වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා අපේ රටට අඩු නැත. එහි අලුත්ම පියවර වෛද්‍යවරුන්ගේ විරෝධතාවයයි. මේ විරෝධතාව පසුගිය බදාදා (11) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී සිදුවිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සංවිධානය කෙරුණු මේ විරෝධතාවේ ඉල්ලීම් අතර ඖෂධ හිඟය, වෘත්තිකයන් රට හැර යාම සහ ඉසිලිය නොහැකි බදු බර ඇතුළු සටන් පාඨ ගණනාවක්ම තිබිණි. වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ විරෝධතාවට සහභාගි වී සිටියහ. එම නිලධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබූ බවද දැකගන්නට හැකි විය.
කාලයක් තිස්සේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කෙරෙමින් තිබේ. එහෙත් රජය නිහඬය. මේ වසර ආරම්භයේදීම පැනවූ අධික බදු අඩුකර දෙන ලෙසටද ඉල්ලීමක් තිබිණි. රජය ප්‍රකාශ කළේ එය කළ නොහැකි බවත් ජූනි මාසයේදී ඒ ගැන සලකා බැලිය හැකි බවත්ය. එහෙත් එසේ සලකා බැලීමක් සිදු නොවීය. වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මේ බදු කිරීම සිදු නොකළහොත් වෛද්‍යවරුන් රට හැර යාම වැඩිවනු ඇති බවය. ආණ්ඩුව බඩු අඩු කළේ නැත. බදු අඩු නොකළ බවට චෝදනා නගමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තේද නැත. එහෙත් වෛද්‍යවරු රටේ සේවය අතර එතෙර සේවයට යාම ඇරඹූහ. දැන් අධික බදුත් එලෙසම ක්‍රියාත්මකය. වෛද්‍යවරුන් රට යාමද ක්‍රියාත්මකය. අවසානයේ පහර වදින්නේ රටේ පොදු මහජනතාවටය. විශේෂයෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා අඩු ආදායම්ලාභී ජනතාවටය.
දැනට සති දෙකකට පෙර දුම්රියේ හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කෙරිණි. හේතුව බදු ප්‍රශ්නයක් නොව සිගරට් එකකි. ධාවනාගාරයක් තුළ සිගරට් එකක් බොමින් ගමන් කළ සිවිල් ඇඳුමින් සැරසී සිටි උප නියාමකවරයකුට දුම්රිය ආරක්ෂක නිලධාරියකු පහරදීම ඒ වැඩවර්ජනයේ නිමිත්ත විය. මේ සිගරට් නිමිත්ත රටේ දස දහස් ගණන් ජනතාවට අත්කර දුන්නේ අප්‍රමාණ දුකකි. රස්තියාදුවකි. ඊට අමතරව ඔවුහු කෝපයෙන් රත් වී ඇඟපතේ සුවයටද හානි කර ගත්හ. ඉක්මනින් ඒ දුම්රිය සේවක වැඩවර්ජනය අවසන් නොවූයේ නම් දුම්රිය මගීන්ගෙන් මේ දිනවල ගාසා තීරයේ ඊශ්‍රායලය කටයුතු කරන ආකාරයේ හැසිරීමක් වුවද දකින්නට අවස්ථාවක් තිබිණි. වාසනාවකට එසේ සිදුවූයේ නැත.
දුම්රිය වැඩවර්ජනයකදී එසේ ක්‍රියා කළ හැකි වුවද වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයකදී හෝ විරෝධතාවකදී හෝ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමකදී හෝ රටේ ජනතාවට එසේ හැසිරීමට ඉඩක් නැත. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ප්‍රතිකාර ගැනීමට රෝහල් කරා එන ජනතාවත් රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා රෝගීනුත් අන්ත අසරණ තත්ත්වයට වැටීමය. ඔවුන් කෝප ගන්නේ නැත. දුම්රිය නැත්නම් බස් රියෙන් හෝ යා හැකි වුවද දොස්තර මහත්වරුන් නැත්නම් ප්‍රතිකාරත් නවතී. සෞඛ්‍ය සේවයේ කුමන වෘත්තීය ක්‍රියාමාර්ගයකදී වුවද රෝගීන්ට අයත් වන්නේ ඊට ආසන්න ඉරණමකි. මේ නිසා සෞඛ්‍ය සේවයේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදී ඒ සම්බන්ධයෙන් වරක් දෙවරක් නොව පස්මහ බැලුම් බැලීම වුවද අවශ්‍යය. වෛද්‍යවරුන්ගේ පැය දෙකක විරෝධයක් අතරතුරදී අමාරු තත්ත්වයට පත්වන රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි බැවිනි.
රෝගීන්ගේ වගකීම රුඳී ඇත්තේ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ අතේ පමණක් නොවේ. එම වගකීමෙන් භාගයක් පැවරෙන්නේ රජයටය. රෝගීන්ට යහපත් සෞඛ්‍යයක් අයත් කර දීම රජයේ වගකීමය. මේ නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සහ රජය අතර කඹ ඇදීම් තිබීම භයානකය. ඒ කඹ ඇදීමේ කෙළවර රෝගීන්ගේ ඉරණමද ගැට ගැසී තිබෙන බැවිනි. වෛද්‍යවරුන්ද තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදී මේ සියලු කාරණා දෙස විමසිලිමත් වීම අවශ්‍යය. එසේම රජයටද සෞඛ්‍ය සේවයේ විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවලදී අහක බලාගෙන සිටිය නොහැක. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් මඳක් හෝ නම්‍යශීලී වීම අවශ්‍යය. කැත්තට පොල්ල සේ සිටිමින් වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් වැළකීම එයට පිළිතුර නොවේ. නියම ප්‍රතිකාරය නිසි වේලාවට නොලැබුණොත් ඇතැම් රෝගියකුට ජීවිතය පවා අහිමිවිය හැකි බව සියලු දෙනා විසින්ම තේරුම් ගත යුතු සත්‍යයයි. එය එසේ වුවද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් උනන්දු වී ඔවුන්ගේ අත්‍යාවශ්‍ය දෑ ඉටුකර දීමට රජය මැදිහත් විය යුතුය.
මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වන අධික බදු අයකිරීම මේ බොහොමයක් ගැටලුවල ප්‍රධාන කාරණය වී තිබේ. බදු අයකිරීම සම්බන්ධයෙන් කිසිදු පුරවැසියකු තුළ විරෝධයක් ඇතැයි අපි නොසිතමු. රට බංකොලොත් වී ආර්ථික අර්බුදයක් ඇතිවූ තත්ත්වයකදී වැඩිපුර බදු අයකිරීම සම්බන්ධයෙන්ද මේ වැඩි පිරිසකගේ විරෝධයක් නැත. එහෙත් සුළු කාලයකට බව පවසමින් ඉතා විශාල ලෙස වැඩි කරන ලද බදු ප්‍රමාණය තරමක් දුරකට හෝ අඩුකර දීමට අවධානය යොමුවීම අවශ්‍ය යැයි අපි සිතමු. වෛද්‍යවරුන් ටයි පටිත් පැළඳගෙන ගිනි අව්වේ එළියට පැමිණ පොලීසිය සමඟ ද ගැටෙමින් විරෝධතා සිදු කරන්නේ ඇඟපතේ හිරි ඇරගැනීමට නොවන බවත් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් හේතුවෙන් බවත් බලධාරීන් අවබෝධ කර ගනිමින් කටයුතු කළ යුතුය. නැතහොත් මේ කඹ ඇදිල්ලෙන් කම්බස් වන්නේ රජය හෝ වෛද්‍යවරුන් හෝ නොව රටේ පොදු මහජනතාවයි.