ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන කතා බොහොමයකි. ජනාධිපතිවරණය ලංකාවේ ලොකුම මැතිවරණය කරපු ජේ.ආර්.ගේ කාලයේ පටන්ම ජනාධිපතිවරණයට එන අපේක්ෂකයන් ගැන රටේ ජනතාවගේ අවධානය යොමු වුණේය. වරක් ජේ.ආර්. එක්ක ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරත් ජනාධිපතිවරණයට තරග කළේය. ඒ වෙලාවේ ප්‍රධාන විපක්ෂය වී තිබූ ශ්‍රීලනිපයේ නායිකා සිරිමාවෝගේ දේශපාලන අයිතින් අහිමිකර තිබූ බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ හෙක්ටර් කොබ්බෑකඩුවය. ජේ.ආර්. වැඩි ඡන්ද ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකින් කොබ්බෑකඩුව පැරුද්දුවේය. රෝහණ විජේවීරටද ඡන්ද දෙලක්ෂ හැත්තෑතුන් දහසක් ලැබී තිබුණි. ඒ 1982 ජනාධිපතිවරණයේදීය.
ඊට පසුවත් පැවති ජනාධිපතිවරණවලදී හැමවිටම රටේ අවධානය යොමුවුණේ විපක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක දෙසටය. ආණ්ඩුවේ අපේක්ෂකයා ගැනත් ප්‍රශ්න තිබූ නමුත් ජනාධිපතිවරණය ගැන රටේ උණුසුම වැඩිවෙද්දී බොහෝ අවස්ථාවලදී ආණ්ඩුවේ අපේක්ෂකයා තීරණය වී හමාර වී තිබිණි. හැමවිටම වගේ ගැටලු තිබුණේ විප්කෂයේ අපේක්ෂකයා ගැනය.
හැබැයි ඊළඟට තියෙන ජනාධිපතිවරණය නම් ඊට වෙනස් මගක් ගනිමින් තිබේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දයට ඉදිරිපත් වන බවක් කෙළින්ම නොකියයි. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාදෙන පොහොට්ටුව ජනාධිපතිවරණයේදී වෙනත් මගක් ගන්නා බව පෙන්නුම් කරමින් සිටී. ආණ්ඩු බලය තිබුණත් පොහොට්ටුව තවමත් ජනාධිපති අපේක්ෂක ගැන ඉන්නේ දෙගිඩියාවකය.
සිරිකොත මන්දිරයේ පසුගියදා තැබූ මාධ්‍ය සාකච්ඡාවකදී යූ.එන්.පී. මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊට ඉදිරිපත් නොවන බව තමන් කැට තියා කියන බවය. රනිල් මහත්තයා ආවොත් සජිත් මහත්තයා නියත වශයෙන්ම යාල කැලේට පනිනු ඇති බවද ඔහු කීවේය.
ඒක දේශපාලන කරළියට දමා ගැසූ කතාවකි. හැබැයි එහෙම යූ.එන්.පී. එක කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවට කිසිම දිනයක් නියම වී නැති අවස්ථාවකය.
ජනාධිපතිවරණය ලබන වසරේ මැද භාගයේදී පැවැත්වෙනු ඇතැයි සඳහන් වීම හේතුවෙන් මෙසේ සියලුම දේශපාලන පක්ෂ තමන්ගේ පෙර සූදානම සඳහා පිට පොට ගසමින් සිටී. ඇතැම් පක්ෂ කොතරම් කලබල වී දැයි කිවහොත් නියමිත කාලසීමාවටත් පෙර සිටම තම පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීඹට පවා පෙළඹුණි. කෙසේ වුවද ජනාධිපතිවරණය කල් දැමීමේ ඉඩකඩක් ඇති බවට බියක්ද විපක්ෂය වෙළාගනිමින් තිබේ. එවැනි තත්ත්වයක් උදා වුවහොත් ඊට මුහුණ දීම සඳහා එක්ව ක්‍රියා කිරීමට සංවිධානාත්මක වැඩපිළවෙළක් ඇතිකර ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතිකර ගැනීමට කටයුතු සිදුවුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත.
රජය එවැනි පියවරක් ගතහොත් එයට එරෙහිව පොදු එකඟත්වයක් ඇතිකර ගැනීමේ එක් පියවරක් වශයෙන් ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව පසුගියදා ජවිපෙ මූලිකත්වයෙන් ගොඩනැගුණු ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණේ ඒ හේතුවෙනි. ඡන්දය කල්දැමීමක් සිදු වුවහොත් පොදු එකඟත්වයක් ඇතිව ඊට මුහුණදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. මේ දෙපක්ෂයේම අදහස වී ඇත්තේ දින නියමයක් නැතිව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට රජය පියවර ගත් ආකාරයටම සෙසු මැතිවරණ කල්දැමිමට වුවද ඉඩක් පවතින බවය.
මේ සාකච්ඡාව සඳහා සහභාගි වූ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කර තිබුණේ නිදහස ජනතා සභාව සමඟ පැවති එම සාකච්ඡාවේදී ජනාධිපතිවරණය කල්දැමීමට තිබෙන ඉඩකඩක් පිළිබඳ විශේෂයෙන් සඳහන් කිරීමක් සිදු නොවුණු බවය. නමුත් ''ඡන්දය භාවිත කිරීමට තිබෙන අයිතිය තවදුරටත් මර්දනයකට ලක් කිරීමකදී'' එක් වී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය වූ බවය.
''ජනාධිපතිවරණය කල් දැමීම පාපකාරී වැඩක්. එවැනි පියවරක් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් සිදුකළ නොහැකියි. එය කළහැක්කේ ජනමත විචාරණයක් හරහා ජනතාවගේ කැමැත්ත ලබාගැනීමකින් පමණයි. කොහොම වුණත් පාර්ලිමේන්තු මැතිවරණ කල්දැමීම් පිළිබඳව අපගේ ඉතිහාසයේ සඳහන් වෙනවා'' යැයිද ඔහු ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වුවද රජයේත් විපක්ෂයේත් ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබී ඇත්තේ ජනාධිපතිවරණය ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවය. නමුත් 2010 සහ 2015 වසරවලදී සිදුවුණාක් මෙන් මේ අවස්ථාවේදී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වීමක් නම් මෙවර සිදු නොවනු ඇත. ජනාධිපතිවරණයේදී ප්‍රබල බලපෑමක් කළ හැකි පක්ෂයක් වන ජාතික ජන බලවේගය තමන්ගේ අපේක්ෂකයා පක්ෂනායක අනුර දිසානායක බවට මේ වනවිටද ප්‍රකාශ කර අවසන්ය. තමන්ගේ අපේක්ෂකයා සජිත් බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රකාශ කර ඇත. සජබ සහ ජාතික ජන බලවේගය දේශපාලන වශයෙන් අන්ත දෙකක සිටින බැවින් පොදු අපේක්ෂකයකු පිළිබඳව කතාබහකට කිසිදු ඉඩක් නැත.
ඩලස් අලහප්පෙරුම වරක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ අදහසක සිටි නමුත් විපක්ෂයේ සෙසු ප්‍රධාන පක්ෂ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය තවදුරටත් යථාර්ථයක් වන්නේ නැත.
ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට අදහසක රුඳී සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රී පිරිසක් මේ වනවිට ඉදිරි මැතිවරණයක් සඳහා තමන්ගේ බිම් මට්ටමේ සාමාජිකයන් සංවිධානය කිරීමේ පක්ෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබේ. මේ අතර නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ නායකත්වයේ ක්‍රියාකරන කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇති අතර ඔහු තම කණ්ඩායම මීළඟ මැතිවරණයට පෙර දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට සූදානමින් සිටින බවද සඳහන්ය.
මේ පසුබිමේ පාලිත රංගේ බණ්ඩාර මීළඟ ජනාධිපතිවරණයේදී සජිත්ට කැලේට පනින්න සිදුවනු ඇතැයි කිව්වත් දේශපාලන කරළියේ කෙළින් කතා කරන මන්ත්‍රීවරයකු හැටියට ප්‍රසිද්ධ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කියන්නේ වෙනත් කතාවකි. ඔහු මේ කතාව කියා තිබුණේ බදුල්ලේ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදීය.
''ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා හෝ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතුයි. අනුරයි සජිතුයි දෙන්නාම ඉදිරිපත් වුණොත් අපි කරන්නේ විපක්ෂයේ ඡන්ද කඩන එක. සජිත් ජනාධිපති අනුර අගමැති එහෙම නැත්නම් අනුර ජනාධිපති සජිත් අගමැති කියල ආවොත් අපට ප්‍රශ්නයක් නැහැ.''
ඩිලාන් මෙහෙම කිව්වත් පොදු අපේක්ෂක කතාවට සජබ හෝ ජා.ජ.බ. නම් කැමැති වන්නේ නැත. මේ දෙපක්ෂයම හිතන්නේ ඊළඟ ජනාධිපතිවරණය තමන්ට දිනාගත හැකි වන බවය. හැබැයි ඒ විශ්වාසය යූ.එන්.පී.යට කලින් තිබුණේ නැත. පාලිත රංගේ බණ්ඩාර සජිත් ගැන දැන් එහෙම කතාවක් කියන්නේ විශ්වාසයක් ඇතිවීම නිසා විය යුතුය. ඔහු මේ නොකියා කියන්නේ යූ.එන්.පී.යට එකතු නොවුණොත් සජිත්ට ඇඩ්‍රස් නැතිවනු ඇති බවය.
ඒක එහෙම වේදැයි කියන්න බැරිය. හැබැයි ආණ්ඩුවට ඇඩ්‍රස් නැතිවෙන්න පරද්දන්න පුළුවන් ක්‍රමයක් ඩිලාන් මන්ත්‍රීවරයා කියා තිබුණි. ''විරුද්ධ පක්ෂයේ සියලුම පක්ෂ හා බලවේග එක මේසයකට ගේන්න ඕනි. පාර්ලිමේන්තුව ඇතුළෙ ඉන්න සියලු විපක්ෂයේ පක්ෂ එක්ක පාර්ලිමේන්තුවට පිටින් ඉන්න පෙරටුගාමී පක්ෂයත් එකතු වුණොත් විතරයි අපට ඇඩ්‍රස් නැතුව මේ ආණ්ඩුව පරද්දන්න පුළුවන්'' එහෙම කියන ඩිලාන් අන්තිමට මෙහෙමත් කියා තිබුණි.
''රනිල් මහත්තයා බොහෝවිට උත්සාහ කරයි පළාත් පාලන මැතිවරණය කල්දැම්මා වගේ ජනාධිපතිවරණයත් අනෙක් මැතිවරණත් කල් දාන්න. අඩුගාණේ එහෙම වෙලාවකදී හෝ මේ සියලු පක්ෂ එකතු වෙන්න ඕනි.''
ඩලස්ලා, විජිත හේරත්ලා කියන්නෙත් මේ කතාවම නොවේද?
I ශශීන්ද්‍ර