2017 ජුනි 10 වන සෙනසුරාදා

විපතට පත් පාසල් දරුවෝ

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

අපේ රටේ පාසල් යන සහ නොයන දරුවන් පිළිබඳව හද කම්පා කරවන තොරතුරු ගණනාවක් පසුගිය දිනවල අනාවරණය විය. ඒ අතුරින් වඩාත්ම අප වේදනාවට පත් කළේ හදිසියේ ඇති වූ ආපදාව හේතුවෙන් පාසල් සිසු සිසුවියන් 44කගේ ජීවිත හානි සිදු වූ බවට හෙළි වූ තොරතුරය. හදිසි විපත මගින් ජීවිත 300කට එහා ජීවිත සංඛ්‍යාවක් බිලිගැනීම රටේ සියලු දෙනාම කම්පාවට පත් කළ බව සැබෑවකි. ඒ අතරේ සිසු දරුවන් 44ක්ද සිටි බව ඇසීම එම කම්පාව දෙගුණ තෙගුණ කරයි. එසේ මරණයට පත් සිසු දරුවන්ගේ මාපියන්ගෙන් පිරිසක්ද මියගොසිනි. එහෙත් ජීවතුන් අතර සිටින එවැනි දරුවන්ගේ මාපියන්ගේ හදවතට දැනෙන වේදනාවේ අපිද කොටස්කරැවන් වන්නෙමු. ඔවුන් මේ රටේ ජාතියේ දරැවෝය. ඒ මාපියන්ගේ වේදනාව අපගේද වේදනාවයි.

ඊළඟට අපගේ අවධානය යොමුවන්නේ ගංවතුර විපතින් තම ජීවිත රැකගත්, එහෙත් සියලු දේපොළ අහිමි වූ දරුපවුල්වල පාසල් යන වයසේ දරුවන් මුහුණපා සිටින තත්ත්වයයි. පාසල් දූ දරුවන්ගේ වටිනාම සම්පත තම තමන්ගේ පාඩම් පොත් සහ අභ්‍යාස පොත්පත්ය. පෑන, පැන්සල ඇතුළු පාසලේ ඉගෙනුම් උපකරණය. නිලඇඳුම් වතුරේ ගසාගෙන ගියත් වෙනත් ලැබෙන ඇඳුමක් හෝ ඇඳගෙන පාසල් යා හැකිය. එහෙත් පෑන, පැන්සල, පතපොත නැතුව කුමන පාසල් යාමක්ද? එසේනම් මේ මොහොතේ පාසල් දරුවන් වෙනුවෙන් ඉටුවිය යුතු ප්‍රධානම මෙහෙය වනුයේ ඔවුන්ට පොත්පත්, උපකරණ, සපත්තු, සෙරෙප්පු ලබාදීමය. උන්හිටිතැන් අහිමිව හැඬූ කඳුළින් දිවිගෙවන ඔවුන්ගේ මාපියන්ට පාසල් යන තම දූ දරුවන්ගේ එම අවශ්‍යතා සපුරා දීම සිහිනයක් පමණි. එසේනම් රජය මේ සඳහා ඍජුවම මැදිහත් වීම අවශ්‍යය.

ගංවතුර උවදුරේ බරපතළ තත්ත්වයත් ඒ හේතුවෙන් පාසල් පොත්පත් අහිමි වූ දහස් ගණනක් වන සිසු දරුවන්ගේ අවශ්‍යතා කෙරෙහිත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ක්ෂණික අවධානය යොමු වී තිබීම පැසසුම් කටයුතුය. ඒ මහතා පාසල් දරුවන්ට පොත්පත් සහ සෙසු උපකරණ ලබාදීමේ ක්ෂණික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා මුලදීම උපදෙස් ලබාදුන්නේය. එම උපකරණ එකතු කිරීමද ඇරැඹුණි. නමුත් අධ්‍යාපන ඇමැතිවරයාගේ මේ උවමනාව, අවශ්‍යතාව ඒ අයුරින් ක්‍රියාත්මකවීද? අපට ලැබෙන තොරතුරු හැටියට එය අසම්පූර්ණව, ගැටලු රාශියක් සමඟ ඉබිගමනේ ඉදිරියට ඇදෙන ව්‍යාපෘතියක මට්ටමට වැටී තිබේ. එහි අනිවාර්ය ප්‍රතිඵලය හැබෑවටම අසරණභාවයට පත් දරුවන් දහස් ගණනක් තවමත් පොත්පත් උපකරණ නොලැබූ තත්ත්වයක පසුවන බවය. ගංවතුරින් හානි වූ නගරාසන්න ප්‍රදේශවල මේ තත්ත්වය එසේම නොවන බව අපි දනිමු. එහෙත් වඩාත් අසරණව සිටින ඈත ගම්දනව්වල වෙසෙන සිසු දරුවෝ තවමත් තමන්ගේ පොත්පත් අව්වේ වේලති. කැඩී බිඳී ගිය උපකරණ එහෙන් මෙහෙන් අහුලා ගැනීමට උත්සාහ කරති. සපත්තු, සෙරෙප්පු නැතිව පාසල් යාමට වෙරදරති.

පාසල් දරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීමේ ව්‍යායාමය සැලකීමේදී ඒ වෙනුවෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති බව අපගේ හැඟීමය. අධ්‍යාපන ඇමැතිවරයා විසින් දක්වන ලද උවමනාව සහ උනන්දුව එම කටයුතු භාරව ක්‍රියා කරන ඇතැම් නිලධාරීන් අතින් ඉටුවීදැයි යන්න සැකසහිතය.

මෙවර ආපදාවේදීද අපේ රටට උදව් උපකාර විශාල ප්‍රමාණයක් විදේශාධාර වශයෙන්ද ලැබුණේය. ඒ අපේ රටේ දානපතින්ගේ පරිත්‍යාගවලට අමතරවය. ඒවා නිසි පරිදි කළමනාකරණය කරගැනීමෙන් බොහෝ ගැටලුවලට විසඳුම් සපයාගත හැකිය. ඒ තරමට ආධාර ලැබී තිබිණි. නමුත් අපේ රටේ පෙර අත්දැකීම් වලින් අපට පැවැසිය හැකි වන්නේ ආධාර කළමනාකරණය අතින් අප සෙසු බොහෝ රටවලට වඩා ඉතාම පහළ මට්ටමක සිටින බවය. සුනාමියේ සිටම මේ තත්ත්වය දැකගන්නට ලැබිණි. පසුගිය වසර කිහිපය තුළදී පිටපිටම සිදු වූ ස්වභාවික ආපදාවලදීද එම තත්ත්වයේ වෙනසක් නොවීය. පසුගිය වසරේ කැලණි මිටියාවතේ ගංවතුර ආපදාවේදී ලැබුණු ඇතැම් ආධාර සමහර ආයතනවල තවමත් ගොඩගැසූ ගමන් තිබෙන බව අපට දැනගන්නට ලැබිණි. ආපදා කළමනාකරණයේ කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබෙන බවට එය එක් උදාහරණයක් පමණි.

මෙවරද පාසල් දරුවන් සඳහා විවිධ සංවිධාන, ආයතන සහ ඇතැම් දෙනා පෞද්ගලික මට්ටමින් පොත්පත්, උපකරණ, සපත්තු එකතු කර තිබිණි. අවශ්‍ය පිරිසට බෙදාහැරීම සඳහා අදාළ ආයතන වෙත ඒ ඇතැම් ආධාර බාරදෙනු ලැබීය. ඒවා දරුවන් පිරිසක් අතට පත් වූ බවත් සැබෑවකි. එහෙත් මෙවැනි පොත් උපකරණ තවමත් විශාල මට්ටමකින් කොතැනකටවත් යොමුනොකර එකතු වූ තැන්වලට ගොඩගැසී තිබීම කනගාටුදායකය. ඒවා වහාම අවශ්‍ය දරුවන්ට යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක් කඩිනමින් සැකසීම අවශ්‍යය.

මීළඟට සිදු වූ හානිය හේතුවෙන් මානසික කඩාවැටීමකට ලක්ව සිටින දරුවන්ගේ මනස හැඩගැස්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍යය. ඒ පිළිබඳව ගුවන් විදුලි හා රුපවාහිනී නාලිකාවලින් කොතරම් කතා කළද ඒ මගින් දරුවන්ට ගත හැකි ප්‍රයෝජනයක් නැත. තමන් ජීවත් වූ ගෙවල් දොරවල් පවා අහිමි අවස්ථාවක රේඩියෝවත්, රූපවාහිනියත් ඇසීම නැරැඹීම ඔවුන්ට සිහිනයක් පමණි.

මෙරට පාසල් දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් හැදීම පමණක් ප්‍රමාණවත් නැත. ඒවායේ පසුවිපරමක් තිබීමත් අත්‍යාවශ්‍යය. නිලධාරීන් විසින් ලබාදෙන තොරතුරු සහ වාර්තා කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමෙන් වැළකී සැබෑ තත්ත්වය සොයාබැලීම අදාළ බලධාරීන්ගේ වගකීමය. පාසල් දරැවන්ගේ අවශ්‍යතා නිසි පරිදි ඉටුවනු ඇත්තේ එසේ වූවොත් පමණි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00