2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ජනතාවට වැරදුණේ ආගමයි රට ජාතියයි පටලගෙන

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

සුනිල් හඳුන්නෙත්ති - ජාතික ජන බලවේගය

  • අත්දැකීමෙන් දැනීමෙන් අපේ ඡන්ද දායකයෝ දැන් පාඩම් ඉගෙනගෙන
  • හොරෙක් නොවීමේ ලොකුම සුදුසුකම තිබෙන්නේ අනුර කුමාර සහෝදරයට
  • ධම්මික පෙරේරා අද කියන්නේ අන්දරේ කියපු කතාව

Qඅපි දන්නවා මේ වෙනකොට සමාජය ඇතුළෙ ලොකු කතාබහක් යනවා ඊළඟ ජනාධිපතිවරණය ගැන. සමහර අය මේ වෙද්දි ජනාධිපති අපේක්ෂකයො හැටියට කරළියට එමින් ඉන්නෙ. ඔබලත් මේ ජනාධිපති සටනෙ ඉන්න එක් කණ්ඩායමක්. ඇත්තටම මේ ජනාධිපති අපේක්ෂකයො වැඩිවීම යම් ආකාරයක ඔබලට තර්ජනයක් වෙන්න පුළුවන් නේද?

ඔය ඔබ කියන තර්ජනයක් හරි, බලපෑමක් හරි, පීඩනයක් හරි අපිට නම් වෙන්නෙ නෑ. ඔබ නිකම් ජනතාව දහ දෙනෙක් අරගෙන අහලා බලන්න මොකද තත්ත්වය කියලා. එයින් නම දෙනෙක්ම කියන්නෙ අපි මහත්තයො ඡන්දයක් මේ එනකම් ඉන්නෙ කියලා. ඕනෙම ඡන්දෙකට ජනතාව දැන් සූදානම්. ඒ නිසා ජනතාව ඉන්න පැත්ත අනුව තමයි ඕක තීන්දු වෙන්නෙ. ජනතාව කාලෙකදි ජනාධිපතිවරු හැදුවා ආගමට මුලාවෙලා. ජාතිවාදයට මුලාවෙලා. සිංහල මුස්ලිම් ගැටුම්, දෙමළ ගැටුම් පාවිච්චි කළා. ඒ හැම දේකින්ම හෙම්බත්වෙලා දැන් ජනතාව ඉන්නෙ. රට බේරගන්න ආපු අය හිටියා. රට හදන්න ආපු අය හිටියා. දේශපාලනයෙන් තොර අය හිටියා. ඒ කවුරුත් කරපු දෙයක් නෑනෙ. අන්තිමේ තරුණයො වෙනසක් ඇති කරන්න බිත්තිවල චිත්‍රත් ඇන්දා. මේ ඔක්කොම කරලා ඇතිවෙලා දැන් ඉන්නෙ තරුණයො. 

Qජනතාව ඔය දේවල්වලට තවත් රැවටෙයි කියලා හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නෙ නෑ ජනතාව රැවටෙයි කියලා. ඒ නිසා අපිට දැන් තර්ජනයක් නෑ. අද වෙනකොට ජනතාව ඉන්නෙ එක කඳවුරක. ඔබ ඔය කියන අනිත් සියලු දෙනාම ඉන්නෙ වෙනත් කඳවුරක. 

Qඔය ඔබ කියන නායකයො ඉතිහාසයෙ ආවෙ ඒ මොහොතේ සමාජයෙ ඇතිවෙලා තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න. අද වෙද්දි ඊළඟ අපේක්ෂකයට එන ලොකුම අර්බුදය තමයි ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන එක. අන්න ඒක ජය ගන්න අනුර කුමාරට පුළුවන්ද කියන එක තමයි ගොඩක් අය අහන්නෙ?

දැන් ඔය කට්ටිය අහන්නෙ අනුර කුමාරට සල්ලි නෑ කියන එකනෙ. රටේ සල්ලිකාරයෙක් ඡන්දෙ ඉල්ලන්න ආවොත් අනුර කුමාරට සල්ලි නෑ. එහෙමනෙ රටේ මිනිස්සු කියන්නෙ. අපි කෙළින් කතා කරමුකො. ඔයා කියන්නෙ ධම්මික පෙරේරා ගැනනෙ. 

Qනෑ නෑ ධම්මික පෙරේරා ගැන නෙවෙයි. අපේක්ෂකයො ගොඩක් ඉන්නවනෙ. මම මේ පොදුවෙ ප්‍රශ්නයක් ඇහුවෙ?

නෑ මම කියන්නෙත් උදාහරණෙකට. ධම්මික පෙරේරා අද කතා කරන්නෙ අර අන්දරේ කියපු කතාව වගේ. අන්දරේ කිව්වනෙ ගල කරෙන් තියන්න, ගල ගිහිල්ලා දාන්නම් කියලා. අන්න ඒ වගේ කතා තමයි ධම්මික පෙරේරා කියන්නෙ. දැන් දිලිත් ජයවීර ගත්තොත් එයා කියන්නෙ මම මහින්ද රාජපක්ෂ බලයට ගෙනාපු නිසා මට ජනාධිපති වෙන්න බැරිද වගේ කතාවක්. ඒක නිකම් නයා නටවන්න ඉන්න මිනිහා නැතුව නයා තනියෙන් නටන්න ගියා වගේ වැඩක්. නයාට වෙච්ච වැඩේ තමයි ඒක. 

Qමම අහන්නෙ අනුර කුමාරට තියෙන සුදුසුකම මොකක්ද?

ඔහු දේශපාලනය කරලා තියෙනවා. අනික තමයි කුණු ගොඩක් මැද්දෙ අවුරුදු විස්සක් හොරෙක් නොවී හිටිය එක. හරියට නිකම් අර හොරු ගොඩක් මැද්දෙ හොරෙක් නොවී ඉන්නවා වගේ එකක්. මම කියන්නෙ ඒකම ඇතිනෙ. ඒ වගේම අධ්‍යාපන තත්ත්වෙ බැලුවොත් ඔය කාටත් වඩා සුදුසුකම් අනුර කුමාර සහෝදරයට තියෙනවා. සල්ලි පැත්තෙන් ගත්තොත් සල්ලි හොරකම් නොකිරීමේ ලොකුම සුදුසුකම අනුර සහෝදරයට තියෙනවා. ඒ වගේම සරලකමේ සුදුසුකමත් තියෙනවා. 

Qසරලකම කියන සාම්ප්‍රදායික වචනය ඔබලත් අල්ලගෙන දේශපාලන ගේම් ගහන එක කැතයි නේද?

අන්න ඒකනෙ ප්‍රශ්නෙ. ඔය කියන එවුන් පහුගිය කාලෙ ආවට කරපු දෙයක් නෑනෙ. අර පහුගිය කාලෙ තෝරගත්ත විදිහෙම කෙනෙක් තෝරගන්න නම්, එතකොට අනුර කුමාර ගැලපෙන්නෙ නෑ. ඔයා කියන එක හරි. පහුගිය කාලෙ වගේම ජනාධිපතිවරු තාමත් තෝරනවා නම් රටට ඉතින් වෙන්න දෙයක් නෑ. අපේ රටේ ඡන්ද දායකයන්ට පාඩම් ඉගෙන ගන්න පුළුවන් අත්දැකීමෙනුයි දැනීමෙනුයි. අපේ රටේ ඡන්ද දායකයො ඔය දෙකම ඉගෙනගෙන ඉවරයි. ජනතාව පහුගිය විදිහටම නායකයා තෝරනවා නම් ජනතාව හැදිලා නෑ. 

Qඔබ කියන කාරණා හරි, ජනතාව ඉල්ලන සුදුසුකම් හරි, ඊළඟට එන අපේක්ෂකයො අරගෙන එනවනෙ. මම අහන්නෙ ඒක නෙවෙයි. ජනතාවනෙ අවසාන මොහොතෙ තීන්දුව ගන්නෙ. එතකොට ජනතාවට කොතැනද වරදින්න පුළුවන්?

ජනතාවට ඉස්සෙල්ලම වැරදුණේ ආගමෙන්. රට ජාතිය පැටළුණා. මේක සිංහල බෞද්ධ රටක්නෙ. එතකොට පාලකයො සිංහලයගේ රට රුකගන්න කියලා දෙමළට ගහන්න ගත්තා. මුස්ලිම් මනුස්සයට පීඩා කරන්න ගත්තා. ඒ කරලා ගෝඨාභයට ඡන්දෙ දුන්නා. මුස්ලිම් මිනිස්සු බයටත් ඡන්දෙ දුන්නා ගෝඨාභයට. සමහරු රට හදයි කියලා ඡන්දෙ දුන්නා. ඕකට තමයි මිනිස්සු රැවටුණේ. 

Qඒ වුණාට කියන්නෙ අරක්කු බෝතලේට බත් පැකට් එකට මිනිස්සු රුවටුණා කියලා?

අපෝ නෑ එහෙම රැවටුණේ පොඩ්ඩයි. බහුතරයක් රැවටුණේ ඔය උඩ කියපු දේවලට. ඒක තමයි නැවතත් මේ පාවිච්චි කරන්න උත්සාහ කරන්නෙ. ඒ නිසා ජනතාව තීන්දු කරන්න ඕනෙ තවත් රුවටෙනවද නැද්ද කියලා. 

I ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00