විදුලි බිලට යළිත් වින කටින සද්දයක් වටින් ගොඩින් ඇසෙන්නට තිබේ. පසුගිය ජූනි මාසයේ සිට රටේ ජනතාවගේ පසුම්බියට කන කොකා හඬන සේ මේ සද්දය දැනෙමින් තිබේ. විදුලිබල මණ්ඩලය තවමත් අධික ලෙස පාඩු ලබන බවත් මේ හේතුවෙන් යළිත් වරක් විදුලි බිල වැඩි කරනවා හැර වෙනත් විසඳුමක් නැති බවත් වරින් වර ප්‍රකාශ විය. දෙගුණයකටත් වඩා වැඩි වූ විදුලි බිලක් දැනටත් ගෙවමින් සිටින විදුලි පාරිභෝගිකයන්ට තවදුරටත් බිල වැඩිවීමක් ගැන සිතන්නටත් හැකියාවක් නැත. එසේ තිබියදී යළිත් මිල වැඩි කළ යුතු බවට සිදු කරන ප්‍රකාශ කන කොකා හඬනවා සේ දැනීම ගැන පුදුම විය යුතු නැත.
ලංකා විදුලිබල මණ්ඩලය අධික ලෙස පාඩු ලබන ආයතනයක් වශයෙන් හංවඩු ගැසුණේ අද ඊයෙක නොවේ. දශක දෙකක් පමණ තිස්සේ මේ හඬ ඇසෙමින් තිබේ. එසේ තිබියදී වැඩේ පත්තු වුණේ විදුලිය කප්පාදුවත් සමඟිනි. කප්පාදුවට හේතු වූයේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඩීසල් නොමැතිවීම හේතුවෙනි. ඩීසල් නොමැතිවීමත් එතෙක් වසර ගාණක් තිස්සේ ලබාගත් ඩීසල්වලට මුදල් නොගෙවීමත් නිසා විදුලිය උත්පාදනය සීමාසහිත වී එය රටේ මහා අරගලයක මූලාරම්භය දක්වා ව්‍යාප්ත විය. විදුලි බිල සියයට දෙතුන් සියයකින් වැඩිවීම එම ආර්ථික කඩා වැටීමේ එක් සාහසික ප්‍රතිඵලයකි.
අයි.එම්.එෆ්. එක සමඟ ගිවිසුම්ගත වීමට සිදුවූයේද එලෙස සිදුවූ ආර්ථික අර්බුදය හේතුවෙනි. එකී ගිවිසුමේ එක් කොන්දේසියක් වී තිබුණේ රට ඇතුළේ බදු ආදායම වැඩි කරගත යුතු බවය. ඒ වන විටද හතර අතේ ණය වී සිටි විදුලිබල මණ්ඩලය එම කොන්දේසියේ පහසුම ගොදුරක් බවට පත්විය. ආර්ථික අර්බුදයට මග පෑදූ මහා බලවතුන් පසෙක සිටියදී රටේ හැම මගුලකටම කර ගැසීමේ කරුමයට මුහුණ දී සිටි පොදු මහජනතාව එහි ඍජු වින්දිතයෝ බවට පත්වූහ. ඔවුන්ගේ ආදායම්ද කඩා වැටෙමින් තිබුණත් විදුලි බිලේ වැඩිවීම දරාගන්නවා හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොතිබිණි. අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කෙරුණු අතර දැන් කතා වෙන්නේ එහි තුන්වැනි අවස්ථාව බව පෙනී යයි. කතාව තිබෙන්නේ තවත් 32% කින් පමණ විදුලි බිල ඉහළ නොදැමුවහොත් ලංවිම පාඩුව පියවා ගැනීමට නොහැකි වනු ඇති බවය.
විදුලි බිල යළිත් වැඩිවන බවට එසේ සියලු ලකුණු පහළ වෙමින් තිබියදී අපට ප්‍රශ්න කිරීමට සිදුවන්නේ මේ හැර වෙනත් විකල්පයක් ඇත්තේම නැතිදැයි යන්නයි. අධික ජීවන වියදමෙන් පීඩා විඳින ජනතාව සිටින්නේ කිසිසේත්ම යළිත් විදුලි බිල වැඩිවීමට මුහුණදිය හැකි තත්ත්වයකින් නොවේ. විදුලි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගේ පටන් ලංවිම සියලු බලධාරීන්ට මේ බව නොවැටහීම ලොකුම පුදුමයයි. වියදම වැඩිවෙන හැම අවස්ථාවකදීම මිල නැග්ගීම හැර වෙන විකල්පයක් නැතැයි පැවසීමට නම් විදුලිබල අමාත්‍යවරයකු සිටින්නේ මොන කෙංගෙඩියටදැයි ජනතාව විමසීම අරුමයක් නොවන බව අමාත්‍යවරයාද දැන සිටිය යුතුය.
මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළට එරෙහිව එහි වෘත්තීය සමිති දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද ප්‍රකාශ වී තිබේ. එයද මේ ගැටලුවට පිළියමක් වන්නේ නැත. විදුලිබල මණ්ඩලය ලබන අධික පාඩුවට ඔවුන්ගේද වගකීමක් තිබෙන බව අමතක කර දැමිය නොහැක. කාලයක සිටම මණ්ඩලය අධික ලෙස පාඩු ලබමින් සිටියත් එහි සේවකයන් තමන්ගේ වැටුප් වැඩිකර ගැනීම්, බෝනස් ලබාගැනීම්, අතිකාල ඇතුළු වෙනත් දීමනා කලට වෙලාවට අයකර ගැනීම්වලින් වැළකී සිටියේ නැත. මේ ඇතැම් වෘත්තීය සමිති නිලධාරීන් විවිධ ආණ්ඩුවල අමාත්‍යවරුන්ගේ සුරතලුන් බවට පත්වෙමින් තමන්ගේ ඉල්ලීම් දිනාගන්නා විට එයින් අනාගතයේදී සිදුවිය හැකි කඩාවැටීම ගැන කවදාවත් කල්පනා කළේ නැත. අඩුම තරමින් මෙරට තුළ විදුලිය උත්පාදනයට දැරීමට සිදුවන අධික වියදම අඩුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතුව තිබුණු පුනර්ජනනීය විදුලිබල උත්පාදනය කාලානුරෑපව සැලසුම් කිරීම සඳහා අවශ්‍ය තරමට සහායක් ලබා නොදුන් බවටද චෝදනා එල්ල වෙයි.
මේ බව හොඳින් සනාථ කෙරුණු නඩු තීන්දුවක් පසුගියදා (20) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙනු ලැබීය. ශ්‍රී ලංකාවේ උග්‍ර බලශක්ති අර්බුදයක් තිබියදී සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර කළ ඉල්ලීමකට අනුමැතිය ලබා නොදීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බල අධිකාරිය බරපතළ අන්දමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි එම තීන්දුවේ සඳහන්ය. මේ තත්ත්වය පිළිබඳ විමර්ශනයක් කර ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම අධිකරණයට දැනුම් දෙන්නැයි අමාත්‍යංශ ලේකම්ට එහිදී නියම කෙරිණි.
දැන් රටේ විදුලි පාරිභෝගිකයාට අවශ්‍ය වී තිබෙන්නේ තවදුරටත් තමන්ගේ විදුලි බිල වැඩිවීම වළක්වා ගැනීමටය. එම අවශ්‍යතාව පිළිබඳ යථා අවබෝධයකින් තොරව යළිත් විදුලි බිල වැඩි කිරීමට පියවර ගැනීම රටේ පොදු මහජනතාව කබලෙන් ළිපට ඇද දැමීමකි.