2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

කසිප්පු වලිප්පුව

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 97

ලංකාවේ හොර මත්පැන් පොදුවේ හැඳින්වෙන්නේ කසිප්පු වශයෙනි. සමහරුන්ට අනුව ''කසියා'' ය. කසිප්පු කවදත් විකුණුවේ හොර රහසේය. මේ නිසා කසිප්පු යනු ලංකාවේ පොලීසිවලටත් හොඳ කෑමක් වී තිබේ. තම පොලිස් වසම්වල නඩු අඩුවන විට තමන් හොඳට දන්නා කසිප්පු නිෂ්පාදනාගාර වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නඩු පවරනු ලැබේ. එවිට දඩ මුදල් අය කරන අතර පොලීසිය ගොඩ යයි. කසිප්පුකාරයෝ ආපසු බිස්නස් එකට බසිති.

ඒ වගේම මාසිකව පොලීසිවලට ''ගාස්තු'' ගෙවා එළිපිටම කසිප්පු පෙරන ඔස්තාර්ලාද වෙති. මේ ''සුසංයෝගය''ට දේශපාලකයන්ගේ අනුග්‍රහයද ලැබෙන බැවින් ඔවුන්ගේ කසිප්පු හසුවන්නේ කලාතුරකිනි. අසුවුණත් ඇතුළට යන්නේ කසිප්පු මුදලාලි නොව වෙනත් අයෙකි. මෙවැනි කසිප්පුකාරයන්ට පොලීසිවල ඇතැම් නිලධාරීන්ගේ වෙනත් අවශ්‍යතාද පිරිමසන්නට සිදුවෙයි. ඒක වෙනම කතාවකි.

කසිප්පු ගැන මෙහෙම විස්තරයක් ලියන්න හේතු වුණේ මේ වනවිට මෙරට හොර මත්පැන්වල අලෙවිය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙනි. අපගේ 'දේශය' පුවත්පතේ එක් ප්‍රවෘත්තියකින් හෙළිකර ඇති පරිදි ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන්වල වර්ධනය 500% ක් පමණ වන ප්‍රතිශතයක් දක්වා ඉහළ ගොස් තිබේ. නීත්‍යානුකූල මත්පැන් භාවිතය 50% කින් වර්ධනය වෙද්දී මෙසේ නීත්‍යානුකූල නොවන මත්පැන් එනම් කසිප්පු නිෂ්පාදනය මෙතරම් ප්‍රසාරණය වීම බරපතළ සමාජ ප්‍රශ්න උද්ගත කිරීමට හේතුවන බව නියතයකි. වඩාත් අනතුරු සහ අපරාධ සිදුවීමට කසිප්පු භාවිතය ඉහළ යාම ප්‍රධාන සාධකයක් බැවිනි.

නීත්‍යානුකූල මත්පැන් වර්ගයක් වුවද භාවිතය වර්ධනය වීම සුදුසු යැයි අප කියන්නේ නැත. මේ හැම ආකාරයකම මත්පැන් මිනිස් සිරුරට අහිතකර බව වෛද්‍ය මතය බැවිනි. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) පසුගියදා සඳහන් කර තිබුණේ තමන් කළ සමීක්ෂණයකට අනුව ජනගහනයෙන් 70.9% ක් පසුගිය මාස 12 තුළ කිසිදු මද්‍යසාර වර්ගයක් භාවිත කර නැතැයි සොයාගැනීමට හැකි වූ බවය. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරනවාට වඩා මද්‍යසාර නිපැයුම්වල මිල වැඩිකර ආදායම් වැඩිකර ගනිමින් මද්‍යසාර පරිභෝජනය තවදුරටත් අඩුකිරීමට පියවර ගත යුතු බවය.

එසේ වුවද මද්‍යසාර භාවිතය යනු සමාජ අවශ්‍යතාවක් බවද පිළිගත යුතු වෙයි. මත්පැන් පරිභෝජනය අධෛර්යමත් කළ යුතු වීම ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගනු ලැබුවත් මත්පැන් අවශ්‍ය තැනැත්තාට තම අතේ ඇති මුදලින් මත්පැන් මිලදී ගැනීමට නොහැකි නම් ඔහු විකල්ප කරා යොමුවීම වැළැක්විය නොහැක. නීත්‍යානුකූල මත්පැන් මිලදී ගත නොහැකි හැමෝම කසිප්පු පානයට යොමුවන බවක් අපි නොකියමු. එහෙත් අඩු ආදායම්ලාභී අඩු වරප්‍රසාද සහිත පරිසරයක සිටින පිරිස කසිප්පුවලට යොමුවීම සිදුවිය හැකිය. ප්‍රසිද්ධියේ මිලදී ගත හැකි මත්පැන් බෝතලයක් සඳහා මුදල් වැය කිරීමට නොහැකිවීමේ එක් ප්‍රතිඵලයක් වන්නේ හොරෙන් පරිභෝජනය කළ යුතු මත්පැන් වර්ධනය වීමය. එය නිසැකවම සමාජය තුළ බරපතළ ගැටලු ඇති කරයි. කසිප්පු හේතුවෙන් සිදුවන කෝලාහල, අපරාධ සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හරහා එය හොඳින් ඔප්පු වෙයි. විශේෂයෙන් නාගරික පරිසරයෙන් බැහැර ගම්බද පළාත්වල මේ තත්ත්වය වඩාත් දරුණුවට බලපෑම් සිදු කරන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මේ අතර හොර මත්පැන් සහ නීත්‍යානුකූල මත්පැන් සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී ද සාකච්ඡා විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව මත්පැන් අලෙවිසල්, මිත්‍රයන්ට බලපත් ලබාදීම් සහ ආරක්ෂිත ස්ටිකරය සහිත මත්පැන් බෝතල් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා පිළිතුරු ලබා දී තිබිණි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ නීතිවිරෝධී මත්පැන් අලෙවිය අවම කිරීමට ඇති ඍජු ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල මත්පැන් ශාලා පාරිභෝගිකයාට ප්‍රවේශ විය හැකි ලෙස ස්ථානගත වීම බව නිරීක්ෂණය වී ඇති බවය. ඒ අනුව සැලකුවහොත් ජනගහනය වර්ධනයත් ජනතාව විවිධ ප්‍රදේශවලට ව්‍යාප්ත වී සිටීමත් අනුව මත්පැන් නීත්‍යානුකූලව ලබාගත හැකි ස්ථාන ද ඉහළ යාම සිදුවනු ඇත. නමුත් රජය මත්පැන් අලෙවිය සඳහා බලපත් වැඩිපුර ලබාදෙන්නේ ඒ හේතුව නිසාද නැතහොත් දේශපාලන අවශ්‍යතා නිසාද යන්න පැහැදිලි නැත

ශ්‍රී ලංකාව තුළ කසිප්පු අලෙවිය වර්ධනය වීම හැකි තරම් අධෛර්යමත් කළ යුතුය. එය රටේ ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම ගෘහස්ථව වෙසෙන කාන්තාවන් සහ දූ දරුවන්ගේ ආරක්ෂාවටත් බලපාන සාධකයක් බැවිනි. මත්පැන් වර්ධනය වීම නීත්‍යානුකූලවත් හොර රහසේත් යන දෙආකාරයෙන්ම අධෛර්යමත් කිරීම අවශ්‍ය වන අතරම ඉක්මනින් සිදුවිය යුත්තේ හොර රහසේ වර්ධනය වන කසිප්පු උවදුරු පිටු දැකීමය.