මේ දවස්වල පාර්ලිමේන්තුව බොහෝම සක්‍රීය ය. වරින්වර සිදුවූ ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශ ඉදිරිපත් කිරීම හැරුණුවිට මාස කිහිපයක්ම පාර්ලිමේන්තුවේ ලොකු වැඩක් කෙරුණේ නැත. හදිසියේම වගේ ඒ තත්ත්වය වෙනස් වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු වූ ගැටලු සමඟිනි. බාල බෙහෙත් හේතුවෙන් රෝහල්වලින් රෝගීන්ගේ මරණ වාර්තා වෙනවිට ඒ ගැන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීම්වලට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් ''මල්ශාලා'' පිළිතුර දෙබරයට ගල් ගැසීමක් විය. අවසානයේ ඒ ගැටලුව සෞඛ්‍ය ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම තරමට දුර ගියේය.
නිහඬව තිබූ පාර්ලිමේන්තුවට මේ විශ්වාසභංගය අලුත් ජවයක් ලබා දුන්නේය. මීට පෙර ඉදිරිපත් වූ මතභේදාත්මක අණපනත් සම්මත කිරීමේදී පවා ආණ්ඩුවට කැපී පෙනෙන සරල බහුතරයක් එනම් ආසන 124ක් පමණ තිබීම හේතුවෙන් විශ්වාසභංගයට මුහුණදීම මහ වැඩක් හැටියට කෙහෙළිය අමාත්‍යවරයාද සැලකූ බවක් පෙනෙන්නට නොතිබිණි. කෙහෙළිය මුලදිම කිව්වේ ''ගේන්න විශ්වාසභංගය... අපි සූදානම්'' කියලාය. හැබැයි විපක්ෂය ඒ සඳහා දින 03ක විවාදයක් ඉල්ලා කාලය ගන්නා විට ආණ්ඩුවත් වැඩේ සීරියස් ගත්තේය. ඒකට තවත් හේතුවක් වුණේ සෞඛ්‍ය ගැටලු රට ඇතුළේ ප්‍රබල කතිකාවක් ඒ වනවිට නිර්මාණය කර තිබීමය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා කථිකයන් අතට ෆයිල් බාර දී විවාදය කරගෙන යා යුතු ආකාරය ගැන උපදෙස් පවා ලබා දුන්නේය. කිසිම ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු විදෙස්ගත වීමෙන් වැළකී එම විවාදයට සහභාගි වී ඡන්දය ලබා දියයුතු බවට ඉල්ලීමක්ද කර තිබුණි.
විවාදය අවසානයේ බලාපොරොත්තු වූ පරිදිම ආණ්ඩුව විශ්වාසභංගයෙන් ජයගත්තේය. හැබැයි පරහකට තිබුණේ අපේක්ෂිත තරම් ඡන්ද සංඛ්‍යාවක් ආණ්ඩුවට නොලැබීමය. ලැබී තිබුණේ ඡන්ද 113ක් පමණි. 113 යන ලංකාවේ පාර්ලිමේන්තුවේ මැජික් අංකයයි. ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සරල බහුතරය 113ක් වීම නිසා ඕනෑම මහ මැතිවරණයකදී හැම සන්ධානයක්ම බලන්නේ 113 පසුකර යාමටය. එසේ වූ විට තවත් පක්ෂ සමඟ කේවල් කර සන්ධාන ගහ ගැනීම අවශ්‍ය වන්නේ නැත.
ආණ්ඩුව විශ්වාසභංගය දිනුවත් ඡන්දය විමසූ අවස්ථාවේ පැමිණ නොසිටි මන්ත්‍රීලා අතරේ ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනකුද සිටීම පැහැදිලිවම ආණ්ඩුවට ලැබුණ සිග්නල් එකක් විය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය ලැබුවේ මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ ඡන්දයෙනි. එසේ තිබියදීත් ඡන්ද 120ක් හෝ ලබාගැනීමට නොහැකි වී තිබීම හොඳ පෙරමග සලකුණක් නොවන බව පැහැදිලිය. එදින ඡන්දය ලබාදීමට සබා ගැබට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවේ රුඳී සිටි බවට තොරතුරු ද ලැබී තිබිණි.
කොහොම වුණත් ආණ්ඩුව කෙහෙළියගේ විශ්වාසභංගයෙන් ගොඩ යනවිට චැනල් 4 බෝම්බය පත්තු වී ගියේය. මේ නිසා පාර්ලිමේන්තුව දිගටම සක්‍රීය විය. ඒ ගැන ඉතා උණුසුම් වාද විවාද හටගත් අතර පසුගිය බ්‍රහස්පතින්දා (21) සහ සිකුරාදා (22) දෙදින තුළ ඒ පිළිබඳ විවාදයද පැවැත්වුණි. එහිදී නම් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම හොඳට සූදානම් වී එයට මුහුණ දුන් ආකාරයක් තිබිණි. ඒ සමඟ විපක්ෂ මන්ත්‍රීවරුද බරපතළ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියහ. දැනට පෙනෙන හැටියට නම් චැනල් 04 හෙළිදරව්ව ලබන ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ පැවැත්වෙනතුරුම කරළිය උණුසුම් කරන මාතෘකාවක් වනු ඇත. මුලින් කුමන මැතිවරණය පැවැත්වුණත් චැනල් 4 හෙළිදරව්ව විපක්ෂයේ ඡන්ද වේදිකාවල පට්ට ගසනු ඇත.
මේ අතරවාරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු සහ ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පත් සහ යෝජනාද තත්ත්වය උණුසුම් කර තිබේ. ප්‍රතිත්‍රස්ත පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බරපතළ ප්‍රතිචාර ලැබී තිබේ. ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අධිකරණයට යන බව සජබ ප්‍රකාශ කළේ සංශෝධනය කළත් මේ පනතට විරුද්ධ වන බවය. ''ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේදී පාර්ශ්ව කිහිපයක්ම අධිකරණයට ගිහින් ප්‍රතිත්‍රස්ත පනත සුදුසු නැති බව කිව්වා. ඒ වගේම ලෝක සංවිධාන ගණනාවක් මේ බව පෙන්වා දුන්නා. ඉන්පසුව නැවත වරක් ඒක සංශෝධනය කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ තාම ගැසට් කළාට. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ දවස් 14ක් තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. කෙසේ වෙතත් අපට තාම සංශෝධිත පනත ලැබිලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයට යන්න.'' යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියා තිබිණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නිව්යෝර්ක්හිදී මෙටා (ෆේස්බුක්) ආයතනයේ ගෝලීය කටයුතු සභාපති සර් නික් ක්ලෙග් හමුවූ අවස්ථාවේදී අදහස් පළකර තිබුණි. දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ මාර්ගගත වෛරී ප්‍රකාශ සහ අසත්‍ය පුවත් ප්‍රචාරය වීම වැළැක්වීම නව ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවය. දැනට යෝජිත පනත් කෙටුම්පත අනුව අගතියට පත් පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මාර්ගගත වෛරී සහ අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව අභියෝග කළ හැකි බවය. පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී එම නීතියේ වැඩිදුර සංශෝධන සිදුකළ හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.
ජනාධිපතිවරයා එසේ කියන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව පිළිබඳ පනත් කෙටුම්පත යනුවෙන් ආණ්ඩුව පසුගියදා කෙටුම්පතක් ගැසට් කර ඇති බවත් එය ඉතා භයානක පනත් කෙටුම්පතක් බවත් ය. එයින් මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතල අගතියක් සිදුවනු ඇති බවද වගකිවයුතු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා නොකර හොර රහසේම ගෙනැවිත් ඇති එම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතු බවද ඔහු සඳහන් කර තිබුණි.
මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ අලුත්ම පියවර වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව පිළිබඳ පනත් කෙටුම්පත යල් පිනූ ක_ර නීතියක් බවය. එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මෙන්ම ආයෝජන අපේක්ෂාවන්ටද බරපතළ හානියක් සිදුකරනු ඇති බවත්ය. මේ පනත මගින් පත් කිරීමට යෝජිත කොමිසමට නම් ලබාදෙන්නේ ජනාධිපති වීම හේතුවෙන් මාර්ගගත ප්‍රකාශවල සත්‍යතාව සොයාබලන එම කොමිසමේ විශ්වාසනීයභාවය රුකෙන්නේ කෙසේද කියාත් හර්ෂ ප්‍රශ්න කළේය. රජයත් මහජනතාව නොමග යවන ප්‍රකාශ සිදුකරන බවටද ඔහු චෝදනා කළේය. ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් මෙවැනි නීති පිළි නොගනු ඇති බවද ඔහු කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කියා තිබුණේ මේ රටේ සමාජ මාධ්‍ය පාලනය කිරීම අවශ්‍ය බවය. එසේ නොවුණොත් රට ඉබාගාතේ යනු ඇතැයි ඔහු කියා තිබුණි.
මේ අතර පාර්ලිමේන්තුවට හදිසියේ ගෙන ආ යෝජනාවක්ද ආණ්ඩුව පසුගියදා සම්මත කළේය. කොළඹ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රී මධුර විතානගේ ඉදිරිපත් කළ එම යෝජනාවේ සඳහන් වූයේ ජනතාවගේ එදිනෙදා කටයුතු සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවා වශයෙන් දීර්ඝකාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට අදාළ නිලධාරීන්ට කිසිම ආකාරයකට වැඩවර්ජනයකට සහභාගි වෙමින් ජන ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වන ආකාරයට කඩිනමින් නීති සම්පාදනය කළ යුතු බවත් එම යෝජනාවේ සඳහන් වී තිබිණි.
පාර්ලිමේන්තුව මේ අණපනත් කෙටුම්පත්, යෝජනා සහ විවාද මැද්දේ ඇදීගෙන යන්නේ ලොකුම යෝජනාව වන අයවැය දෙසටය. ආර්ථිකය සම්බන්ධයෙන් බැලූ බැල්මට පෙනෙන ජයග්‍රහණ කිහිපයක් අත්කරගෙන සිටින බවට නිරතුරුවම ප්‍රකාශ කරන ආණ්ඩුව අයවැයෙන් කරන්නේ මොකක්ද යන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ මේ දවස්වල අවධානය යොමුකරමින් සිටී. අයවැයට එක්කළ යුතු යෝජනා ගැන දන්වන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සෙසු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබිණි. සමහර පක්ෂ තම යෝජනා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. කෙසේ වුවත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් තමන්ට කොකා පෙන්වන කැබිනට් අමාත්‍යවරුන්ගේ අයවැය ප්‍රතිපාදන සම්මත කිරීමට සහාය නොදෙන බව දැනටම ප්‍රකාශ කර තිබේ. මෙය ජනාධිපතිවරයාට ගැටලුවක් වීමට ඉඩ තිබෙන බව පැහැදිලිය. විශේෂයෙන් ඉදිරි වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන බැවිනි.
පවතින පාර්ලිමේන්තුවේ පවතින විකෘති ස්වභාවය හේතුවෙන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයකට යා යුතුයැයි කියා තිබේ. ඔවුන්ගේ තර්කය වන්නේ මේ අවස්ථාවේදී කුමන මැතිවරණයකට ඉදිරිපත් වුණත් ජයග්‍රහනය කිරීම අසීරු බැවින් වඩාත් සුදුසු වන්නේ මහ මැතිවරණයකට ගොස් සෑහෙන ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් විපක්ෂයේ සිට අලුතින් දේශපාලන ගමනක් ආරම්භ කිරීම බවය. මුලින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී එයින් පරාජය වුවහොත් ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණය තමන්ට මහත් සේ අවාසිදායක වනු ඇති බව ඔවුන්ගේ තර්කය වී තිබේ.
එහෙත් තව පිරිසක් පවසන්නේ ජනාධිපතිවරණය මුලින් පැවැත්වීම වඩාත් සුදුසු බවය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමේ අදහසක් මුලදී තිබුණත් එම අදහසට අනුකූල බවත් දක්වන පිරිස අඩුවෙමින් ඇතැයි ඇතැම් ආරංචි මාර්ග කියයි. දැන් වැඩි දෙනෙකුගේ තිබෙන අදහස පොහොට්ටුවේ බහුතරයකට පිළිගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවය. එසේ ඉදිරිපත් කළ යුත්තේ රාජපක්ෂවරයකුමද යන්න පිළිබඳ තවම තීරණයක් නැත. සමහරුන්ගේ අදහස රාජපක්ෂවරුන්ගේ ආශීර්වාදය ඇතිව රටම දන්නා අලුත් මුහුණක් ඉදිරිපත් කිරීම සුදුසු බවය. එය තවමත් අංකුර අදහසක් පමණි. එහෙත් ප්‍රබල සහ බලවත් ව්‍යාපාරිකයකු මේ සඳහා සුදුසු බවද ඔවුන්ගේ මතය වී තිබේ.
ලංකාව දේශපාලන වශයෙන් කවදාවත් එකතු වී නැත. හැමදාම සිටියේ බෙදිලා ය. ධනවත් බලවත් ටයිකෝට් සහ ගමේ රෙද්ද බැනියම වශයෙන් පවා මුල් කාලයේ දේශපාලන බෙදීම් තිබිණි. පළාත්, ආගම්, භාෂා වශයෙන්ද බෙදීම් හැමදාම ක්‍රියාත්මකය. ප්‍රභාකරන්ලා, සහරාන්ලා පමණක් නොව තිලීපන්ලා පවා දේශපාලන තලය උණුසුම් කරන්නේ මේ හේතුවෙනි. අඩුම තරමින් 2004 සුනාමිය අවසානයේදී හෝ එල්.ටී.ටී.ඊ.ය විනාශ කරමින් යුද්ධය දිනූ අවස්ථාවේදී හෝ සියලුදෙනා එකතු වී රට ඉදිරියට ගෙන යා යුතු බවට හැඟීමක් කිසිම දේශපාලන නායකයකුට නොතිබීම කැපී පෙනෙයි. 2015දී හෝ එක අරමුණක් වෙනුවෙන් සියලු දෙනාට එක්වී කටයුතු කිරීමේ හැකියාවක් තිබිණි. එහෙත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
දැන් පාර්ලිමේන්තුව ඇතුළේ සද්දෙ වැඩිපුර මතුවෙන්නේත් මේ මැතිවරණ උණුසුම දැනෙමින් තිබීම නිසාදැයි කියන්න දන්නේ නැත. නමුත් වටින් ගොඩින් පෙනෙන්න තිබෙන්නේ ජනාධිපතිවරණය සඳහා රේස් එකට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවකි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට මාස 06ක් පමණ කියා රටේ සියලු කටයුතු එක තැන නවතින තත්ත්වයක් උදාවෙයි. ආර්ථික කඩාවැටීම හේතුවෙන් දැන් එක තැන නවතින්න තරම් රටේ කටයුතු සිදුවෙන්නේ නැත. එහෙත් ඊළඟට මොකද වෙන්නේ කියන කුතුහලය නම් එන්න එන්න වැඩිවනු ඇත.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේදැයි තවම පැහැදිලි නැත. එසේ ඉදිරිපත් වෙනවා නම් ඔහුට තිබෙන හොඳම තුරුම්පුව වන්නේ රටේ ආර්ථිකය තිබුණු තැනින් යන්තමින් හෝ ගොඩගැනීමය. නමුත් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පසුගියදා කියා තිබුණේ ඡන්දවලට ලබන වසරේදී මුදල් වෙන් කිරීමට සිදුවුණොත් ආපසු පෙට්‍රල් නැති ගෑස් නැති කාලයක් උදාවනු ඇති බවය. මේ හා සමානම අදහසක් ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද කියා තිබිණි. මේ කියන්නේ ජනාධිපතිවරණයටත් පුංචි ඡන්දයට වෙච්ච දේම වෙන්න ඉඩ තිබෙන බවද? හැබැයි පුංචි ඡන්දය අමාත්‍යවරයාට කල් දැමීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් තිබුණාට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය කල්දැමීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එහෙම කරන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආ යුතුය. එය තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ජනමත විචාරණයකට පවා යා යුතු වෙන වැඩකි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවට යන්තම් ඡන්ද 113ක් අරගත් ආණ්ඩුව එහෙම අවදානමක් ගනියිද?
I ශශීන්ද්‍ර