2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මටත් තියෙන්නෙ අකුරු තුනේ නමක්

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 77


මීට ටික දිනකට ඉහතදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව සඳහන් කළේය. අපේක්ෂකයා කවුදැයි කෙළින්ම නොකියූ ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ අපේක්ෂකයා අකුරු තුනේ නමක් තිබෙන අයකු බවය.

විපක්ෂයේ සන්ධානයක් වන උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ කතාවට පසුගියදා පිළිතුරක් දුන්නේය. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ මීළඟ ජනාධිපතිවරණයට තව බොහෝ කාලයක් තිබෙන බවය.

''මේ කාලය ඇතුළත බොහෝ දේ සිදුවිය හැකියි. බොහෝ අපේක්ෂකයන්ගේ නම් එළියට එන්න පුළුවන්. අලුත් අපේක්ෂකයකු එනතුරු ඉවසීමෙන් සිටින්නැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'' යැයි කියූ ගම්මන්පිල මන්ත්‍රීවරයා අකුරු තුනේ අපේක්ෂක කතාවටද ෂොට් එකක් දෙමින් ඔහු කිව්වේ එවැනි නම් ඇති අපේක්ෂකයන් කිහිප දෙනකුම සිටින බවය. ''අනුර, සජිත්, රනිල්, විමල් සහ ඩලස් මේ ඔක්කොම අකුරු තුනේ නම් ඇති අය. මටත් තියෙන්නෙ අකුරු තුනක නමක්. මේ රටේ බොහොමයක් පක්ෂ නායකයන්ට තියෙන්නේ අකුරු තුනේ නම්...''

I   සන්ඩේ ටයිම්ස්

ක්‍රිකට් ජය සහ තෙල් මිල

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණ සහ තෙල් මිල අතර සම්බන්ධතාවට සෑහෙන අතීතයක් තිබේ. එහි අලුත්ම කතාව පසුගියදා ශ්‍රී ලංකා - බංග්ලාදේශ ආසියානු කුසලාන තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර පැයක් යන විට පෙට්‍රල්, ඩීසල් මිල වැඩි කිරීමය. අලුත් මිල ගණන් අනුව පෙට්‍රල් 92 ලීටරය රුපියල් 13 කින්ද 95 රුපියල් 42 කින් සහ ඩීසල් රුපියල් 35 කින් ඉහළ දමනු ලැබීය. භූමිතෙල් ද රුපියල් 05 කින් වැඩි විය. ඒ අනුව පසුගිය මාසය තුළදී පෙට්‍රල් 92 රුපියල් 23 කින් වැඩි වී තිබේ. 

මේ වැනි ක්‍රිකට් ජයග්‍රහණයකින් පසුව සිදු කරන මිල වැඩි කිරීම් පාරිභෝගික ජනතාව අතර ඇති ඇති කරන්නේ දැඩි අප්‍රසාදයකි. වරක් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරමින් සිටි 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට තේරුණේ ශ්‍රී ලංකාවය. ඒ අවස්ථාවේදීද මේ ආකාරයට තෙල් මිල ඉහළ දමනු ලැබීය. නිකම් අවස්ථාවකදී තෙල් මිල ඉහළ දැමීමකට වඩා ක්‍රිකට් ජයග්‍රහණවලට මුවාවී සිදු කරන මිල ඉහළ දැමීම්වලදී ජනතාව දැඩිව ඊට විරෝධය පළ කරති. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාව එම මිල වැඩි කිරීමට දැක්වූ දැඩි ප්‍රතිචාර මෙහි සඳහන් කිරීමට පවා නොහැකිය.

ලෝකෙන්ම ලංකාව විතරයි

මේ අතර ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ප්‍රථම තරගයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් නමුත් මේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබුණේ එම තරගය පැවැත්වීමට දින දෙකකට කලිනි. එම කණ්ඩායම තේරුම් කමිටුව මගින් තෝරාගෙන අමාත්‍යවරයාගේ අනුමැතියට යවා තිබුණේ අගෝස්තු මාසයේ පළමු සතියේදීය. අමාත්‍යවරයා එම අනුමැතිය ලබාදීම දිගින් දිගටම අතපසු කරමින් සිටියදී තරගාවලියේ සෙසු කණ්ඩායම් වන ඉන්දියා, පාකිස්ථාන, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථාන සහ නේපාලය සිය කණ්ඩායම් තෝරා අවසන් කර ඔවුන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කළේ සති කිහිපයකට පෙරය.

ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීමකින් තොරව ජාත්‍යන්තර තරගාවලියට කණ්ඩායමක් ඉදිරිපත් කළ නොහැකි එකම රට ශ්‍රී ලංකාව පමණි.