බටහිර මාධ්‍ය එක්ක මේ රටේ හැමදාමත් ''ගේම'' ඉල්ලුවේ රාජපක්ෂලාය. යුද්ධය තිබුණු කාලයේ මහින්දට සිදුවී තිබුණේ රටේ හමුදාව කොටින්ට එරෙහිව පැය විසිහතරේම සටන් වැදී සිටියදි මේ යුද්දෙට අතදිගහැර පහරදෙමින් සිටි බටහිර මාධ්‍ය එක්ක ජල්ලි අල්ලීමටය. මහින්ද බය නැතුව බටහිර මාධ්‍යවලට කිව්වේ තමන් කරන්නේ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධයක් බවත් එය දමිළ ජාතිකයන්ට එරෙහි සටනක් නොවන බවත්ය.
ඒ කාලයේ මහින්ද ලොවේ කොතැනට ගියත් ඇමෙරිකාව ඇතුළු බටහිර සහ බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපයේ ඔක්කොම මාධ්‍ය ඔහු වටකරගෙන ඇහැව්වේ යුද්ධය ගැනමය. මහින්ද ඒවාට උත්තර දුන්නේය. ඇතැම්විට තරමක දැඩි ස්වරයකින් උත්තර දුන්නත් මහින්ද කොයි වෙලාවකවත් ආවේගශීලීව මාධ්‍ය ඉදිරියේ හැසිරුණේ නැත. වෙන එකක් තබා යුද්ධයේ අවසාන කාලය එළඹෙන විට චැනල් 04 එකෙන් ''කිලිං ෆීල්ඩ්ස්'' වැනි වීඩියෝ චිත්‍රපට එළියට දමද්දී පවා මහින්ද තමන්ගේ ආවේග දරාගෙන මාධ්‍යයට උත්තර දුන්නේය. ඒ කාලයේ වරක් ඉන්දියාවට ගොස් සෝනියා ගාන්ධි ඇතුළු රජයේ බලධාරීන් හමුවී ආපසු ලංකාවට එන්න ගුවන්තොටුපළට ආපු වෙලාවේ මහින්දව වටකරගත් මාධ්‍යවේදීන් ඇහැව්වේ මේ යුද්ධය නතර කරන්නේ කවදාද කියාය. ඔහු එහිදී දැඩි ස්වරයකින් එහෙත් ඉවසීමේ සීමාව ඇතුළත සිටිමින් කිව්වේ ප්‍රභාකරන් පරාජය කරනතුරු යුද්ධය නොනවත්වන බවය. ''මම මේ කරන්නේ ඉන්දියාවේ යුද්ධයයි. ඒ යුද්ධය දිනනතුරු අපි සටන නවත්වන්නේ නෑ.'' මහින්ද ඍජුවම කිව්වේය. ඒ කිව්වා වගේම මහින්ද ප්‍රභාකරනුත් ඉවර කර යුද්ධය දිනාගැනීමට දේශපාලන නායකත්වය ලබා දුන්නේය.
කොටිත් එක්ක යුද්ධ කරන ගමන් ලංකාවට එරෙහි ස්ථාවරයක දිගටම රුඳී සිටි බටහිර ඇතුළු සෙසු මාධ්‍ය සමඟ මහින්ද සටන් කළේ එහෙමය. යුද්ධය දිනුවත් එක්කම ඒ මාධ්‍යවල කටවල් වැසුණි. හැබැයි ඔවුන් නිකම් සිටියේ නැත. ඊළඟට ඇද ගත්තේ හමුදාවෙන් සිදුවූ යුද අපරාධ චෝදනාය. මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාය. මේ චෝදනා ගොනු කිරීමට බටහිර මාධ්‍යවලට උදව් දුන්නේ දෙමළ ඩයස්පෝරාවය. චැනල් 04 එකට මේ ඩයස්පෝරාව මුදල් පවා ලබාදුන් බවටද ඒ කාලයේ චෝදනා එල්ල විය. එහෙම තිබියදීත් මහින්ද යුද්දෙන් පස්සේ බටහිර සහ යුරෝපයේ මාධ්‍ය සමඟ කටයුතු කිරීමේදී වැඩේ වරද්දා ගත්තේය. එහිදී යුද ජයග්‍රහණය ලංකාවට කොතරම් වැදගත් වුණත් ලෝකයේ බලවත් රටවල් තුළ පැළපදියම් වී සිටි දෙමළ ඩයස්පෝරාවේ බලපෑමත් තවත් හේතුන් නිසාත් ලංකාව කෙරෙහි තිබූ වෛරී ආකල්ප වර්ධනය වන ආකාරයට කටයුතු කිරිම ජාත්‍යන්තරය තුළ ලංකාව හුදෙකලා කිරීම දක්වා තල්ලු විය. බටහිර මාධ්‍යවල බලපෑම එහිදී වැදගත් සාධකයක් විය. එම තත්ත්වය ලංකාවට එරෙහි නිල නොලත් සම්බාධක පැනවීම දක්වාම වර්ධනය වෙමින් තිබුණි.
ජිනීවාහි මානව හිමිකම් කොමිසම ලංකාවේ බෙල්ලටම තොණ්ඩුව හිර කිරීම එහි ප්‍රතිඵලයකි. අමෙරිකාවටත් මහා බ්‍රිතාන්‍යයටත් එරෙහිව කවදාවත් යුද අපරාධ චෝදනා එල්ල නොකළ මානව හිමිකම් කොමිසම ලොවේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේදී සිදුවූ වැරදි අල්ලාගෙන ලංකාවට දඬුවම් කරන තත්ත්වයට පත්විය. ඉරාකයට එරෙහිව සිදුකළ යුද්ධයේදී අමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් සිදුකළ බරපතළ යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු ''චිල්කොට්'' කොමිසමේ වර්තාවෙන් බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර්ට එරෙහිව ඉතා ප්‍රබල සාක්ෂි සහිතව චෝදනා එල්ල කර තිබුණි. හැබැයි ජිනීවා මානව හිමිකම් කොමිසම ඒ වාර්තාව දිහා ඇහැ ඇරලා බැලුවේ නැත. නමුත් ලංකාව දංගෙඩියට යැවීමේ කතාවට මුල්තැනක් දුන්නේය. වාර්ෂික ජිනීවා සැසිවාර දෙකේදීම ලංකාවේ ප්‍රශ්නය හැර වෙනත් වැදගත් මාතෘකාවක් ඔවුන්ට නොතිබිණි.
එහෙම තත්ත්වයක් ඇතිවීමට ලොකුම හේතුවක් වුණේ යුද්දෙන් පස්සේ මහින්දලා බටහිර මාධ්‍ය සමඟ ගනුදෙනු කිරීමේදී දැක්වූ අසමත් බවය. ඒ අවස්ථාවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමැති පුද්ගලයන්ගේ උපදෙස් පිළිපදිනවා වෙනුවට මහින්ද සවන් දුන්නේ විමල් වීරවංශලා උදය ගම්මන්පිලලා, සරත් වීරසේකරලා ඇතුළු දැඩි මතධාරී කණ්ඩායමේ හඬටය. එහි ප්‍රතිඵල වඩාත්ම දැනුණේ රටේ ආර්ථිකයට වුණත් මහින්දලා ඒ ගැන එතරම් අවධානයක් යොමුකළේ නැත. අන්තිමට යුද්ධය දිනා රටේ ඉහළම ජනප්‍රිය නායකයා වූ මහින්ද ඒ ජනප්‍රියකම තිබියදීම ඡන්දයෙන් පරාජය විය. රටේ පාලනය මෛත්‍රීපාල - වික්‍රමසිංහ සුසංයෝගයේ ඔඩොක්කුවට වැටුණේය.
මේ කාලය පුරාවටම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයා වශයෙන් සිටිමින් බටහිර සහ යුරෝපීය මාධ්‍ය සමඟ හොඳින් ගනුදෙනු කරමින් සිටියේය. මහින්ද ඒ ගනුදෙනුවලින් පරදින විට රනිල් ඒ මාධ්‍ය හරහා හොඳට ලකුණු දමා ගත්තේය. අමෙරිකාව සහ යුරෝපය ඇතුළු රටවල්වල සහ ඉන්දියාවේත් හොඳ නම දිනාගත්තේය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කොට ආණ්ඩුවක් පිහිටුවීමට ඒ තත්ත්වය මගපාදා දුන් බව නොරහසකි. කොටින්ම යහපාලන ආණ්ඩුව බලයට පත්වීම ''ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්'' වශයෙන් මහින්දට හිතවත් පාර්ශ්ව වෙතින් දැඩි චෝදනාවක්ද එල්ල විය. ඒ කොහොම වුණත් එතෙර සහ මෙතෙර මාධ්‍ය සමඟ පවත්වාගෙන ගිය ''යහපත් ගනුදෙනුව'' රනිල්ට බලයට ඒමට ලොකු උත්තේජනයක් ලබා දුන්නේය.
එහෙම හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකවරටම බටහිර සහ යුරෝපීය මාධ්‍ය සහ එම රටවල ආකල්ප සමඟ ආරවුලකට පැටළුණේ ඇයි? බටහිරට හිතවත් නායකයකු වශයෙන් ජාත්‍යන්තර මට්ටමින් සැලකෙන රනිල් එකපාරටම ඒ රටවල් ගත් ඇතැම් තීන්දු තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ ඇයි? තමා සමඟ සම්මුඛව සාකච්ඡාවක් සිදුකළ ජර්මනියේ සුප්‍රසිද්ධ ''ඩී.ඩබ්ලිව්.'' නාළිකාවේ මාධ්‍යවේදියාට ''විකාර කතාකරන්න එපා. ඔබ හිතන්නේ ආසියාවේ අපි දෙවැනි පන්තියේ කියලද?'' යනුවෙන් ආවේගශීලීව විමසීමට තරම් ඒ තත්ත්වය බරපතළ විය.
ජනාධිපති රනිල් පසුගිය කාලසීමාව තුළ සිදුකළ ප්‍රකාශ ගණනාවක් මේ රටේ පමණක් නොව ජාත්‍යන්තරයේද සිරස්තල මැව්වේය. එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ගිය අවස්ථාවේත්, ඉන්පසුව ජර්මනියේ බර්ලින් ග්ලෝබල් සමුළුවේදිත් පසුගිය සතියේ ''ඩී.ඩබ්ලිව්.'' නාළිකාව සමඟත් පැවැත්වූ සාකච්ඡාවලදීත් ඔහු දැක්වූ අදහස් ජාත්‍යන්තර දේශපාලනය තුළද මාතෘකා බවට පත්විය. අමෙරිකාවේ සිදුකළ සාකච්ඡාවේදී ඉන්දීය සාගර කලාපයේ භූ දේශපාලනික තත්ත්වය කේන්ද්‍ර කර ගනිමින් ''අවුකුස්'' ජාත්‍යන්තර සම්මුතිය විවේචනයට ලක්කළේ එය වරද්දා ගැනීමක් වශයෙන් හඳුන්වමිනි. එම සම්මුතියට අත්සන් තබා ඇත්තේ අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාවයි. ඊටපසුව ''බර්ලින් ග්ලෝබල්'' සමුළුවේදී ඔහු ලොවේ වර්තමානයේ පවතින ආර්ථික හැඩතල වෙනස් විය යුතු බවත් ඒවා දැන් කාලය ඉකුත් වූ ක්‍රමවේද මත වැඩකරන බවත් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් ගනුදෙනු කරන්නේ පැරණි ක්‍රමවේද අනුව යමින් බවත් ඔවුන්ගේ ආකල්ප නවීන ලෝකයට ගැලපෙන සේ වෙනස් විය යුතු බවත් ඔහු සඳහන් කළේය. මේ අවස්ථාවේ බටහිර රටවල් විශේෂයෙන් අමෙරිකාව සහ චීනය අතර සංවාදයක් පැවතිය යුතු බවත් ලොවේ ආර්ථිකය සම්බන්ධයෙන් චීනය සිටින ස්ථානයේ යථාර්ථය හඳුනා ගනිමින් ඔවුන් අත් නොහැර කටයුතු කිරීම අවශ්‍ය බවත් කියා තිබිණි.
ඒ කොහොම වුණත් මෑතකදී ජර්මන් නාළිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාව ජනපති රනිල් සාමාන්‍යයෙන් විදෙස් මාධ්‍ය සමඟ කටයුතු කරන ආකාරයට වඩා සහමුලින්ම වෙනස් විය. එදා මහින්දලා බටහිර මාධ්‍ය සමඟ ගැටෙද්දී විපක්ෂනායකයා හැටියට රනිල් ඒ මාධ්‍ය සමඟ රටේ ප්‍රතිරූපය එසවෙන ආකාරයට සාකච්ඡා ලබා දුන්නේය. ඔහු සහ මාධ්‍ය අතර හැමවිටම සුහද සංවාදයක් තිබිණි. පසුව 2015 දී යහපාලන ආණ්ඩුව පිහිටුවා එහි අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටියදිත් ඔහු විදෙස් මාධ්‍ය සමඟ යහපත් සබඳතාවක් පවත්වාගෙන ගියේය. පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී රටම කැළඹී සිටියදී ඔහු හමුවූ විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අගමැති රනිල් පෙනී සිටියේ ඉතා සන්සුන් ආකාරයටය. ඇසූ ප්‍රශ්නවලට පැහැදිලිව ඉවසිලිමත් ලෙස පිළිතුරු ලබාදුන්නේය. එවකට ජනාධිපති මෛත්‍රීපාල ඔහු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කළ අවස්ථාවේත් තමන් හමුවට පැමිණි විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ඉතා ඉවසිලිමත්ව පෙනී සිටියේය.
එහෙම විදෙස් මාධ්‍ය එක්ක කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජර්මන් නාළිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාව ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික ඉවසිලිමත් බව ''ටෙස්ට්'' කළ අවස්ථාවක් බවට පත්වූයේ ක්‍රම ක්‍රමයෙනි. එය ඇතැම්විට බටහිර මාධ්‍ය නිරතුරුවම දකුණු ආසියාවේ ඇතැම් රටවල නායකයන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් දක්වන උද්ධච්ඡ ආකල්පවලට පිළිතුරක් විය හැකිය. නමුත් බටහිර මාධ්‍ය වුවද ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල නායකයන් සමඟ කටයුතු කරන්නේ වෙනස් ආකාරයකට බව පැහැදිලිය.
තමන්ගේ අත්දැකීම් සහ පළපුරුද්ද මත පදනම් වෙමින් මේ සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියා අසන්නට සූදානම් වන ප්‍රශ්න කල්තියා හඳුනා ගැනීමට ජනාධිපතිවරයා සමත්විය. මේ නිසා චැනල් 4 ප්‍රශ්නයට සූදානම් වනවිටම ජනාධිපතිවරයා මාධ්‍යවේදියා නිරුත්තර වන ආකාරයට තම අදහස් ප්‍රකාශ කළේය. එහෙත් එය සිදුකළ ආකාරය පිළිබඳ ගැටලුවක් තිබිණි. මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී රනිල් වික්‍රමසිංහ මහතා ඍජුව සහ සන්සුන්ව පිළිතුරු දෙන නායකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහු මෙහිදී එම සීමාව පැන මාධ්‍යවේදියා නිරුත්තර කිරීම කැපී පෙනුණි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ඇතැම් කාරණා ඉදිරිපත් කළ ආකාරය ගැටලු සහගත විය. මේ ගැන සජබ මාධ්‍ය සාකච්ඡාවකදී දැඩි විදියට විවේචනය කළේය.
එහිදී කතා කළ හිටපු සජබ මන්ත්‍රි මුජිබර් රහමන් මෙසේ කිව්වේය. ''ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා 2015 ආණ්ඩුවේ අගමැතිව සිටියදී මංගල සමරවීර විදේශ ඇමැතිවරයා ලවා ජිනීවාවලදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දෙමුහුන් අධිකරණයක් යෝජනා කළා. ඒ වගේම පසුගිය අවුරුද්දේ වැඩබලන ජනාධිපති ධුරය දැරූ කාලයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. එදා එහෙම කියූ ජනාධිපතිවරයා අද පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව ජර්මන් මාධ්‍යයට පැවසීම විහිළුවක්.''
සජබ එහෙම කියනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් දරන ස්ථාවරයට පැමිණීම ගැන සතුටුවෙන බවය.
ඒ කතාවේ තේරුම එදා මහින්දලා බටහිර මාධ්‍යවලට බැටදෙන කොට ඒ කතාවලට එකඟ නොවූ ප්‍රතිපත්තිය අද ජනාධිපතිවරයා වෙනස් කරගෙන කියන එකද? අද බටහිර සහ යුරෝපීය රටවල සහයෝගය ලංකාවට අවශ්‍ය නැහැයි කියන ප්‍රතිපත්තියකට මාරුවෙලා කියන එකද?
එහෙම නම් රටට හැරෙන්න වෙන්නේ චීනය දෙසටද ඉන්දියාව දෙසටද කියන ගැටලුව මුලින්ම විසඳා ගත යුතුය. එහෙත් එහෙම භූ දේශපාලනික දේවල් ගැන තිබෙන ගැටලු බේරාගන්න කලින් රට ඇතුළේ ගැටලුවලට විසඳුම් සෙවීමට මුල්තැනක් ලැබීමත් අවශ්‍යය. අවසානයේ හැමදෙයක්ම රටේ මහජනතාව විසින් තෝරන බැවිනි.
I ශශීන්ද්‍ර