පියල් නිශාන්ත - ධීවර රාජ්‍ය අමාත්‍ය
Qඅපි දන්නවා මේ දවස්වල දේශපාලන කරළියෙ කතා වෙන්නෙ නසීර් අහමඩ්ට ලැබුණු තීන්දුව. දැන් ඔබලගෙ පොහොට්ටු පක්ෂෙත් ඉන්නවා එහෙම පක්ෂ මාරු කරපු අය. ඒ අයටත් නසීර් අහමඩ්ට වෙච්ච දේද වෙන්නෙ?
අපි ඉන්නෙත් ඒ මතයෙ. මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නෙ පක්ෂයක් මූලික කරගෙන. විශේෂයෙන් පක්ෂයත් ඒ මනුස්සයගෙ තියෙන දේශපාලන පෞරුෂයත් එක්ක. ඊටපස්සෙ තමන්ගෙ පෞද්ගලික අරමුණු වෙනුවෙන් ඡන්දයත් පාවා දීලා පක්ෂයත් පාවා දීලා පක්ෂයෙන් යන එක, මම හිතන්නෙ ඒක හොඳ නැති දෙයක්. මම කියන්නෙ ජනතාව ඕනෙම මන්ත්‍රීවරයෙක්ට ලබා දෙන කාලයක් තියෙනවා. අන්න ඒ කාලෙන් පස්සෙ තීන්දුවක් ගත්තට කමක් නෑ. පක්ෂයෙ ප්රතිපත්තිවල යම් අවුලක් තියෙනවා නම් තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි තමන්ට ඕනෙ ඕනෙ වෙලාවට පක්ෂ මාරු කරන්න දෙන්න නරකයි. ඒකට නෛතික රාමුවක් තිබිය යුතුයි.
Qසාමාන්‍යයෙන් පක්ෂයෙ කී දෙනෙක්ට වගේ පුටුව අහිමි වෙන්න පුළුවන්ද?
එහෙම නම් මම දන්නෙ නෑ. හෘද සාක්ෂියට එකඟ නැතුව පක්ෂයෙ විනය විරෝධී ක්‍රියා කරපු හැම දෙනාටම ඒ තත්ත්වය උදාවෙන්න පුළුවන්. ඒ ගැන අපිට තාම කියන්න විදිහක් නෑ. හැබැයි ඉස්සරහට අපිට කියන්න පුළුවන් වෙයි.
Qගොඩක් දෙනෙක් අහන කතාවක් තමයි කවද්ද ඊළඟ ඡන්දෙ තියන්නෙ කියලා. කවද්ද ඊළඟ ඡන්දෙ තියන්නෙ ඇත්තටම?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නෙ හැමදාම කලට වෙලාවට ඡන්දෙ තිබ්බ අය. කලට වෙලාවටත් කලින් ඡන්දෙ තිබ්බ අය අපි. අපි මේ වෙද්දි අපේ පක්ෂයෙ බිම් මට්ටමින් ඉතාම හොඳින් ශක්තිමත් කරලා තියෙනවා. අපිට සෑහෙන්න කතා කිව්වා ජවිපයත් සජබයත්. හැබැයි අපි ඒගොල්ලන්ට කියනවා අපි නම් මැතිවරණයට හොඳටම සූදානම්.
Qමේ වෙද්දි පක්ෂයෙ ඇතැම් මන්ත්‍රීවරු යෝජනා කරනවා ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයට දිය යුතුයි කියලා. එහෙම කියද්දි ඔබලාගෙම පක්ෂයෙ මන්ත්‍රීවරයෙක් වෙච්ච ධම්මික පෙරේරා මහත්තයා ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් වෙනවා. ඇත්තටම කවුද දැන් ජනාධිපති අපේක්ෂකයා?
පොහොට්ටුවෙ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තාම තීන්දු කරලා නෑ. පෞද්ගලිකව මගේ අදහස වෙන්නෙ මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩෙ ගහන්න එපා කියලා. ඒ නිසා මේ රට ඉල්ලන, මේ රටට සැබෑ ගමනක් යා හැකි ඕනෙම කෙනෙක්ට අපේ සහාය ලබා දෙනවා. පක්ෂයෙන් නායකයා කිව්ව දවසට අපි ඒ වෙනුවෙන් කැපවෙන්න ලෑස්තියි.
Qසමහර අය කියනවා වර්තමාන ජනාධිපතිවරයට තවත් අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. මම අහන්නෙ ඔබ හිතන්නෙ කොහොමද, වර්තමාන ජනාධිපතිවරයට තව අවස්ථාවක් ලබා දිය යුතුයි කියලද?
එතුමා බලය ගත්තෙ රට ඉතාම නරක තැනක තියෙන වෙලාවක. ඒ වෙලාවෙ එතුමා තෝරගත්තෙ මේ රටේ මේ අභියෝගය බාරගන්න පුළුවන් නායකත්වයක් නිසා. ඉතින් අපි එතුමට නියමිත කාලයක් ලබා දීලා තියෙනවා ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. ඒ කාලය ඇතුළතදි එතුමා යම් වෙනස්කම් රැසක් සිදු කළොත් අපේ පක්ෂයෙන් වුණත් එතුමා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි මම කියන්නෙ එතුමවත් ඡන්දෙකට එන බවට තවම තීන්දුවක් අරන් නැති මොහොතක ඒ ගැන කතා කිරීම තේරුමක් නෑ. ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ හත්ගව්වක් මුහුද තියාගෙන දැන් අමුඩෙ ගහලා වැඩක් නෑ.
Qඔබලා පහුගිය කාලෙ ආණ්ඩු කරලා වරද්ද ගත්ත හැටියට හිතනවද නැවතත් ජනතාව බලය දීලා ඔබලා පත්කර ගනී කියලා?
පැහැදිලිවම. ජනතාව දැන් ටිකෙන් ටික පිළි අරගෙන තියෙනවා මොකක්ද සිද්ධ වුණු කුමන්ත්‍රණය කියලා. ඒක බලලෝභීත්වය වෙනුවෙන් බලය ඩැහැගන්න විපක්ෂයෙ පිරිසක් කරපු වැඩක් කියලා හැමෝම දැන් දන්නවා. අපි කියන්නෙ අපි ගිය ක්‍රමවේදයේ යම් වෙනස්කම් සහිතව ගියා නම් අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නෙ නෑ. කොහොම වුණත් අපි මේ වෙනකොට ජනතාවගේ ජනප්‍රියතාවයට පත්වෙලා තියෙන්නෙ. විශේෂයෙන් රාජපක්ෂවරු ඉතිහාසයේ කරපු සේවයත්, කොවිඩ් කාලයේ කරපු සටනත් ජනතාවට අමතක කරන්න බෑ. යුද්දෙන් විතරක් නෙවෙයි අපි කොවිඩ්වලිනුත් ජනතාවට ජීවිත ගාණක් ලබා දුන්නා.
Qඔබලට හිතන්නෙ නැද්ද ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ අනම් මනම් කතා කිව්වට ඇත්තටම ඒ ආණ්ඩුව ඇතුළෙ සිද්ධ වුණු අඩුපාඩු ජනතාව කලකිරීමට පත් කළ තැනට ගෙනාවා කියලා?
පැහැදිලිවම කලකිරීමක් තිබුණා. මේ රටේ ජනතාව තෘප්තිමත් කරන එක නම් ලේසි නෑ. ඔබ මාධ්‍යවේදියෙක් හැටියට ඒක දන්නවා ඇතිනෙ. මේ රටේ මිනිස්සු 100% ක් තෘප්තිමත් කරන්න බෑ. අපි අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ හරහා යම් යම් අඩුපාඩු සිදු වුණා. ඒ මොහොතේ අභ්‍යන්තරිකව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒකට හරි විදිහට මුහුණ දෙන්න බැරිවීම තමයි අපේ නායකත්වයෙ තිබුණු දුර්වලතාවය.
Qඇයි නැවතත් ජනතාව පොහොට්ටුව තෝරාගත යුත්තෙ?
මේ ජනතාවට විශාල වැඩ කොටසක් කරපු පක්ෂයක්. ඒ වැඩපිළිවෙළ අතරමග නතර වුණා. අන්න ඒ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරන්න පොහොට්ටුව නැවත පත්කර ගන්නම වෙනවා.
I ගයාන් ගාල්ලගේ