2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

පාලනයේ සහ මර්දනයේ වෙනස හඳුනාගත යුතුයි

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිත බව සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පෙත්සම් 45ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි. ඉන්පසුවද තවත් පෙත්සම් 05ක් ඉදිරිපත් විය. මේ පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියට අනුකූලව බවද සඳහන්ය. මේ පෙත්සම් පිළිබඳ විභාගට දින නියම කිරීම ඉදිරි දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිදුකෙරෙනු ඇත.

ආණ්ඩුව මගින් හඳුන්වාදීමට නියමිත පනත් කෙටුම්පතකට එරෙහිව මේ තරම් පෙත්සම් සංඛ්‍යාවක් උසාවිය හමුවේ ගොනු කෙරුණු අවස්ථාවක් මෑත කාලයේදී වාර්තා නොවීය. ඒ අනුව මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රජය මගින් සකස් කර ඇති පනත් කෙටුම්පතට රටේ පවතින විවිධ බලපෑම් කණ්ඩායම් සියල්ලන්ගේම නැතහොත් අති බහුතරයකගේ විරෝධය පළ වී තිබෙන බව පැහැදිලිය. සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතකට විරෝධය පළකරමින් උසාවියට නොයන කණ්ඩායම් පවා මේ අතර සිටින බව කතෝලික රදගුරු සමුළුව ඉදිරිපත් කර ඇති පෙත්සම මගින් පැහැදිලි වෙයි. ඒ අනුව පෙනී යන්නේ මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිත බව යනු දේශපාලන ප්‍රශ්නයක් පමණක් නොවන බවය. එය ඉන් එහා රට තුළ පුළුල් පරාසයක් තුළ විහිදුණු විරෝධයක් බවට එය පත්ව තිබේ.

මෙවැනි පනතක් ගෙන ඒමට මූලාශ්‍ර සැපයෙන්නේද මාර්ගගත ක්‍රමවේද භාවිතයට ගන්නා විවිධ පාර්ශ්වකරුවන් විසින් කරන ලදැයි කියන වැරදි හේතුවෙන් බව හඳුනාගත හැකිය. ඒවා වැරදි වශයෙන් හඳුන්වන්නේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් විසින් බවද කැපී පෙනෙයි. විපක්ෂයේ දේශපාලනඥයන් මේ කෙටුම්පත දකින්නේ මෙරට මාධ්‍ය නිදහසටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියටත් වැට බඳින උත්සාහයක් වශයෙනි. එම පනතේ අඩංගු ඇතැම් වගන්ති ඒ අදහස කුළුගන්වන බව පෙන්වා දී තිබේ. කොටින්ම ආණ්ඩුවේ හෝ වෙනත් බලාධිකාරියක් හෝ අකැමැති ඕනෑම සිද්ධියක් වාර්තා කිරීම හෝ ඒ ගැන අදහස් දැක්වීම හෝ මාර්ගගතව සිදුකිරීම &අසත්‍ය ප්‍රකාශනයක්* හෝ &වෛරී ප්‍රකාශයක්* වශයෙන් අර්ථගැන්විය හැකිය. එම වරද චූදිතයාට සිරදඬුවම් ලබාදීමට පවා හේතු වෙයි. මෙය අදහස් ප්‍රකාශනයේ, මාධ්‍ය නිදහසේ පමණක් නොව මානව හිමිකම්වලට පවා එල්ල කරන්නේ බරපතළ අභියෝගයකි. විශේෂයෙන් දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ මත දරන්නන් දඩයම් කිරීමට ඕනෑම ආණ්ඩුවකට මේ හරහා ලබාදෙන්නේ අසීමිත බලයකි.

මාර්ගගත ක්‍රමවේද සඳහා කිසිදු නියාමනයක් නොතිබිය යුතු යැයි අපි අදහස් නොකරමු. නමුත් එවැනි නියාමනයක් සඳහා යොදවා ගත හැකි නීති අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටත් පවතී. එය ප්‍රමාණවත් නොමැති නම් මෙවැනි පනතක් සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමවේද භාවිතයට ගන්නා පාර්ශ්ව ඇතුළු සෙසු අදාළ පාර්ශ්වවලින් අදහස් ලබාගත යුතුව තිබිණි. මෙහි එන වගන්ති සෙසු මාධ්‍ය දණ ගැස්සීමට පවා යොදවා ගත හැකිවීම පමණක් නොව අදහස් ප්‍රකාශනයට සහ මානව හිමිකම් රැක ගැනීමටත් බලපාන බැවින් නීති අංශවලින් පවා මේ පනත සකස් කිරීමේදී අදහස් ලබාගත යුතුව තිබූ බව අපගේ වැටහීමයි. සියලුම ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන තමන්ගේ මුද්‍රිත ප්‍රකාශන හා සමගාමීව මාර්ගගත ප්‍රකාශනද පවත්වාගෙන යන බැවින් මේ පනත හරහා සියලුම මාධ්‍ය පාලනයට අතගැසීමට ආණ්ඩුවට අවස්ථාවක් ලබාදෙන බවද පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකාව තුළ ඇතැම් නීති ක්‍රියාත්මක වීමේදී දේශපාලකයන්ට අවශ්‍ය පරිදි එම නීති නැවෙන සහ නවන අවස්ථා පවතින බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. බොහෝවිට නීතිය අවභාවිතයට ගනු ලබන්නේ බලයේ සිටින දේශපාලනඥයන් විසිනි. ඒ අර්ථයෙන් ගත්කළ මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය ඉදිරියට දමා දේශපාලන අධිකාරියට සහ පොලීසියට ඕනෑ ආකාරයට මාධ්‍ය සහ අදහස් ප්‍රකාශනය හසුරුවා ගැනීමටද හැකියාවක් තිබේ. තමන්ගේ ප්‍රතිවාදීන්ට එරෙහිව &අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ* චෝදනාව දමා ඔවුන් සිරගත කිරීම පවා සිදුකිරීමේ අවදානමක්ද තිබේ. මේ පනත ඉදිරිපත් කරන්නේ මහජනතාවගේ අයිතිය ආරක්ෂා කරදීමට බව ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළත් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පෙන්වා දෙන්නේ එය ජනතාව ආරක්ෂා කිරීමක් නොව ජනතාවගේ අදහස් මර්දනය කිරීමක් බවය.

ශ්‍රී ලංකාවේ පවතින මාර්ගගත ක්‍රම නියාමනය සඳහා ක්‍රමවේදයක් අවශ්‍ය නම් එය සිදුකළ යුත්තේ වැරදි කරන දූෂිත දේශපාලකයන් ඇතුළු බලධාරීන් ආරක්ෂා කරන සහ එම වැරදි පෙන්වා දීම &වෛරී ප්‍රකාශන හෝ අසත්‍ය ප්‍රකාශ* වශයෙන් අර්ථ ගන්වන ආකාරයට නොවන බව සඳහන් කරමු. එය සියලු පාර්ශ්වල එකඟත්වයෙන් සියලුදෙනාම පිළිගත හැකි ආකාරයේ පනත් කෙටුම්පතක් වීම අවශ්‍යය.

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00