දුමින්ද දිසානායක - (පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
Q අපිට දැන් පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරිම සතුටෙන් කට්ටිය එක්ක ඉන්නවා. උත්සවවලට යනවා. තරහවුණු අය එක්ක එකට ඉන්නවා. දැන් ශ්‍රීලනිප ප්‍රශ්න ඉවරද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්න ඉවරයි දැන්.
Qප්රශ්නය ඉවරයි කියන්නේ ප්‍රශ්නයක් තිබුණාය කියන එකයි. මොකක්ද තිබුණ ප්රශ්නය?
අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්රශ්නය දැන් ඉවරකරලා තියෙනවා. අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළේ මේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. ඒ ප්‍රශ්නවලට උත්තර හොයන වැඩේට අපේ පැත්තෙනුත් අපි දායක වෙනවා.
Qශ්‍රීලනිපයේ තිබුණ ළඟම ප්‍රශ්නයක් විසඳිල්ලක් විදිහට තමයි හිටපු මහලේකම් දයාසිරි ජයසේකරව ඒ තනතුරෙන් එලවා දැමීම. ඇත්තටම ඒකද තිබ්බ ප්රශ්නය?
නෑ ඉතිං ඒක සාමාන්‍ය දෙයක්. පක්ෂයක තනතුරුවලින් ඉවත් කිරීම හරි සාමාජිකත්වය තහනම් කිරීම හරි කියන එක ඕනම පක්ෂයක වෙන දෙයක්.
Qඔබ ඔහොම කිව්වට ඔබට ඒ වගේ දෙයක් වුණොත් කලකිරීමක් නැද්ද?
පක්ෂයක අපි ඉන්නකොට ඕවා සමාන්‍යයයි. දුමින්ද දිසානායකත් ලේකම්කමින් අයින් කළානේ...
Qඔබව ලේකම්කමින් අයින් කළාට ඉක්මනින්ම ජාතික සංවිධායක කළානේ. ඔබට එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ?
ඔව්. ඒත් පක්ෂයක මේ වගේ දේවල් වෙනවා. ඒකට කලකිරෙන්න බෑ. තනතුරක් දෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ප්රතිපත්තියයි වැදගත් වෙන්නේ.
Qඅපි දැක්කා පහුගිය කාලේ ඔබලා ආණ්ඩුවට හේත්තු වුණාම දයාසිරි ජයසේකර නොසෑහෙන්න දොස් කිව්වා ප්‍රතිපත්තියක් නෑ කියලා. ඒත් ඔබලා නෙමෙයි වචනයක් කීවේ. සද්ද නොකර හිටියා. අන්තිමේ ප්‍රතිපත්ති ගැන කතා කරපු දයාසිරි ගෙදර ගියා. ප්‍රතිපත්ති නැති වුණ 13 ඇතුළට ආවා. මොකක්ද ඒ වැඩේ?
එදත් අදත් දයාසිරි ජයසේකර මැතිතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. මතක තියාගන්න අරගලය වෙලාවේ රට වැටිලා තිබුණ වෙලාවේ මේ රට ගොඩනගන්න මාස හයකට දේශපාලනය නවත්තලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා යෝජනා කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇතුළු අපේ පක්ෂය. අපි ඔක්කොම එකතුවෙමු කිව්වම එකතුවෙන්න බැරි අය ඉන්නවා කියලා අපේ වැඩපිළිවෙල අකුලගෙන හරියනවද? කවුරුත් නැත්නම් ඒක අකුල ගන්නවා නම් ඒක වැරදිනේ, එහෙම වුණාම ඒක බොරුවක් වෙනවනේ. අපි ඒ යෝජනාව ගෙනාවේ සද්භාවයෙන් නම් අපි කවුරු නාවත් ඒක කරන්න ඕන. කවුරුත් එන්නේ නෑ කියලා අපි හැරිලා යන ගොන් තර්ක ගේන්න බෑනේ. හැමදාම මම කිව්වේ මේකට කට්ටිය එනවද? නැද්ද? කියලා වැඩක් නෑ. අපි දෙයක් යෝජනා කළා නම් ඒක සිද්ධ කරන්න ඕන.
Qඉතිං දයාසිරි කිව්වේ කවුරුත් අකමැති නම් අපිත් ආණ්ඩුවට යන්න ඕන නෑ කියලා. ඒක වැරදිද?
නෑ ඉතිං, එතුමා හැමදාම කළේ 100%ක් විපක්ෂයේ දේශපාලනයනේ. අලුතින් ගෙනාපු විදුලිබල පනත මම පුනර්ජනනීය ඇමතිවරයා හැටියට ඉන්න කාලේ ගෙනාපු යෝජනාවක්. මම විපක්ෂයට ගියා කියලා මගේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බෑ. මම ඒකයි ඒ පනතට සහාය වුණේ. හැමෝම ඇහුවා විපක්ෂයේ ඉඳලා සහයෝගය දෙන්නේ කොහොමද කියලා. ඉතිං ඒක මම ගෙනාපු පනත විපක්ෂයට ගියාම වෙනස් වෙන්න බෑ. ඒක වැරදියි. දයාසිරි මැතිතුමා කළේ හැමදේටම විපක්ෂයේ ඉඳගෙන විරුද්ධ වුණ එක. හැබැයි ගොඩක් අයට අමතකයි ඒ හැමදේටම මේ රට පාලනය කරපු හැමෝම වගකිව යුතු බව. ඒ අය කියන දේවල් ඇහුණම හිතෙනවා මේ මන්ත්‍රීවරු මැරිලා ඉපදිලද කියලා. අපේ රටේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඉන්නකල් වැරදි පේන්නේ නෑ. විපක්ෂයට ගියාමයි පේන්නේ.
Qමෛත්‍රීපාල මහත්තයා හිටියෙත් ඔය ආණ්ඩුවට සහාය දෙන මතයෙද?
ඔබතුමාලා දකින්න ඇති සමහර දේවල්වලට එතුමා සහාය දුන්නා. කැමැත්ත පළකරලා ලියුම් එව්වා. ඒවා දකින්න ඇතිනේ.
Qදැන් මේ පහුගිය කාලයේ දයාසිරි ජයසේකර පක්ෂ අභ්‍යන්තරයේ අවුල් සහගත තැන් ගැන කිව්ව එකයි, ඇත්ත තත්ත්වෙයි හරි වෙනස් වගේ. ඒ කියන්නේ ඒ කිව්ව දේවල් නෙමේද ඇතුළේ වෙලා තියෙන්නේ?
13 දෙනා ඉවත් කළ වෙලාවෙත් අපි ප්‍රෙස් එකක් තියලා කිව්ව කාරණය මම ඉස්සෙල්ලා කිව්ව කාරණයමතමයි. අපි ජනතාවට වගකිව යුතුයි. ඒ නිසයි අපි හැම මොහොතෙම ජනතාව වෙනුවෙන් වගකියන තැනක හිටියේ.
Qඇයි එහෙනම් දුමින්ද තනතුරක් නොගත්තේ?
හැමෝම හිතන් ඉන්නේ ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ ඇමැතිකමක් ගන්න බලාගෙන කියලනේ. මේ වගේ මතවාද තමයි හැමදාම තිබ්බේ. ඉතින් මම පෙන්නලා දීලා තියෙනවා දුමින්ද තනතුරු නොගෙන ආණ්ඩුවට සහාය දෙන්නේ කොහොමද කියලා. එකෙන් පේනවා අපි වෙනස් කියලා.
Qඅපි දැක්කා කාලයක් නයි-මුගටි වගේ හිටිය මෛත්‍රීපාල, චන්ද්‍රිකා හරිම මිත්‍රකමෙන් කතාබහ කරමින් හිටියා. දැන් එකතුද කට්ටිය?
ඉතාමත් පැහැදිලියි. අපි ඒකනේ කිව්වේ වෙනසක ඇරඹුම කියලා. චන්ද්‍රිකා මැතිණිය එක්ක අපි දැන් ගනුදෙනු කරනවා.
Qඊළඟ වසරේ අපි දන්නවා ජාතික මැතිවරණයක් එනවා කියලා. සමහර අය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයේ බලයට ගේන්න ඕන කියලා. ඒත් දයාසිරි ජයසේකර මහත්තයා කිව්වේ මෛත්‍රීපාල සිරිසේන එනවා කියලා. කාටද ඔබලා සහාය දෙන්නේ?
මෛත්‍රීපාල මහත්තයට තව පාරක් ජනාධිපතිවරණය සඳහා ඉල්ලන්න හැකියාවක් තියෙනවා. ඔහු සුදුසු නායකයෙක්. ඒ වගේම ශ්රීලනිපයටත් අයිතියක් තියෙනවා සුදුසු නායකයෙක් ඉදිරිපත් කරන එක. ඒත් ප්රශ්නය ඒක නෙමෙයි. අපි මේ තියෙන අවුලෙන් ගොඩ යන එක. දැන් අපේක්ෂකයෝ විපක්ෂයේ ගොඩක් ඉන්නවනේ. දේශපාලනයේ නැති අයත් පක්ෂ අරන් අපේක්ෂකයෝ වෙන්න යනවා. ඒත් ශ්‍රීලනිපයට ඊට වඩා වගකීමක් තියෙනවා අපි මොකක්ද මේ වෙලාවේ කරන්නේ කියලා. අපිට තියෙනවා හැමදේම හොයා බලන්න. වගකීම පක්ෂවලින් ගිලිහිලා තියෙන්නේ. ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් ඉන්නේ. හොඳම උදාහරණය සෞඛ්‍ය ගැටලුව වෙලාවේ ආණ්ඩුව හැසිරුණු විදිහ වැරදියි. අපි ඒක පිළිගන්නවා. ඒ නිසා අපි කරන්න ඕන ජනතාවට උද්දච්චකම් පෙන්නන එක නෙමේ. අපි කරන්න ජනතාව කියන දේ ඇහුකම් දෙන එක.
I ගයාන් ගාල්ලගේ