නසීර් අහමඩ්ගේ නඩු තීන්දුව ලංකාවේ දේශපාලන නඩු ඉතිහාසය ආපසු ලිවීමක් තරමට කතිකාවත් ඇතිකර තිබේ. ඒ නඩු තීන්දුව වර්තමාන දේශපාලනයට කළහැකි බලපෑම පිළිබඳ විවිධ අදහස් පළවෙමින් තිබේ. සමහරුන් කියන්නේ මේ නඩු තීන්දුව පාර්ලිමේන්තුවේ වර්තමානයේ සිටින මන්ත්‍රීවරුන් රැසකට ඍජුවම බලපානු ඇති බවය. තවත් සමහරුන්ගේ අදහස ඕනෑම පක්ෂයක ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදනවල වෙනස්කම් හේතුවෙන් එක් එක් පක්ෂයට මේ නඩු තීන්දු බලපාන්නේ ඒ ඒ ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව බවය. කොහොම වුණත් වත්මන් පාර්ලිමේන්තුව තුළ පවතින සංයුතියේ විකෘති ස්වභාවය අනුව විශේෂයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය මේ තීන්දුව දෙසට යොමු වී තිබීම ගැන පුදුම වියයුතු නැත.
වත්මන් ආණ්ඩුවේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යූ.එන්.පී.යේද නායකයාය. ඔහුට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ එක් ආසනයක් පමණි. පාර්ලිමේන්තුවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) 2020 මැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න බලයක් ලැබුණි. පසුව එකතු කරගත් මන්ත්‍රීවරුන් සමඟ පහසුවෙන්ම පොහොට්ටුවේ ආණ්ඩුව තුනෙන් දෙකක් හදාගත්තේය. කොටින්ම ප්‍රධාන විපක්ෂය වන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සජබ පක්ෂයේ අයිතිකාරිය වන ඩයනා ගමගේ මන්ත්‍රීවරියද ආණ්ඩුවට එක්වී පසුව රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද ලබාගත්තාය. මේ විදියට පක්ෂ මාරුකිරීම දේශපාලන සදාචාරය පිළිබඳ ගැටලුවක් ඇතිකළත් මේ රට තුළ බලය හමුවේ ඒ සදාචාරාත්මක බවට ලැබෙන ලකුණු ප්‍රමාණය බින්දුවකි.
කෙසේ වුවද ආණ්ඩුවට සන්ධානගතව සිටින පක්ෂවල සාමාජිකයන් සම්බන්ධයෙන් මේ ගැටලුව තදින්ම බලපෑමක් කරන්නේ නැත. ආණ්ඩුවට එක්වීමේදී ගිවිසුම් ගතවන ආකාරය අනුව ආණ්ඩුවෙන් ඉවත් වූ පමණින් ඒ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂයේ නඩු පැවරීම සංකීර්ණ කාර්යයක් වන බැවිනි.
නසීර් අහමඩ්ගේ නඩු තීන්දුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ ව්‍යවස්ථාවේ පවතින අනම්‍ය ස්වභාවය පෙන්නුම් කරන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වෙයි. පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබාදුන් මුස්ලිම් කොංග්‍රස් ඡන්ද දායකයන්ට එරෙහිව පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව ගනු ලැබූ තීන්දුවක් හැටියට නසීර් අහමඩ් ආණ්ඩුවට එකතු වී අමාත්‍ය ධුරයක් ලබාගැනීම පක්ෂය විසින් සලකනු ලැබ ඇති බව පෙනී යයි. ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකර ඍජු තීන්දුවක් ගෙන නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපනු ලැබූ අතර නසීර් උසාවි ගියේ එම තීන්දුවට එරෙහිවය. නමුත් උසාවිය තීන්දු කර තිබුණේ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීම නීත්‍යානුකූල බවය. එතැනින් එහාට නසීර් අහමඩ්ට කළ හැකි කිසිවක් නැත. පැය කිහිපයකදී ඔහුට මන්ත්‍රී ධුරය පමණක් නොව අමාත්‍ය ධුරයද අහිමි විය. ඔහු වෙනුවට පාර්ලිමේන්තුවට පැමිණි සහීර් මව්ලානා මන්ත්‍රීවරයාටද මොනම හේතුවකටවත් දැන් ආණ්ඩුවට එකතු විය නොහැක. එහි තේරුම ආණ්ඩුවේ බහුතරයෙන් තවත් එක් මන්ත්‍රීවරයෙක් අඩුවන බවය.
මුස්ලිම් කොංගස්‍රය ඒ ආකාරයට පක්ෂයේ විනය පරීක්ෂණ සම්බන්ධ යාන්ත්‍රණය තදින්ම ක්‍රියාත්මක කළත් සෙසු ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවකටම එහෙම කටයුතු කරන්න හැකියාවක් නැති බව පෙනෙන්නට තිබේ. ඒකට හොඳම උදාහරණය ශ්‍රීලනිපය තුළ ඇති වී තිබෙන තත්ත්වයයි. පක්ෂයේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධුර ලබාගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම සීමාවූයේ කතාවට පමණි. ඕනෑම දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරුන් පත් කිරීම ඇතුළු සියලු කටයුතු සඳහා බලය ඇත්තේ පක්ෂයේ මහ ලේකම්වරයා වෙතය. මැතිවරණ දෙපාර්තමේන්තුව පිළිගන්නේ පක්ෂයක ලේකම්වරයා යොමුකරන ලිපි පමණි. නමුත් අවසානයේ ශ්‍රීලනිපයේ සිදුවුණේ විනය පරීක්ෂණවලට ලක්විය යුතු බවට චෝදනා ලැබූ අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රී පිරිසට පක්ෂයේ කටයුතුවලට සහභාගි වීමට දොර හැරීමත් ඒ ගැන කටයුතු කිරීමට නීත්‍යානුකූල අයිතිය තිබූ පක්ෂයේ මහලේකම්වරයා පක්ෂ තහනමට ලක්වීමත්ය. මේ රටේ දේශපාලනයේ හැටි එහෙමය.
පක්ෂ මාරු දේශපාලනය ඇරඹුණේ ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවත් සමඟිනි. මේ රටේ ඡන්දදායකයන් පක්ෂ මාරුවට දැඩිව විරෝධය පළකළත් පක්ෂ මාරු කිරීම නවතින්නේ නැත. මේ බව ඉතිහාසය විසින් පෙන්වා දී තිබේ. පක්ෂ මාරුවක් හේතුවෙන් මුලින්ම උසාවියට යාමට සිදුවූ පක්ෂයද ශ්‍රීලනිපය වීමත් ඓතිහාසික සිද්ධියකි. එහිදී නඩුවට පැටලුණේ ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂය මාරු කළ තිලක් කරුණාරත්න මන්ත්‍රීවරයාත් පක්ෂ සභාපතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත්ය. කෙසේ වුවද නඩුවෙන් තීන්දු වුණේ එම පක්ෂ මාරුව හේතුවෙන් තිලක් කරුණාරත්නගේ මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවය. එම ක්‍රියාදාමයට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම හරිහැටි නොසිදු වී තිබීම හේතුවෙන් තිලක්ගේ මන්ත්‍රීධුරය රැකුණි.
ඊට පස්සේ ජේ.ආර්.ගේ කාලයේ පටන් පක්ෂ මාරු සිදුවූ අතර ඒ අතර අවස්ථා දෙකකදී මුළු රටේම මහත් ආන්දෝලනයකට ලක්වූ පක්ෂවලින් මන්ත්‍රීවරුන් නෙරපීමේ සිදුවීම් දෙකක් සිදුවිය. ඒ දෙකටම මැදිවූයේ යූ.එන්.පී. එකය. එයින් පළමුවැන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පක්ෂ නායකත්වය දැරූ අවධියේ සිදුවිය. අනෙක් අවස්ථාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා වී සිටියදීය.
මේ අවස්ථා දෙකෙන් ප්‍රේමදාස ජනාධිපතිගේ කාලසීමාව තුළදී සිදුවූ මන්ත්‍රීවරුන් නෙරපීම සිදුවූයේ පක්ෂ මාරු කිරීමක් නිසා නොව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සිද්ධියයි. 1989 වසරේ පැවැති මහමැතිවරණයේ යූ.එන්.පී. පිහිටු වූ ආණ්ඩුවේ ලලිත් ඇතුළත්මුදලි කෘෂිකර්ම, ආහාර සහ සමුපකාර අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබුවේය. ප්‍රේමදාස ජනාධිපති කිරීමට විශාල භීෂණයක් මැද රටපුරා ඇවිදගොස් අග්‍රාමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් සිටි ලලිත්ට මෙය දරාගැනීම අසීරු විය. එය ඔහුගේ දේශපාලන දිවියේ ''ඩිමෝෂන්'' එකක් වූ බව එවකට ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබුණි. ඔහු සමඟ එක්වූ අනෙක් ප්‍රබල අමාත්‍යවරයා වූයේ ගාමිණී දිසානායකයි. ඔහු තුළද අගමැති සිහිනය තිබිණි. ඔහුද ප්‍රේමදාසගේ වේදිකාවේ ප්‍රධාන චරිතයක් විය. කනස්සල්ලෙන් සිටි ගාමිණීද ලලිත්ට එකතු විය.
1991 වසරේදී කැබිනට් සංශෝධනයක් සිදුකෙරුණු අතර එහිදී ලලිත්ගේ අමාත්‍ය ධුරය අධ්‍යාපනයට පමණක් සීමා කෙරුණි. ඔහු 1991 සැප්තැම්බරයේදී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ වනවිට ගාමිණී දිසානායක ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රී පිරිස එකතු කරගෙන දෝෂාභියෝගයක් ප්‍රේමදාස ජනාධිපතිට එරෙහිව ගෙන ඒමට කටයුතු කෙරෙමින් තිබිණි. එම දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එවකට සිටි කාථානායක එම්.එච්. මොහොමඩ් එම දෝෂාභියෝගය පිළිගනු ලැබීම රටේ දේශපාලන ක්ෂෙත්‍රයම උඩු යටිකුරු කළේය. කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අත්සන් තබා ඇති හෙයින් එම දෝෂාභියෝගය භාරගන්නා බවය.
එහෙත් ජනාධිපති ප්‍රේමදාස කිව්වේ තමා දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වී සිටින්නෙක් බැවින් එයට මුහුණදෙන බවය. කිව්වා වගේම ලොකු ගේමක් ගැසූ ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී ඇතුළු අටදෙනෙකු කොන්කර දමා සෙසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන දෝෂාභියෝගය ජය ගත්තේය. දෝෂාභියෝගයට අත්සන් තබා ප්‍රේමදාසට ඉල්ලා අස්වෙන්නැයි කියූ මන්ත්‍රී පිරිසම ප්‍රේමදාසට සහාය පළකර යෝජනාවක් සම්මත කළේය. ප්‍රේමදාසගේ ජනාධිපති ධුරයත් යූ.එන්.පී. ආණ්ඩුවත් දෙකම ඒකෙන් බේරුණේය.
ප්‍රතිඵලය වුණේ ලලිත් ගාමිණී ඇතුළු 8 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීමය. ඒ සඳහා ඉක්මණින්ම විනය පරීක්ෂණයක් සිදුකර පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව විනය කඩ කිරීමට ක්‍රියාකිරීමත් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමත් ලලිත්ලාට එල්ල වූ චෝදනා අතර විය.
තමන් පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීමට විරුද්ධව ලලිත්ලා උසාවි ගියහ. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම උසාවියේදී ප්‍රතික්ෂේප විය. පක්ෂ විනය කඩ කිරීම හේතුවෙන් ඔවුන් පක්ෂයෙන් නෙරපීම නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 1991 ඔක්තෝබර් මාසයේ 07 වැනිදා ලැබුණු මේ නඩු තීන්දුව හේතුවෙන් ලලිත් ගාමිණී ඇතුළු මන්ත්‍රීන් 08 දෙනෙකුට මන්ත්‍රී ධුර අහිමි විය.
මෙසේ මන්ත්‍රී ධුර අහිමි වූ ලලිත්ලා නිකම් පාරට වැටුණේ නැත. ඔවුන් එකතු වී ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ (DUNF) නමින් පක්ෂයක් පිහිටුවා ගත්හ. ඒ පක්ෂයෙන් පළාත් සභා ඡන්දයක්ද තරග කළේය. නමුත් ඉන්පසුව 1993දී ලලිත් පමණක් නොව ප්‍රේමදාසද දින 07ක් ඇතුළත ඝාතනය වූහ. ඊටපසු වසරේදී ගාමිණීද ඝාතනය විය. ඔවුන්ට එරෙහිව ලැබුණ නඩු තීන්දුව හේතුවෙන් ඇත්තටම සිදුවූයේ මහ මෙරක් මෙන් නොසෙල් වී තිබූ යූ.එන්.පී.ය දෙකට බෙදීමය. ඊටපස්සේ කවදාවත් යූ.එන්.පී.යට තනිවම ඡන්දයක් දිනාගත නොහැකි විය. හැමදාම ආණ්ඩු පිහිටෙව්වේත් විපක්ෂයට ගියේත් සන්ධානයක් හැටියටය.
2007 වසරේදී යූ.එන්.පී.යේ මන්ත්‍රීවරු 18 දෙනෙක් පක්ෂය මාරුකරමින් මහින්ද රාජපක්ෂ රජයට එකතු වූහ. ''යුද්ධය ජයගැනීම සඳහා ජනාධිපති මහින්දගේ දෑත ශක්තිමත් කිරීම'' යන්න එම පක්ෂ මාරුවේ තේමාව වී තිබුණි. ඊට කලින්ම රෝහිත බෝගොල්ලාගම පක්ෂය මාරුකර මහින්දට එකතු වී සිටියේය. මේ සියලු දෙනාට එරෙහිව යූ.එන්.පී.ය විනය පරීක්ෂණ තබා පක්ෂයෙන් නෙරපා දමනු ලැබීය. පක්ෂයකින් නෙරපා දැමීම සාධාරණ බව උසාවියේදී තීන්දු වුවහොත් මන්ත්‍රී ධුරය එසැණින් අවසන් වන නිසා පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන් එය කරන්නේ නීතියෙන් එල්ල විය හැකි සම්බාධක පිළිබඳ අවබෝධයකින් යුතුවය. කෙසේ හෝ තමන්ට රුකවරණයක් ලැබෙනු ඇති බවට පක්ෂය මාරුකළ මන්ත්‍රීන් තුළ විශ්වාසයක් පවතී. යූ.එන්.පී. මන්ත්‍රීන් 18 දෙනාගේ පක්ෂමාරුවද සිදුවූයේ ඒ විශ්වාසය ඇතිව විය යුතුය. මේ මන්ත්‍රීලා ආණ්ඩුවට එකතු වූවා පමණක් නොව සමහරුන්ට අමාත්‍ය ධුරද හිමි විය.
2007 ජනවාරි මාසයේ අගදී සිදුවූ මෙම පක්ෂ මාරුවට යූ.එන්.පී. නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු එම පක්ෂ මන්ත්‍රී පිරිසක්ද මුස්ලිම් කොංග්‍රස් නායක හකීම් ඇතුළු එම පක්ෂ මන්ත්‍රීන් 05 දෙනෙක්ද සම්බන්ධ වූහ. මේ දෙදෙනාම කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් පත්කරනු ලැබූ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මිලින්ද මොරගොඩද අමාත්‍ය ධුර ලැබූහ. ඒ අවස්ථාවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 52ක් දක්වා වැඩි විය. නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ද සමඟ ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගියේය. පක්ෂ මාරු කිරීමෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ඡන්දය දුන් ජනතාවටද නැත්නම් ඡන්දය ලබාගත් කිහිපදෙනෙකුටද යන්න මෙයින් පැහැදිලි වෙයි.
ඔවුන්ට ඇමැති ධුර හිමිවුණත් යූ.එන්.පී.යේ නෙරපා හරිනු ලැබූවත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි කෙරුණේ නැත. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවති නඩු විභාගයේදී මන්ත්‍රීවරුන්හට සිය හෘදය සාක්ෂිය අනුව කටයුතු කිරීමේ නිදහස තිබිය යුතු බවට එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විසින් මතයක් ඉදිරිපත් කර තිබිණි.
කෙසේ වුවද 2005 දී රෝහිත බෝගොල්ලාගම මන්ත්‍රීවරයා මහින්දලාගේ රජයට එක්වූ අවස්ථාවේ ඔහු යූ.එන්.පී.යෙන් නෙරපා හරිනු ලැබූ අවස්ථාවේදී ලබාදුන් නඩු තීන්දුවක්ද පක්ෂමාරු දේශපාලනයේ වැදගත් තීන්දුවක් වී තිබිණි. එහිදී තමන් පක්ෂයේ නෙරපීමට එහෙරිව නඩු පැවරු රෝහිත බෝගොල්ලාගමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවෙන් කියා තිබුණේ ඔහු පක්ෂයෙන් නෙරපීම නීති විරෝධී සහ බලරහිත බවය. මේ හේතුවෙන් 2013 වසරේදී යූ.එන්.පී. ටිකට් එකෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රී පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පක්ෂයෙන් නෙරපීමේ වෑයමටද බාධා එල්ල විය. ඒ අවස්ථාවේ පක්ෂය මාරුකර රාජපක්ෂ ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන් 16 දෙනා අතරේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් ද සිටියේය. ඔවුන් ආණ්ඩුව සමඟ එක්වී ඒ ආණ්ඩුව ගෙන ආ අගවිනිසුරු ඉවත් කිරීමේ යෝජනාවට ඡන්දය ලබාදී තිබුණේ යූ.එන්.පී. පක්ෂ තීරණයට එරෙහිව යමිනි.
මේ නඩු තීන්දුවලින් පසුව බොහොමයක් ප්‍රධාන පක්ෂවල ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙන්නට ඇත. හෘද සාක්ෂියකට අනුව කටයුතු කිරීමට වඩා පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම අවශ්‍ය බව ඍජුවම ඒවායේ සඳහන් කර නැත්නම් එය පුදුමයට හේතුවකි. එහෙත් පක්ෂයේ ඇතිකරගත් සම්මුතියකින් ආණ්ඩුව සමඟ සන්ධාන ගතවීමේ ගැටලුවක් එහිදී පැන නගින්නේ නැත. නසීර් අහමඩ්ට සිදුවූයේ ඔහු පක්ෂයේ ව්‍යවස්ථාවට වඩා තමන්ගේ හෘද සාක්ෂිය වඩා වැදගත් යැයි විශ්වාසය තැබීමය.
කොහොම වුණත් මේ නඩු තීන්දුව රටේ යම් පමණක තැතිගැන්මක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් තුළ ඇතිකර තිබීම ගැන පුදුම වෙන්නට හේතුවක් නැත. දැනට පාර්ලිමේන්තුවේ තමන් සිටින්නේ ආණ්ඩුවේද විපක්ෂයේද කියා හරියට සිතාගත නොහැකි මන්ත්‍රීන් පිරිසක්ද සිටින බව ඔවුන්ගේ කියුම් කෙරුම්වලින් පෙනී යයි. තමන්ට මින් ඉදිරියට එහෙම නිදහසේ කටයුතු කිරීමට හැකියාවක් නැති බව නසීර් අහමඩ් නඩු තීන්දුවෙන් පැහැදිලිව පෙන්වා දී තිබේ.
එළඹෙන්නේ මැතිවරණ වසරකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් වෙන බවක්ද ප්‍රකාශ වෙයි. මේ නිසා ආණ්ඩුවට වෙන කවදාටත් වඩා තුනෙන් දෙක හදාගැනීම වැදගත් වනු ඇත. නසීර් නඩු තීන්දුව එයට ඇතිකරන බලපෑම කොතරම්දැයි ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.
- ශශීන්ද්‍ර