2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

බදු බර සහ බිය

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

බදු යනු වචනය ඇසෙන විටම ඇඟ හිරිවැටෙන තත්ත්වයක් උදාවෙමින් තිබේ. මෙරට ජනතාව බදු වචනයට දැන් ඒ තරම් බියක් දක්වති. එහෙත් කාලයකට පෙර එහෙම නැත. බදු ගෙවීම පිළිබඳව ජනතාව එතරම් වද වූයේ නැත. සමහරුන්ට බදු ගෙවීම ආඩම්බරයටද හේතු වී තිබිණි. තමන් බදු ගෙවන්නකු වශයෙන් සඳහන් කරනු ලැබීමට ඔවුන් තුළ කැමැත්තක් තිබිණි.

දැන් තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. රාත්‍රී නින්දේදී පමණක් නොව දහවල් කාලයේ ඇස පියවෙන විටදීත් බදු පෙනෙන්නේ බියකරු සිහින හැටියටය. බදු ගැසීම රටේ ජනතාවගේ ඇට මිදුළු තුළටම කාවැදී තිබීම එයට හේතු වී තිබේ.

රටක ජනතාව බදු ගෙවිය යුතුය. ඒ පිළිබඳ විවාදයක් නැත. යම් යම් අවස්ථාවලදී බදු වැඩි කළත් ඒ ගැන කිසිවකුගේත් විරෝධයක් තිබුණේත් නැත. එහෙත් ඉවක් බවක් නොබලා පසුගිය කාලය තුළදී වැඩි කළ බදු ජනතාව මතට මහත් බරක් අතහැර තිබේ. හිස ඔසවන්නට බැරි තරමට එම බර දැනෙමින් තිබේ. එසේ තිබියදී යළිත් වරක් බදු වැඩි කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වෙද්දී ඒ ගැන ජනතාව කලබලයටත් බියටත් පත්වීම ගැන පුදුම විය යුතු නැත. ඍජු බදු පමණක් නොව වක්‍ර බදුවලටද හසුවී සිටින පොදු මහජනතාව රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැක්කේ තමන්ගේ බෙල්ල ළඟටම බදු හිර කිරීමෙන් පමණක්ද යන ප්‍රශ්නය අද අසති.

එම තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවත් බිය දැනෙන කතාවක් කර තිබේ. පසුගියදා පැවැති අයි.එම්.එෆ්. සමාලෝචන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ දැනුම්දීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එහි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ_වර් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම බදු ආදායම ලබන රටක් බැවින් රජයේ බදු ආදායම තවදුරටත් ඉහළ දැමිය යුතු බවය. මේ නිර්දේශය අනුව ඉදිරි කාලයේදී තවත් බදු වැඩි කෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙන බව අපගේ දේශය ප්‍රධාන සිරස්තලයකින් හෙළි වී තිබේ. ඊළඟට වැඩිවෙන බදු මෙරට ජනතාවගේ හිසටම එල්ල කරන කුළු ගෙඩි පහරක් වීම වළක්වා ගත නොහැකි බව පැහැදිලිය.

රටේ බදු ආදායම වැඩි කළ යුතු බව අයි.එම්.එෆ්. එක ප්‍රකාශ කරන විට ඒ සඳහා රජය සතුව තිබෙන විසඳුම කුමක්දැයි අපි නොදනිමු. මහත් බලාපොරොත්තු තබා තිබූ අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය නිදහස් කිරීමද ප්‍රමාද කර තිබෙන තත්ත්වයක් තුළ ඔවුන්ගේ යෝජනාව සඳහා රජයට පිළිතුරක් තිබීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී තිබේ. නමුත් ජනතාව නම් දැන් සිටින්නේ කිසිදු ආකාරයකින් මීට වඩා වැඩි බද්දක් ගෙවිය හැකි තත්ත්වයක නොවේ. බඩ පිටපොත්තට ඇලී සිටින ජනතාව රුකියාව කර ගන්නේත් දරුමල්ලන් පෝෂණය කරන්නේත් මහත් අමාරුවෙනි.

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමද තිබෙන්නේ පහළ බසිමිනි. දරුවන්ගේ අධ්‍යාපනයට සහ පෝෂණයට ආර්ථිකයෙන් පහර වදින විට ඒ මතට තවත් බදු පැටවීම මුළු රටම බරපතළ සමාජ ව්‍යසනයක් කරා තල්ලු කිරීමකි. එය එසේ වනු ඇති බවට අයි.එම්.එෆ්. එක උපකල්පනය කර ඇතැයි අපි නොසිතමු. ඔවුන්ට එසේ උපකල්පනය කිරීමට අවශ්‍යතාවක් ඇතැයිද අපි නොසිතමු. එහෙත් ආණ්ඩුවට එසේ සිටීමට හැකියාවක් නැත. ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂකයා මිස අයි.එම්.එෆ්. කොන්දේසිවල ආරක්ෂකයා විය යුතු නැත. විදුලි බිලද තවදුරටත් ඉහළ යන තත්ත්වයක් තුළ ජනතාව මතට තවත් බදු පැටවීම කිසිම ඉඩක් ඇතැයි අපි නොසිතමු.

මේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම රටේ ජනතාව මත තවදුරටත් බදු පැටවීමෙන් පමණක් සිදු කළ හැකි යැයි අපි කිසිසේත් නොසිතමු. රටේ බදු ආදායම වැඩි කරගත යුතු බව සැබෑවකි. එහෙත් ඒ වෙනුවෙන් රටේ පොදු මහජනතාව බිල්ලට දිය යුතු නැත. බදු වැඩි කිරීම වැනි කෙටිකාලීන විසඳුම් මත රුඳෙමින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි යැයි උපකල්පනය කිරීම පවා වැරදි බව අපගේ වැටහීමය. මුල සිටම මේ රටේ ඇතැම් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙමින් සිටියේ නිෂ්පාදන ආර්ථිකය සක්‍රීය කිරීමත් ආයෝජන ආකර්ශනය කර ගැනීමත් සඳහා වහාම පියවර ගැනීම අවශ්‍ය බවය. නමුත් ඒ පිළිබඳ ආණ්ඩුව සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නැත. මහජනතාව බිත්තියටම තද කර බදු ගැසීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට ඇත්තේම නැතිදැයි ප්‍රශ්න කෙරෙන තරමට මේ ගැටලුව දැන් බරපතළ වී තිබේ. තවදුරටත් බදු වැඩි කිරීම රටට ඔරොත්තු නොදෙන බව පැහැදිලිවම කිව යුතුය.

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00