2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

චැනල් 4 බෝම්බය

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 96

චැනල් 4 විදෙස් මාධ්‍ය ආයතනයක් වුණත් ඒ ගැන නොදන්නා ශ්‍රී ලාංකිකයකු නැත. විශේෂයෙන් මෙරට දේශපාලනය ගැන සංවේදී ඕනෑම පුද්ගලයකුට චැනල් 4 සම්බන්ධයෙන් ''පොසිටිව්'' හෝ ''නෙගටිව්'' හෝ අදහසක් තිබේ. තවත් සමහරු චැනල් 4 එකට සලකන්නේ ''උනුත් එකයි මුනුත් එකයි'' න්‍යායෙනි.

චැනල් 4 ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍යයේ සිටය. එය නොමිලේ වැඩසටහන් විකාශය කරන බවද සඳහන්ය. එයට ඇත්තේ පොදු අයිතියක් බව සඳහන් වුවද ක්‍රියාත්මක වීමේදී බී.බී.සී.යට වඩා වෙනස්ය. චැනල් 4 සඳහා මහජන අරමුදල් නොලැබෙයි. මේ නිසා ප්‍රචාරක කටයුතු සහ වාණිජ ක්‍රියාකාරකම් ඇසුරින් තමන්ගේ අරමුදල් සපයා ගැනීමට එම ආයතනය කටයුතු කරයි. එම ආයතනය දැන් හැඳින්වෙන්නේ චැනල් 4 ටෙලිවිෂන් කෝපරේෂන් ආයතනය නමිනි. බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ටී.වී. අතුරින් සිව්වැනි ස්ථානය හිමි කරගෙන සිටින චැනල් 4 1982 සිට ක්‍රියාත්මකය. ලන්ඩනයේ සිට ක්‍රියාත්මක චැනල් 4 නාලිකාව 2010 වසරේ සිට සිය විකාශය පුළුල් කර තිබේ. ඔවුන් බොහෝ දුරට අවධානය යොමු කරන්නේ ඓතිහාසික සහ වාර්තාමය කාරණා සම්බන්ධව බව පැහැදිලිව පෙන්වා දී තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාමය චිත්‍රපටය නිෂ්පාදකවරයා බෙන් ඩි පියර්ය. එවැනි වාර්තාමය චිත්‍රපට නිපදවන ''Basement Films'' අංශය ආරම්භ කර ඇත්තේ පියර් විසිනි.

චැනල් 4 එකට අදාළ මේ විස්තරය ඉදිරිපත් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් නිපදවූ එම වාර්තාමය වැඩසටහනේ පසුබිම තේරුම් ගැනීම පහසු කිරීම සඳහාය. මේ වැඩසටහන එක් පුද්ගලයකු තමන්ට දේශපාලන රුකවරණ ලබාගැනීමට යොදාගන්නා එක් උප්පරවැට්ටියක් බවට ආණ්ඩු පාර්ශ්වයේ පිරිසක් චෝදනා කරති. රාජපක්ෂවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීම හේතුවෙන් චැනල් 4 නාළිකාව රාජපක්ෂවරුන් සමඟ ජන්මාන්තර වෛරයකින් පසුවන බවය. රටේ යුද්ධය නිම කළ අවස්ථාවේදීත් එම නාළිකාව රාජපක්ෂවරුන්ට විරුද්ධව විවිධ වීඩියෝ චිත්‍රපට හැදූ බවත් මේ වීඩියෝව දේශපාලන වෛරයක් පිරිමසා ගැනීමක් පමණක් බවත් නාමල්ගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ වීඩියෝව සකසා ඇත්තේ ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය කළැයි ඒත්තු ගැන්වීමට බවද ඔහු කීය.

මේ වනවිට චැනල් 4 නාළිකාව එම වීඩියෝ පටය ඉවත් කරගෙන ඇතැයිද නාමල් කියා තිබිණි. එහෙත් ඊටපසු දින X (ට්විටර්) හරහා පණිවුඩයක් තැබූ චැනල් 4 නාළිකාවේ බෙන් ඩී පියර් ප්‍රකාශ කර තිබුණේ එය අසත්‍යයක් බවය. අදාළ චිත්‍රපටය මේ වන විටද තම නාළිකාවෙන් නිදහසේ නැරඹිය හැකි බවද ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ වුවද ආණ්ඩුව මේ වාර්තාමය වැඩසටහන වෙනුවෙන් පිළිතුරක් ලබා නොදෙන ස්ථාවරයක් ගෙන තිබේ. පෞද්ගලික නාළිකාවක ප්‍රචාරය වූ වැඩසටහනකට ආණ්ඩුව පිළිතුරු බැඳීමට අවශ්‍ය නැති බව ආණ්ඩුවේ අදහස බව දැනගන්නට තිබේ.
තත්ත්වය එසේ වුවද රටේ මෙතෙක් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ සියලු මාතෘකා ''හයිජැක්'' කරමින් චැනල් 4 නාළිකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය වාර්තාමය වැඩසටහන රටේම මාතෘකාව බවට පත් විය. මේ වැඩසටහනේ අන්තර්ගතය සම්බන්ධව ලබා දී තිබූ පූර්ව ප්‍රචාරක පටය හේතුවෙන් මේ පිළිබඳව විශාල ආන්දෝලනයක් රට තුළ හට ගත්තේය. ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් බොහෝ සෙයින් කලබල වූ ස්වභාවයක්ද දකින්නට තිබිණි. 

රටේ දේශපාලන කරළිය තුළ පසුගිය වසර කිහිපය තිස්සේම හොඳට හිට් වූ මාතෘකාවක් වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට තටු ලැබුණේ ඒ පසුපස රටේ පාලනය වෙනස් කිරීමේ අරමුණක් සහ කුමන්ත්‍රණයක් තිබූ බවට පසුව චෝදනා නැගීමත් සමඟිනි. එසේ වූයේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වගකිවයුතු අය නීතිය ඉදිරියට පමුණුවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මගින් ලබාදුන් පොරොන්දුව ඉටුකිරීම දිනෙන් දින කල් යාමත් සමඟය. එහිදී මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් රජය එම පොරොන්දුව ඉටුකිරීම කල් දැමීම තදින්ම විවේචනය කළේය. එම ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තොරතුරු ඇතුළත් වාර්තාව නිකුත් නොකිරීම කාදිනල්තුමන්ගේ බලවත් උදහසට ලක්වී තිබිණි. අවසානයේ එම වාර්තාව නිකුත් වුවද රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ඉතා සංවේදී කරුණු ඇතුළත් බව සඳහන් කරමින් එහි වෙළුම් කිහිපයක් එළියට දැම්මේ නැත. ඒ ගැන කාදිනල්තුමන් ඇතුළු විවිධ කණ්ඩායම් දිගින් දිගටම සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටියහ. 

දැන් මේ ආන්දෝලනාත්මක චැනල් 4 ''ඩිස්පැචස්'' වාර්තාමය වැඩසටහනින් හෙළි කරන්නේ කුමක්ද?

ඔවුන් කියන්නේ 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පුද්ගලයන් 269 දෙනකුට මරු කැඳවමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් සිදුවූ බෝම්බ ප්‍රහාරය රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ මහා කුමන්ත්‍රණයක කොටසක් බවය. එම කුමන්ත්‍රණයට සම්බන්ධ බවට කිහිප දෙනකුට චැනල් 4 වැඩසටහන වැරුද්ද පටවා තිබේ. මේ වැඩසටහනේ ප්‍රධාන කතාකාරයා වන්නේ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අසාද් මවුලානාය. ඒ හැරෙන්නට අනන්‍යතාව හෙළි නොකර සිටිමින් තවත් එක් පුද්ගලයෙක්ද ප්‍රහාරය සම්බන්ධව කරුණු ගෙනහැර දක්වයි.

අසාද් මවුලානා මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල කරන්නේ වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේටය. සලේ සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී හය දෙනකු අතර හමුවක් පැවැත්වූ බව මවුලානා කියයි. එම හමුව සංවිධානය කළේ තමන් බවද ඔහු සඳහන් කරයි. මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයට පත්වීම සඳහා රට ඇතුළේ අනාරක්ෂිත බවක් ඇතිකිරීම අවශ්‍ය යැයි එම බුද්ධි ප්‍රධානියා තමන්ට පැවසූ බවද මවුලානා කියයි. තමා මේ හමුව සංවිධානය කළේ පිල්ලෙයාන්ගේ උපදෙස් පරිදි බවද එහිදී සඳහන් කෙරෙයි.

මේ වීඩියෝ පටයේ නොපෙනී සිටිමින් කරුණු දක්වන පුද්ගලයා ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ සැණින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සිදු කළ නිලධාරීන් මාරු කරනු ලැබූ බවත් එයින් එම විමර්ශන කඩාකප්පල් වූ බවත්ය.

කෙසේ වුවද රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට මවුලානා විසින් එල්ල කරන එම චෝදනා සම්බන්ධයෙන් අදාළ වැඩසටහන විකාශය කිරීමට පෙර ඔහුගෙන් පිළිතුරු විමසූ අවස්ථාවේ සලේ මහතා එම චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කර තිබිණි. එම චෝදනා ගැන තමන්ගේ අදහස් විමසීම සම්බන්ධයෙන් සලේ මහතා ඔවුන්ට ස්තූති කර තිබිණි. තමන්ගේ නම යොදාගනිමින් මවුලානා අදාළ වැඩසටහනට කර තිබූ ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව සලේ මහතා කියා තිබේ. පාස්කු ප්‍රහාර කාලසීමාවේදී තමන් ලංකාවේ රාජකාරි නොකළ බවද ලිපි ලේඛන සහිතව ඔහු සඳහන් කර තිබිණි. ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ තමා සිටියේ ඉන්දියාවේ බවද ත්‍රස්තවාදීන් හමුවූ බව කියන කාලයේ තමා සිටියේ මැලේසියාවේ බවද ඔහු කියා ඇත.

නීතිඥවරුන් මාර්ගයෙන් සුරේෂ් සලේ මහතා ලබාදුන් එම පිළිතුරුවලින් පසුව චැනල් 4 ආයතනය ඔවුන් සැලසුම් කර තිබූ අයුරින් පසුගිය අගෝස්තු 15 වැනිදා එකී වැඩසටහන විකාශය කළේ නැත. ඉන්පසුව එය සංස්කරණය කර ඇති බවද කියති. කෙසේ වුවද මේ රටේ දේශපාලනය හා සම්බන්ධව සලකන විට ''ගිනි බෝම්බයක්'' බඳු විය හැකි මෙම වැඩසටහන පසුගිය 05 වැනිදා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11 ට ප්‍රචාරය විය. එවිට ශ්‍රී ලංකාවේ වේලාව පසුදින පාන්දර 4.00 පමණය. පූර්ව ප්‍රචාරක පටය හේතුවෙන් මේ සිද්ධිය පිළිබඳ උනන්දුව දැක්වූ බොහෝ දෙනා එදින පාන්දර යාමය ගත කළේ මේ වැඩසටහන ඇතුළත් වීඩියෝ පටය නරඹමින් බවට සැකයක් නැත. ඉන්පසුව එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පිම්මේ සැරිසරමින් තිබේ. තව දින කිහිපයක් යන විට බොහෝ දෙනකු මේ වැඩසටහන පිළිබඳව දැනුවත් වී සිටිනු ඇත.

පාස්කු ප්‍රහාරයට අමතරව මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන්ද එම වැඩසටහන කරුණු හෙළි කර තිබිණි. එහිදී කරුණු දක්වන මවුලානා පිල්ලෙයාන් කණ්ඩායම සමඟ එක්ව ට්‍රිපෝලි ප්ලැටූන් නමැති සන්නද්ධ කල්ලියක් බිහිකිරීමට එවකට පැවැති රජය කටයුතු කළ බවත් ඔවුන් මාධ්‍ය මර්දනයට සහ ප්‍රතිවාදීන් නිහඬ කිරීමට එය යොදවාගත් බවත් කියයි.

විනාඩි 48 කට ආසන්න කාලයක් විකාශය වන මෙම වාර්තාමය වැඩසටහන ඇතුළත් වීඩියෝ පටය දැන් මේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. එහි සඳහන් කරුණුවල නිරවද්‍යභාවය පිළිබඳ කිසිවකුටත් සහතිකයක් නැත. එහෙත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් තමන්ගේ ඥාතීන් අහිමි වූ සහ යන්තමින් දිවි රුකගත් සියලු දෙනා ඇතුළු කතෝලික ප්‍රජාව මේ වීඩියෝ පටයේ සඳහන් කරුණු පිළිබඳ යම් විශ්වාසයක් ඇතිකර ගැනීම වැළැක්විය නොහැක. එම තත්ත්වය දුරු කර ගැනීමට චැනල් 4 නාලිකාවට බැට දීම හෝ එහි සඳහන් කරුණු සියල්ල අසත්‍ය යැයි ප්‍රකාශ කිරීම හෝ පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මවුලානාගේ ප්‍රකාශ අසත්‍ය බවට ප්‍රමාණවත් සාක්ෂි සහිතව කරුණු දැක්වීම අවශ්‍ය වෙයි. මේ සම්බන්ධයෙන් රජයට නිහඬ විය හැකි වුවද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් නිහඬව නොසිටිනු ඇත.

මෙහිදී සලකා බැලිය යුතු තවත් කාරණයක් වන්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව චැනල් 4 ආයතනය නිපදවූ ''කිලිං ෆීල්ඩ්ස්'' වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් රටේ මතු වූ තත්ත්වයයි. ඒ අවස්ථාවේ මුළු රටම ගත්තේ ආණ්ඩුවේ පැත්තය. විපක්ෂය වුවද එහිදී කතා කළේ එම චිත්‍රපටය හේතුවෙන් රටේ ආරක්ෂක හමුදාවලට හානියක් සිදුවිය හැකිය යන පදනමේ සිටිමිනි. විදෙස් රටවලින්ද එයට ලොකු තල්ලුවක් නොලැබිණි.

එසේ වුවද මේ අවස්ථාව එයට වඩා වෙනස්ය. මෙහි කේන්ද්‍රීය කාරණාව රටේ පාලන බලය ලබාගැනීම සම්බන්ධ දේශපාලනයයි. එසේම කාදිනල්වරයා ඇතුළු කතෝලික ප්‍රජාවම සිටින්නේ ආණ්ඩුව තමන්ට සාධාරණය ඉටුකර දීමට කටයුතු කළ යුතුය යන දැඩි ස්ථාවරයේය. විපක්ෂය කියන්නේ මේ වැඩසටහනෙන් හෙළිවන කරුණු සම්බන්ධයෙන් ස්වාධීන කණ්ඩායම් හරහා සිදුකෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවය. මේ තත්ත්වය යටතේ 2019 දී බලයට පත් ආණ්ඩුවේ බලධාරීන් මුහුණ දී සිටින්නේ ප්‍රබල අභියෝගයකට බව පැහැදිලිය. ඔවුන්ට සැනසිල්ලකට ඇත්තේ මේ සිද්ධියේ ප්‍රධාන කතාකාරයා වන අසාද් මවුලානා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට පැන ගොස් දේශපාලන රුකවරණ අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයකු වීමය. එසේම ගානියා ෆ්‍රුන්සිස් සුදු වෑන් චෝදනා සිද්ධිය අතරතුර රටින් පලා ගිය සී.අයි.ඩී.යේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන නිශාන්ත සිල්වා ද මේ වැඩසටහනේ ප්‍රකාශයක් ලබා දී තිබීමය.

චැනල් 4 මෙවර වැඩසටහන මේ රටේ දේශපාලනය කවර දිශාවකට හරවනු ඇතිදැයි දැන්ම කියන එකත් පහසු නැත.

I ශශීන්ද්‍ර