2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

පක්ෂ මාරු : ඓතිහාසික නඩු තීන්දුවක්

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 81

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා (06) තීරණය කළේය. මේ අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමට නියමිත බව වාර්තා විය. එසේ වුවහොත් ඊළඟට එම මන්ත්‍රී ධුරය හිමිවන්නේ අලි සහීර් මවුලානාටය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගෙන ඇත්තේ මවුලානා මහතාය.

නඩු තීන්දුව ලබාදීමෙන් පසුව මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ප්‍රකාශ කර තිබුණේ ඇමැතිකම්වලට පක්ෂ මාරුකරන දේශපාලනඥයන්ට මෙය හොඳ අවවාදයක් බවය.

ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබුණේ මෙය ඓතිහාසික තීන්දුවක් බවය. වසර 25ක පමණ කාලයක් තිස්සේ මෙවැනි නඩුවල තීන්දු ලබාදුන්නේ අනෙක් පැත්තට බවද ඔහු සඳහන් කර තිබිණි.

මේ අතර ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ මේ නඩු තීන්දුව හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුකළ මන්ත්‍රීවරුන් ගණනාවක් කලබලයට පත් වී සිටින බවය. ඔවුන් මේ තීන්දුව අධ්‍යයනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවද දැනගන්නට ලැබිණි.

වත්මන් ආණ්ඩුවේ පරිසර අමාත්‍ය ධුරයද හොබවන නසීර් අහමඩ් මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලැබූ මන්ත්‍රිවරයෙකි. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන නසීර් අහමඩ් මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා වශයෙන්ද කටයුතු කර ඇත. නැඟෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරයද දරා ඇති ඔහු පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2022 අප්‍රේල් මාසයේදී පරිසර අමාත්‍යවරයා වශයනේ පතකරනු ලැබීය.