අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කලින් කලට කරළියට එන මාතෘකාවකි. 1977 වනතුරු රටේ පැවැති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමයට මාරුවීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ද වාර ප්‍රකාශන ගාණටම වැටුණි. විධායක ජනාධිපති ක්‍රමය සමඟ ගෙවී ගිය වසර 46ක පාලන කාලය තුළදී විසි එක් වතාවක් ව්‍යවස්ථාවේ සංශෝධන සිදුකිරීමෙන් ඒ බව හොඳින්ම පැහැදිලි වෙයි. මේ බොහොමයක් සංශෝධන සිදුවූයේ රටේ පොදු මහජනතාවගේ අවශ්‍යතා හේතුවෙන් නොව ඒ ඒ කාලයේදී බලයට පත්වෙන ආණ්ඩුවල අවශ්‍යතා හේතුවෙනි. මේ පසුබිමේ තවත් අලුත් සංශෝධනයක් පිළිබඳ වාර්තා වන අතර එය රටේ ජනතාවගේ දැඩි අවධානයට ලක්වනු ඇති බවට සැකයක් නැත.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා බවත් එලෙස හදිසි සංශෝධනයක් සිදුකිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් අපගේ ''දේශය'' පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් හෙළිකර තිබේ. රජය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් බවද සඳහන්ය.
කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණද එම යෝජනාව ආණ්ඩුවේ ඉහළම නායකයන්ගේ අදහසක් බව බැලූ බැල්මට පෙනී යයි. මේ රටේ නොව වෙනත් රටක වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රටේ නායකයන්ගේ අනුදැනුමකින් තොරව සිදුවීමට ඉඩක් නැත. මේ නිසා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව ආණ්ඩුවේ අවශ්‍යතාවක් බව පැහැදිලිය. කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති කැබිනට් පත්‍රිකාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160ක් ඍජු ලෙසට ජනතාවගේ ඡන්දයෙන් ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගනු ලබන අතර ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීන් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරාගනු ලැබිය යුතුය.
නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ මූලික අරමුණ 1989 වසරේ සිට ක්‍රියාත්මකව පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කිරීම බව පෙනී යයි. මේ රටේ ජනතාවගේත් විවිධ සංවිධානවලත් දැඩි විවේචනයට ලක්වූ එසේම දූෂිත සහ වංචනිකයන්ගේ උදව් හරහා ඡන්දයකින් මන්ත්‍රීවරුන් තෝරාපත් කරගනු ලැබීමටත් හේතු වූ සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු බවට විවාදයක් නැත. 1995 වසරේ සිටම ඒ සඳහා විවිධ උත්සාහන් දරනු ලැබීය. ඒවා සාර්ථක වූයේ නැත. එසේ තිබියදී හදිසියේම මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමට හේතුව කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරනු ඇත. විපක්ෂයේ නායකයන්ද මේ ප්‍රශ්නයම නගනු ඇත. හතර වටෙන්ම ප්‍රශ්නවලට මුහුණ දී සිටින රටක හදිසි ව්‍යවස්ථා සංශෝධනයකට ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ මන්දැයි ප්‍රශ්න කිරීම ගැන පුදුම විය යුතු නැත.
මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 කෙරෙහිම ජනතාවගේ ප්‍රසාදයක් නැත. එය යථාර්ථයයි. මේ බව ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන්ම අවස්ථා ගණනාවකදී කියා තිබිණි. මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව දක්වන මේ අප්‍රසාදයට හේතුව දැනට තිබෙන ඡන්ද ක්‍රමයේ වරද නොවන බව නම් කිව යුතුය. තමන්ගේ ගැටලු නොවිසඳා පාර්ලිමේන්තු මන්ත්‍රීන් තමන්ගේ ගැටලු විසඳා ගන්නා බවට ඔවුහු චෝදනා කරති. රටේ ගැටලු කොතරම් ජනතාව පීඩනයට පත්කර ඇතිදැයි කිවහොත් ඔවුන් දැන් සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියන තත්ත්වයක නොව සියලුම මන්ත්‍රීවරුන් ගෙදර යැවිය යුතු යැයි කියන තත්ත්වයකිනි. මේ නිසා අලුත් ඡන්ද ක්‍රමයක් ගෙන ඒමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා අවශ්‍ය වන්නේ ජනතාව පෙළන පීඩකාරී තත්ත්වය හැකි තරම් අවම කිරීමට පියවර ගැනීම බව කිව යුතුය.
එම තත්ත්වය කෘතහස්ත, පරිණත සහ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නායකයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරුම්ගෙන සිටින බව ඔහු සිදු කරන කතාවලින් පැහැදිලි වෙයි. රටම අන්ත අසරණ තත්ත්වයකට වැටී පෙට්‍රල්, ඩීසල් හෝ ගෑස් නැතිව සිටි තත්ත්වයක සිටියදී පාලනය බාරගෙන ටික කලකින් එම තත්ත්වයට පිළියම් යෙදූ ජනාධිපතිවරයා රට වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමේ සටනට නායකත්වය දෙමින් සිටී. එසේ සිටියදී මේ ආකාරයට ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට මුල් තැනක් ලබාදෙන්නේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට අසීරුය.
ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාදාමය ඉතා සංකීර්ණය. ඒ සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය සහ ඇතැම්විට ජනමත විචාරණයක් ද අවශ්‍ය වෙයි. එසේම ඒ සඳහා සිදු කළ යුතු සීමා නිර්ණය කිරීමේ වැඩපිළිවෙළට ඉතා දීර්ඝ කාලයක් වැය කිරීමද අවශ්‍ය වනු ඇත. මේ නිසා ප්‍රමුඛත්වය ලබා දිය යුතු කාරණා හඳුනාගෙන කටයුතු කිරීම වඩා වැදගත් බව කිව යුතුය.