ගින්දර සමඟ සෙල්ලම හොඳ නැත. ඒ වගේම අවි ගත්තෝ අවියෙන්ම නසින බවටද කතාවක් තිබේ. අවි ගන්නා බොහෝ පුද්ගලයන් සිදු කරන්නේ ගින්දර සමඟ සෙල්ලමකි. පොඩ්ඩ ගැස්සුණොත් අනෙකාගේ අවියට තම ජීවිතය බිලි දීමට සිදුවෙයි. එහෙත් මේ ගිනි-අවි කෙරුවාව මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට එල්ල කර ඇත්තේ බරපතළ ප්‍රහාරයකි.
තැන තැන පත්තුවෙන පාතාලයේ තුවක්කු හේතුවෙන් දිනපතාම පාහේ මරණ වාර්තාවෙයි. ඇතැම්විට දෙතුන් දෙනෙක් මැරුම් කති. මෙය භයානක ප්‍රවණතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. කලකට පෙර මහ රූ හෝ පාළු මංමාවත්වල සිදුවූ මිනීමැරුම් දැන් මහ දවාලේ දෙනෝදාහක් බලා සිටියදී සිදුකිරීම රටේ නීතිය බරපතළ අභියෝගයකට ලක් කර තිබේ. එයට විසඳුම් සෙවීම පහසු නැත. නමුත් එසේ කියා මේ මනුෂ්‍ය ඝාතන දිනපතා සිදුවීමට ඉඩ හැර බලා සිටීමද කළ නොහැක.
මහමග පත්තුවෙන හැම වෙඩිල්ලකටම ගොදුරු වන්නේ පාතාලයේ කෙරුමන්දැයි කියන්න අප දන්නේ නැත. එහෙත් එසේ සාහසික ලෙස, අමු දවාලේ ජනතාව අතරදී සිදුකරන මිනීමැරුම් පාතාලයටම බැර කරනු හැර දැනට කළ හැකි යමක් ඇතිදැයි අපි නොදනිමු. පාතාලයේ සාමාජිකයන් එකිනෙකා මරාගන්නා බවත් ඒ මිනීමැරුම්වල කෙලවරක් නොපෙනෙන බවත් පමණක් අපට මේ අවස්ථාවේදී කිව හැකිය. නමුත් ගැටලුව ඇත්තේ මරාගත්තත් පාතාලයන්ගේ අවසානයක් සිදු නොවීමය. එක් පැත්තකින් පාතාලයේ මිනීමැරුම් සිදුවන විට අනෙක් පැත්තෙන් පාතාලය පැටව් ගසයි. ඒ වගේම පාතාලයට අවි ආයුධවලින්ද හිඟයක් නැත. වෙඩි තැබීම් සිදුවන්නේ ටී56 වැනි නවීන පන්නයේ ගිනිඅවි භාවිත කරමිනි. නමුත් එම ගිනිඅවි පොලීසියට හසුවන විට ඒවායේ තිබිය යුතු හඳුනා ගැනීමේ අංක මකා දමා තිබෙන බවද සඳහන් වෙයි. මේ නිසා එම අවිවල සැබෑ අයිතිකරුවන් වන සැඟවුණු අපරාධකරුවන් හඳුනා ගැනීමේ හැකියාවද මැකී යයි.
පාතාලය අතට මේ මිනීමැරුම් සිදුකිරීමට භයානක අවි ලැබෙන්නේ කෙසේද යන්නද තේරුම් ගැනීම අපහසුය. අපේ රටේ අමෙරිකාව මෙන් කඩපළට ගොස් අලුත්ම කුවක්කු මිලදී ගැනීමට හැකියාවක් නැත. පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදාවලට හැර වෙනත් කිසිවකුටත් ගිනිඅවි පරිහරණයට අයිතියක් නැත. ඊට අමතරව තිබෙනවා නම් ඒ පෞද්ගලික ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳ අගැයුමකින් පසුව එක් එක් පුද්ගලයාට නිකුත් කෙරෙන ආත්මාරක්ෂක ගිනි අවිය. එසේම මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූන් සඳහා නිකුත් කෙරෙන බලපත්‍ර සහිත ගිනිඅවි ද වෙයි.
එහෙත් පාතාලයන් අතට නම් ගිනිඅවි ලැබෙන ක්‍රමයක් තවම දැනගන්නට නැත. කාලයකට පෙර යුද්ධය අවසන් වූ කාලයේදී උතුරෙන් සහ නැගෙනහිරින් රටේ සෙසු ප්‍රදේශවලට ගිනිඅවි හොර පාරෙන් ගලාගෙන පැමිණි බවද හෙළි වී තිබිණි. ඒ කාලයෙත් පාතාලයේ මිනීමැරුම් තිබුණත් එය මේ තරම් දරුණු මට්ටමක තිබුණේ නැත.
මේ වනවිට දිනපතාම පාහේ මහ මගදී පවා මිනී මරන්නේ එක්තරා පිරිසක් අතර ගිනිඅවි බහුලව තිබීම හේතුවෙන් වීමද මේ අපරාධ රැල්ල පහසු කර තිබේ. මේ ගිනිඅවි හොර රහසේ මේ රටට ගෙන්වනවා විය හැක. එසේත් නොමැති නම් අවිත් අරන් හමුදාවලින් පැන ආ පුද්ගලයන් අතද මේ අවි තිබෙනවා විය හැක. මේ තත්ත්වය දෙසට අපරාධ පිළිබඳ විමර්ශනය කරන නිලධාරින්ගේ අවධානය යොමුවී තිබෙන බවත් නිසැකය. නමුත් මේ අවි පාතාලය අතට පත්වීම නතර කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම පාතාලය පෝෂණය කිරීමකි. එය රටේ නීතිය සමඟ සසඳන කල යහපත් ප්‍රවණතාවක් නොවේ.
මේ අපරාධ රැල්ලේ පිටතින් සිටින්නේ වෙඩික්කරුවන්ය. මේ වෙඩික්කරුවන් ඇතැම්විට කුලියට මිනීමැරුම් සිදුකරන පුද්ගලයෝ වෙති. තවත් පිරිසක් පාතාල නායකයන්ගේ ගෝල බාලයෝ වෙති. මොවුන් හසුවූ පමණින් පාතාලයේ මිනී මරාගැනීම් නවතින්නේ නැත. කොටින්ම මිනීමැරුම් සිදුකරන සැබෑ අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු මේ අපරාධ රැල්ල නැවැත්වීම සිහිනයක් පමණි. වහාම දැල එළිය යුත්තේ සැබෑ අපරාධකරුවන් වන මේ මිනීමැරුම් කොන්ත්‍රාත් ලබාදෙන, මිනී මැරීමට අණ දෙන පාතාලයන් අල්ලා ගැනීමටය. එහෙත් සිදු නොවෙන්නේම එයමය.
ලංකාවේ පාතාලයන් බොහොමයක් දෙනා එතෙරට වී මරණ තර්ජනවලින් තොරව සැපට ජීවත් වන බවද කියති. ඔවුන් ඒ රටවලදී අල්ලා ගත්තොත් මිස ලංකාවේදී නම් අල්ලා ගැනීම සිදුවෙන්නේ නැත. එසේ පිටරටදී අල්ලාගත් ඇතැම් පාතාලයන් පවා ඇප ලබා සිටියදී සද්ද නැතිව රටින් පලා ගිය අවස්ථාද තිබේ. මේ පසුබිමේ අපට පැහැදිලි වන්නේ පාතාලය තබාගැනීමට ක්‍රියා කරන ඉතා බලවත් පුද්ගලයන්ද මේ රටේ සිටින බවය. ඔවුන් කවුදැයි හෙළිවන තුරු මේ මිනීමැරුම් රැල්ල නවතින්නේත් නැත.