේගයක් ගොඩනැගී තිබීමය හේතුවෙනි. තමන්ගේ පක්ෂයේ හිටියත් චන්ද්‍රිකා මහින්දට සැලකුවේ දේශපාලන සතුරෙක් හැටියටය. මේ නිසා මහින්දට අපේක්ෂකත්වය නොදී කුමක් හෝ දේශපාලන ගේමක් ගහන්න චන්ද්‍රිකා සැලසුම් කරමින් සිටියත් ඒ අතරවාරයේ මංගල වැනි තමන්ගේ සමීපතම දේශපාලන සගයන්ගේ කැමැත්ත පවා මහින්දට ලැබීමත් ඒ වනවිට විමල් වීරවංශලාගේ සහායද මහින්දට ලැබෙන බවට ලකුණු පහළ වීමත් සමඟ චන්ද්‍රිකාට තමන්ගේ ගේම් ප්ලෑන් වෙනස් කරන්නට සිදුවිය. එහෙත් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සඳහා තිබෙන අයිතිය තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනීමට ඇය තුළ අදහසක් තිබෙන්නටත් ඇත. ඒ වුණත් ඒකත් හරිගියේ නැත.
එක දවසක් මහින්ද චන්ද්‍රිකා හමුවන්නට ගියේ දෙකෙන් එකක් කතා කර විසඳුමක් ගැනීමටය. ජනාධිපතිවරණයට දින නියම කිරීම ආසන්න වෙමින් තිබීම එයට ප්‍රධාන හේතුව විය. ජනාධිපතිවරණයක් කිරීමේ භාරදූරකම ගැන හොඳට දැන සිටි මහින්දට එය පරාද වීමට කොහෙත්ම අවශ්‍ය වුණේ නැත. මේ නිසා ඡන්දය පැවැත්වෙන දිනය හරියටම දැන ගැනීමට මහින්දට ඕනෑ විය. ඔහු චන්ද්‍රිකා හමුවීමට ගියේ නිකම්ම නොවේ. හොඳම තුරුම්පුවක්ද අතේ තබාගෙනය.
එහෙම ගිහින් චන්ද්‍රිකා හමුවී කතා කරන අවස්ථාවේ මහින්ද තමාට අවශ්‍ය වූ ප්රශ්නය චන්ද්‍රිකාගෙන් කෙළින්ම ඇසුවේය. ''ජනාධිපතිතුමිය, දැන් කවද්ද ජනාධිපතිවරණය තියෙන්නේ'' මහින්දගේ ප්රශ්නය විය. ප්රශ්නය කෙළින්ම ඇහැව්වත් ඒකට චන්ද්‍රිකා දුන්නේ ඍජු පිළිතුරක් නොවේ. ''ඒක ඉතිං බලමුකො ඉස්සරහට. මම තාම ඒ ගැන හිතල නෑ.'' වගේ පිළිතුරකි. මහින්ද තමන්ගේ තුරුම්පුව ඇද්දේ ඒ වෙලාවේය. ''ඔබතුමියට ඕන වෙලාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න බැහැනෙ. දැන් දෙවැනි ධුර කාලය අවසාන නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න පුළුවන් මැතිවරණ කොමසාරිස්ටයි.'' මහින්ද කිව්වේය.
කලබල වූ චන්ද්‍රිකා ''බාලා'' යැයි කෑගසා තම ලේකම් වූ කුසුම්සිරි බාලපටබැඳි මහතා කැඳවා ඉක්මනට ව්‍යවස්ථාව ගේන්නැයි ප්‍රකාශ කළාය. ධුර කාලය අවසානයේ ජනාධිපතිවරණය ප්‍රකාශ කිරිමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවරෙන්නේ මැතිවරණ කොමසාරිස්ට බව ඇය දැනගත්තේ ඒ වෙලාවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31-(5) සඳහන් වී තිබුණේ මෙසේය. ''ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවත්වනු ලැබිය යුත්තේය. ඒ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා කළයුතු දිනයද ඒ ඡන්ද විමසීම පැවැත්විය යුතු දිනයද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කළ යුත්තේය.''
තමන්ගේ ජනාධිපති ධුරයේ බලතලවල කාලය ඉකුත්වීමේ දිනය අත ළඟටම පැමිණ ඇති බව චන්ද්‍රිකාට වැටහිණි. තමන්ගේ පළමු ධුර කාලය අවසන් වනවිට මැතිවරණ කොමසාරිස් සමඟ සාකච්ඡා කර දින නියම කිරීමට අවස්ථාවක් තිබුණත් දෙවැනි ධුර කාලය අවසානයේ එහෙම දෙයක් කරන්නට උත්සාහ ගැනීම තේරුමක් නැති බවත් මහින්ද මේ සාකච්ඡාවට ආවේ ඒ ගැන හොඳටම කරුණු සොයාගෙන බවත් චන්ද්‍රිකා තේරුම් ගත්තාය. ඉන්පසු සිදුවූ දේ ඉතිහාසයට එක්වී හමාරය.
ජනාධිපතිවරණයට අවුරුද්දකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන සොයාබලා නැත්නම් ඒ ගැන පුදුම විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතැඹුලක් සේ දැන සිටින එහි වගන්ති අස්සෙන් තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට උපන් හපන්කමක් ඇති ජනාධිපතිවරයා තමන් ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ කොහොමද කවදාද කියන එකට දැන්ම සැලැස්මක් ගහගෙන තිබෙන බවට සැකයක් නැත. ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවට හැඟීමක් රට තුළ ඇති කිරීමටත් ඒ සමඟ බලය බෙදීම, 13 වැනි සංශෝධනය, ජාතික ගැටලුව විසඳීම වැනි මාතෘකා රටේ කතාබහට ලක් කරවීමත් රනිල්ගේ ජනාධිපතිවරණ මාර්ග සිතියමේ කොටස් බවද පෙනී යයි. වරින්වර ලෝක රාජ්‍ය නායකයන් හමුවීමද එහිම කොටසකි. හැබැයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් තමන් සිටගත යුත්තේ කා සමඟද කියන එක නම් තවම විසඳී නැති බව නම් පැහැදිලිය.
මුලසිටම වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව වී තිබුණේ පොහොට්ටුවේ සහාය ලබාගනිමින් යූ.එන්.පී. නායකයා හැටියට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීම බව පෙනී ගියේය. එහෙත් ජනාධිපතිගේ ඇතැම් තීරණ පිළිබඳ පොහොට්ටු ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ විරෝධය පළවීමත්, අමාත්‍ය ධුර නොලැබීමත් සහ පොහොට්ටුවේ බල මණ්ඩල රුස්වීම් යම්තාක් දුරකට සාර්ථක කරගැනීමට හැකිවෙමින් තිබීමත් හේතුවෙන් පොහොට්ටුවේ සහාය ඔවුන්ගේම අපේක්ෂකයකුට හිමිවන බවට ප්‍රකාශ දැන් නිකුත් වෙමින් තිබේ. පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් මේ ළඟදී කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතාට බාර වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ හිටපු ජනපතිගේ ධුර කාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම පමණක් බවය. මේ කතාව විශේෂයෙන්ම කියන්න හේතුවුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටිගමන් 13 ව්‍යවස්ථාවත්, බලය බෙදීමත් ගැන කතා කිරීම නිසාය. බලය බෙදීම ගෝඨාභය ජනාධිපතිගේ ප්‍රතිපත්තිය නොවූ බවද ඔවුන් පෙන්වා දී තිබුණි.
මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අවශ්‍ය නම් ඒ සඳහා කළ යුත්තේ තමන්ට සමීපව වැඩකරන පොහොට්ටු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුගේත් සජබ කඩාගෙන එන බවට අනාවැකි පළකරන පිරිසකගේත් සහාය ලබාගෙන යූ.එන්.පී. ප්රමුඛ සන්ධාන අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමය. එහෙත් එහෙම කරන එකත් පහසු නැත.
පසුගිය දිනක බැසිල් හමුවූ රනිල්ට සමීපව වැඩකරන ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනකුම ඔහුට කියා තිබුණේ තමන් මේ වෙලාවේ ආණ්ඩුව ගෙනයාමට රනිල්ට සහාය දැක්වුවත් තමන් ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන් බවය. එසේම කලින් එන්නේ ජනාධිපතිවරණය නම් තමන් සහාය දක්වන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයාට බවද ඔවුන් බැසිල් හමුවේ ප්‍රතිඥා දී තිබිණි. මෙය රනිල්ට ආරංචි නොවී තිබිය නොහැක. මේ තුන්දෙනාත් තමන්ට සහාය දක්වන්නේ නැත්නම් යන්න වෙන්නේ මුළු පොහොට්ටුවේම සහායක් නැතුව බවට විවාදයක් නැත.
සජබ ගලවාගෙන පිරිසක් ඇවිත් තමන් සමඟ එකතු වනු ඇති බවට හතර අතේ ප්රවෘත්ති පළකර දැන් සති ගණනකි. එහෙත් මේ වනතුරු එහෙම කවුරුවත් ආවේ නැත. මුල සිටම රනිල්ට සමීපව වැඩකරන රාජිතත් සජබ ඇතුළේ හටගත් මතභේද හේතුවෙන් රනිල් සමඟ එකට යා යුතු බවට මත පළකරන කිහිප දෙනකුත් හැර වෙන කවුරුවත් යූ.එන්.පී. එක ගැන ප්රසාදයකින් කතා කරනබවක්ද පෙනෙන්නට නැත. හර්ෂණ රාජකරුණා සහ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරුන් සජබ මාධ්‍ය සාකච්ඡාවලදී හැමවිටම කියන්නේ සජබෙන් කවුරුත් යූ.එන්.පී.යට එකතු වෙන්නේ නැති බවය. ඒවා පැළකරන නිව්ස් බවටද ඔවුහු චෝදනා කරති.
මේ අදහස් දැක්වීම්වලින් පෙනෙන්නේ ජනාධිපති රනිල් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ සඳහා දැන් සිටම ප්‍රබල ලෙස සංවිධානය වීමක් සහ හොඳ ගේම් ප්ලෑනක් අවශ්‍ය බවය. යූ.එන්.පී.ය පමණක් රනිල් ඔසවාගෙන ජනාධිපතිවරණයට යාම දේශපාලන වශයෙන් ''හරාකිරි'' කර ගැනීමකි.
මේ පසුබිමේ පොහොට්ටුව ඉන්නේත් අර්බුදයකය. ඔවුන්ට රනිල් විරුද්ධව යා හැකි වුණත් ජනාධිපතිවරණයේදී දිනන අපේක්ෂකයෙක් දා ගැනීම ලොකු ගැටලුවකි. ජනාධිපතිවරණයකදී පොහොට්ටුව සමඟ මේ වෙලාවේ යූ.එන්.පී.ය හැරෙන්න වෙනත් පක්ෂයක් සන්ධාන ගතවීමක් ගැන හිතන්නේත් නැත. මේ නිසා ඔවුන්ට මේ වෙලාවේ තිබෙන හොඳම විකල්පය නම් මහමැතිවරණයකට යාමය. අඩුම තරමින් සෑහෙන ආසන සංඛ්‍යාවක් ලබාගෙන විපක්ෂයට හෝ යා හැකි බැවිනි. එහෙම බලනකොට මේ ඔක්කොම දැන් කරන්නේ රට පාලනය කිරීම නොව ඊළඟ ඡන්දයට තම තමන්ගේ කේන්දර බැලීමය. එහෙම කරන්නත් තව ඉතිරිව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ මාස ටිකේ වටිනාකම වෙන කාටවත් වඩා 2005 ජනාධිපතිවරණයේදී මහින්දට තියුණු සටනක් දී පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා නම් හොඳින්ම දැන සිටිනවා විය යුතුය.
I ශෂින්ද්‍ර