හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නවතම චැනල් 4 චිත්‍රපටය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
2015 දී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වනතුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. තමා 2016 දී හමුදා බුද්ධි අධ්යක්ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ අතර, එතැන් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර් - කවුන්සලර් තනතුරේ කටයුතු කළ බවත්, මෙම හමුව සිදුවූවා යැයි කියන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මේජර් ජෙනරාල් සලේ චැනල් 4 වෙත දන්වා තිබුණි. තවද, 2019 ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ඔහු ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි අතර, 2016 සිට 2019 දක්වා මේ මුළු කාල පරිච්ඡේදය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවුන බව ද දන්වා ඇත. 2016දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්ෂේත්රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමුවූවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි.
චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සැම අවස්ථාවකම රොමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කළෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතුවලටද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරිමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද වූයෙමි. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි. එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.
ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ
- මැල්කම් රන්ජිත් කාදිනල්තුමා
මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළයුතු යැයි මැල්කම් රන්ජිත් කාදිනල්තුමෝ පවසති.
''මේ කරුණු විමර්ශනයට තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමෙන් මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි විශ්වාස කරන්නේ නෑ. එහෙයින් කඩිනමින් සිදුවිය යුතු ක්‍රියාවලිය වන්නේ චැනල් 4 වාර්තාවෙන් හෙළිකරන ලද කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී, සාධාරණ සහ විනිවිදබවකින් යුත් විමර්ශනයක් ඇරඹීමයි. එය සිදුවිය යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගින්.
අසාද් මවුලානා බොරුකාරයෙක්
- පිල්ලෙයාන්
චැනල් 4 නාළිකාව තමන්ගේ ප්‍රධාන කතාකාරයා වශයෙන් හඳුන්වා දුන් අසාද් මවුලානා කාලයක් තමන්ගේ ලේකම්වරයා වූ බවත් ඔහු බොරුකාරයකු බවත් ප්‍රකාශ කළේය. මවුලිනා තමන්ගේ ගැලවීමට අනෙක් පිරිසක් පාවා දී ඇතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
''අසාද් මවුලානා බොරු හේතු ඉදිරිපත් කරමින් විදේශ රටක දේශපාලන රුකවරණ ඉල්ලා තිබෙන අයෙක්. තමන්ට ලංකාවේ ජීවත්වෙන්න බැරි යැයි බොරු කියා ඔහු දේශපාලන රුකවරණ ඉල්ලනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක්. මෙය කතෝලික පල්ලිය ඇතුළු සියලු දෙනා තේරුම්ගත යුතු කාරණයක්. ලෝකය පුරා තලිබාන් වැනි අන්තවාදී සංවිධාන ක්‍රියාත්මකයි.
විපක්ෂනායකයා චැනල් 4 වීඩියෝව ගැන විමර්ශනයක් ඉල්ලා තිබෙනවා. මමත් ඉල්ලන්නේ ඒක තමයි.'' පිල්ලෙයාන් කීය.