2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ඡන්දය ආවම, හොරු රකින දේශපාලනය විනාශ වෙනව

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 12

චමින්ද විජේසිරි - (පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය)

  • පාර්ලිමේන්තුව පාසලකටත් වඩා පහළට වැටිල තිබෙන්නෙ
  • ෆොන්සේකා මහත්තය මීට වඩා දේශපාලන වශයෙන් පරිණත විය යුතුයි
  • නාමල්ගෙ වෙඩින් එකේ ලයිට් බිල ගෙව්වෙ අවුරුදු පහකට පස්සෙ

Qඅපි පහුගිය දවස් ටිකේම දැක්කා පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු අදාළ දේවල් නෙවෙයි රණ්ඩුයි, කුණුහරුපයි කතා කරන්නේ. ඒක ලොකුවට විපක්ෂය පැත්තට එල්ල වෙනවා. මොකක්ද මේ කරන්නේ?

ඔබ ඔය කිව්වට ඇත්තටම වෙන්නේ පාර්ලිමේන්තු කාලය තුළ රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට නිසි ලෙස කාලය වෙන් නොකිරීම නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම සිද්ධ වෙන්නේ. ඔබට දකින්න විදිහක් නෑ, ජනතාවගේ පීඩාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න අයිතියක් විපක්ෂයට ලැබෙනවා. අපි පත්වෙලා ඉන්නේ ජනතාවගේ ප්‍රශ්නය අහන්නනේ. ඉතින් අපිට එක පැත්තකින් පේනවා ආණ්ඩුව විවිධ නීති ගෙනල්ලා ජනතාවට ඇත්‍ත දැනගැනීමේ අයිතිය මාධ්‍ය මර්දනය කිරීම මගින් හිර කරනවා. ඒ වගේම ආණ්ඩුව විසින් කතානායකවරයත්, නියෝජ්‍ය කතානායකවරයත් යොදාගෙන මන්ත්‍රීවරුන්ගේ හඬ යටපත් කරන්න කටයුතු කරමින් යනවා. එය නිවැරදි කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය එල්ල කළාම එවැනි ගැටුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් ඒක නිවැරදි කරන්න කතානායකවරයා පියවර ගන්න ඕනෙ. ඒකට උත්තරයක් එනකල් මන්ත්‍රීවරු සටන් කරනවා.

Qපාසලක නම් විදුහල්පති ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ කතානායකවරයා. පක්ෂ නායක රැස්වීම්වල මේක විසඳගන්න බැරිද?

ඔබ හරි.. අපි ඒ වගේ අවස්ථාවල ඒ යෝජනා කරනවා. ඒත් පාර්ලිමේන්තුව ආරම්භ වුණාම සියල්ල වෙනස් වෙනවා. මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙන්න ඕන ජනතාවට සිදුවෙන අසාධාරණය ගැන ප්‍රශ්න කළාම ආණ්ඩු පක්ෂයේ විෂය භාර අමාත්‍යවරයාගෙන් හරි පිළිතුරක් ලබාගන්න. ඒකට කතානායකවරයා මැදිහත් වෙන්න ඕනෙ. දැන් මේ පාර්ලිමේන්තුව පාසලකටත් වඩා පහළට වැටිලා තියෙන්නේ. ආණ්ඩුවේ ඇත්ත සහ බොරුව හෙළිවෙන එක වළක්වා ගන්න කතානායක අසුනත් පාවිච්චි කරනවා නම් ඇත්තටම ඉතින් කලකිරෙනවා.

Qඅපිට ජනතාව හැටියට නම් පේන්නේ අපි වෙනුවෙන් කතා කරන කෙනෙක් නම් පාර්ලිමේන්තුවේ නෑ වගේ?

ඔබ මේ ප්‍රශ්න අහන දවසේ අපි ආණ්ඩුවෙන් ඇහුවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න පහක්. මීට කලින් දින තුනක් වෙන් කළා. ඒත් අපි අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න හිතාමතාම කල් ගන්නවා නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නෑ කියලා. පොහොට්ටුවේ මහලේකම්වරයත් පිළිගන්නවා එහෙම එකක් අවශ්‍ය නෑ කියලා. ඉතින් අපිට අහන්න අයිතියක් තියෙනවා එහෙම දෙයක් නොකරන්නේ ඇයි සහ මොනවද මේ වෙද්දි ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා. එහෙම අහද්දි ඒකට පිළිතුරු දෙන්න කල් ගන්නවා නම් වැඩක් නෑනේ. අපි මොනවද කරන්නේ?

Qඔබේ පක්ෂය පැත්තට හැරුණොත් ඔබලගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද?

අපි පැහැදිලිව මීට පෙර කියලා තියෙනවා කෘත්‍යාධිකාරි මණ්ඩලයත් පාර්ලිමේන්තු කණ්ඩායමත් තීරණය කරලා තියෙනවා අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්‍තයා කියලා.

Qඒත් අපිට පේන්නේ වෙන දෙයක්නේ. ගමින් ගමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නමින් නොකියා කියන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂයා ඔහු කියලා. එහෙම ප්ලෑන් එකක් තියෙනවද?

ඕක තමයි අපේ පක්ෂයේ විශේෂත්වය. ඕනෑම කෙනෙක්ට ඕනෑම හැටියේ දෙයක් කියන්න පුළුවන්. අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරලා ඉවරයි. විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒත් ඒ අදහස්වලින් ජනාධිපති අපේක්ෂකයා වෙනස් වෙන්නේ නෑ. හැබැයි සරත් ෆොන්සේකා මහත්තයා ගැන ජනතාවට බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම එතුමටත් මේ රට හදන වැඩපිළිවෙළක් ඇති. ටිකක් තරහක් ආවම ඒ ගැන කියනවා ඇති. ජනතාවටත් උවමනාවක් තියෙනවා මේ රට යම් මාවතකට ගන්න. හැබැයි සරත් ෆොන්සේකා මහත්තයා මීට වඩා දේශපාලන වශයෙන් පරිණත විය යුතුයි කියන අදහසේ මම ඉන්නවා.

Qඅපි දන්නවා පාලක පන්තියට විවිධ වරදාන පරප්‍රසාද තියෙනවා කියලා. ඒවා නීත්‍යානුකූල බවත් දන්නවා. ඒත් පහුගිය දවසක මහින්දානන්ද අලුත්ගමගේ සභාගත කළා හේමා ප්‍රේමදාස මහත්මියගේ ලැයිස්තුවක්. ඒකේ තිබුණා මදුරු කොයිල් පෙට්ටි දෙකකුත්. ඒක දැක්කම මිනිස්සුන්ට කලකිරීමක් එනවා නේද මදුරු කොයිල් එක ගන්නෙත් අපේ සල්ලිවලින් කියලා?

මේ රටේ ජනතාව ඇඟිල්ල දික් කරන්නේ දේශපාලකයන් කරන වියදම් සහ නාස්තිය ගැන. රණසිංහ ප්‍රේමදාස මහත්තයා මිය ගියාට පස්සේ ඒ මහත්මියට විවිධ වරප්‍රසාද ලැබුණා. ඒවා නීත්‍යානුකූලව හිමිවෙන දේවල්. ඔබ හිතනවද එතුමියට මදුරු කොයිල් එකක්වත් ගන්න බෑ කියලා?

Qඒක තමා අපිටත් ප්‍රශ්නේ?

ඒක තමා ඇයගේ නිලධාරීන් ඒවා යොමු කරනවා. ඉතින් ඒවා ඕනෙද නැද්ද තීරණය කරන්නේ නිලධාරීන්. ඒ නිසා මේවා මේ පටු දේශපාලනය කරන්න යොදාගත්ත දේවල්. ඒ හරහා සජිත් ප්‍රේමදාස මහත්තයා කරන කැපවීම්, මහා පරිත්‍යාගයන් මකන්න යන්නේ. ඒ අයට හොයන්න කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලය ඉන්න කාලේ කරපු දේවල්. රොකට් පවා යැව්වා. ඒවා කෝ? ඒ ප්‍රේමදාස මහත්‍තයගේ කාලේ සජිත් ප්‍රේමදාස මහත්තය නාමල්ලා වගේ රේස් පැද්දද? රොකට් ඇරියද? නෑනේ. අද බලන්න වැඩිය ඕනෙ නෑ මේ ළඟදී තමයි නාමල් රාජපක්ෂ මහත්තයගේ වෙඩින් එකේ ලයිට් බිල ගෙව්වේ. අවුරුදු පහකට පස්සේ. සාමාන්‍ය පුරවැසියෙක්ට එහෙම ලැබෙයිද? ඒ වගේ දැවැන්ත වංචා සිදු කරපු අය සජිත් ප්‍රේමදාස මහත්තයට මඩ ගහනවා. ඔය කියන අයට මොන තරම් තමන්ගෙම පවුලේ අය චෝදනා කළාද?

Qපහුගියදා ජනාධිපතිවරයා විවෘතව ආරාධනා කළා විපක්ෂයට ආණ්ඩුවට එකතු වෙන්න කියලා. ආණ්ඩුවට කෙසේ වෙතත් එජාපයයි සජබයයිවත් එකතු වෙන්නේ නැද්ද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරක්ෂා කරන්නේ කවුද? මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු, මේ රට බංකොලොත් කරපු පිරිස්. එවැනි නායකයෙක්ට අපි ගිහින් සහාය දෙන එක ජනතාව පිළිගන්නේ නෑ. එහෙම කරන ගමන් අපිට ගිහින් එතුමගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍යම නෑ. පුරවැසියා නම් බලාගෙන ඉන්නේ මැතිවරණයක් එනකල්. එදාට මිනිස්සු මේ හොරු රකින දේශපාලනය විනාශ කරනවා. මතක තියාගන්න සජබය හැදුණේ එජාප නායකයගේ දුර්වලතා නිසා. අපි එක්ක එකතු වුණේ  ඒ එජාප පාක්ෂිකයා. අපිට ඒ පාක්ෂිකයන්ට බොරුවක් කරන්න බෑ. මේ රට විනාශ කරපු, පක්ෂය විනාශ කරපු අය එක්ක අපිට එකට හිටගන්න බෑ.

Qප්‍රතිත්‍රස්ත පනතයි සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ පනතයි මේ වෙද්දි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඔබලා ඊට දක්වන ප්‍රතිචාරය මොකක්ද?

අපි පැහැදිලිවම විරුද්ධයි. අපි හැමදාම ඇත්ත වෙනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් පෙනී හිටිය කට්ටිය. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එහෙමයි. ඒත් ඔහු වටා ඉන්න හෙන්චයියෝ ටික රැකගන්න, දූෂණ වංචා වහගන්න මාධ්‍යයට වාරණ දාන්න යනවා. ඒක නොහැකියාව. ඒක අනීතික වැඩපිළිවෙළක්. ඒක අපි පරාජය කරන්න ඕනෙ.

I ගයාන් ගාල්ලගේ