දැනට අවුරුදු කීපයකට පෙර මම එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ චීනයට ගියෙමි. ඇමතිවරු කණ්ඩායමක්ම එම නිල සංචාරයට සහභාගී වූහ. ඔවුන් අතර දිනේෂ් ගුණවර්ධන හා කුමාර වෙල්ගමද වූහ. චීන ජනාධිපති හා අගමැති හමු වූ අයට බීජිංහි පිහිටා ඇති ජනාධිපති මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. ඉහළම මට්ටමේ උත්සවයක් වූ මේ භෝජන සංග්‍රහයට චීන ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් හා කොමියුනිස්ට් පක්ෂයේ උසස් නිලධාරීන්ද පැමිණ සිටියහ. එහිදී චීන හා ලාංකික ඇමැතිවරුන්ට එකිනෙකා අසලින් අසුන් සකසා තිබුණි. මගේ දකුණු පසින් හිදගෙන සිටියේ චීනයේ එවකට විදේශ ඇමැතිය. ඔහු භාෂා කිහිපයක් ම දැන සිටි අතර ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීය. කෑම කන ගමන් අප සතුටු සාමිච්චියේ යෙදුණු අතර ඔහු මට වැදගත් කරුණක් අනාවරණය කළේය. ඉතාම ප්‍රියජනක පුද්ගලයකු වූ ඔහු සිනාසෙමින් මගෙන් විචාළේ තමන් විදේශ කටයුතු ගැන උනන්දුවක් දැක්වීමට හේතුව කුමක් දැයි මට කිව හැකිද යන්නයි. එම ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ මා කීවේ ඒ ගැන මගේ දැනුම මඳ බවයි.
විදේශ ඇමැතිවරයා පිළිතුරු දුන්නේ එම හේතුව “මැඩම් බණ්ඩාරනායක” බවයි. මගේ කුතුහලය ඇවිස්සුණු නිසා මම ඔහුට ඒ ගැන තව විස්තර දන්වන මෙන් කීවෙමි. ඔහු කීවේ රසවත් කථාවකි. ඉන්දු - චීන මතභේදයක් ඇවිලී ගිය අවස්ථාවක එම ගැටුම සමනය කර ගැනීමට ලංකා අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක දූත මෙහෙවරක යෙදිය යුතුයැයි නොබැඳි රටවල් තීරණය කළහ. එම තීරණයට හේතුව වුණේ මැතිනිය ඉන්දීය අගමැති ජවහර්ලාර් නේරු මෙන්ම චීන අගමැති චු එන් ලායිගේද සිත් දිනාගෙන සිටීමයි. ඊට ප්‍රථම එම රටවල්වල මැතිනිය සංචාරය කර තිබූ අතර එම නායකයෝ ඇගේ ප්‍රිය මනාප බව ගැනත් විශ්වසනීය බව ගැනත් පැහැදී සිටියහ. ඇයගේ මැදිහත්වීම පිළිගැනීමට තමන් කැමතිබව ඔවුහු දන්වා සිටියහ.
විදේශ ඇමැතිතුමාගේ කථාව උච්චස්ථානයට එන්නේ මේ පසුබිමෙනි. ඔහු එකල පාසල් සිසුවෙකි. ගුවන් යානයෙන් පැමිණි මැතිනිය පිළිගැනීමට බීජිං නගරයේ සිසුන් ගුවන් තොටුපොළ සිට හෝටලය දක්වා පාර දෙපස පේළි ගන්වන ලදී.
එම දරුවන් අතට කොඩි දෙකක් දෙනු ලැබූ අතර මැතිනියගේ රථය ඔවුන් පසු කර යන අතර ජය ඝෝෂා නඟමින් එම කොඩි වනන ලෙස ඔවුනට උපදෙස් දී තිබුණි. ඒ කොඩි දෙක ශ්‍රී ලංකා හා චීන ධජයන්ය. මා මිත්‍ර චීන විදේශ ඇමතිවරයාද කුඩා සිසුවෙක් වශයෙන් මහ පාරේ කොඩි වනමින් සිටි කෙනකි. ඔහු කොඩි වනමින් ජය ඝෝෂා නැගුවා පමණක් නොව මැතිණිය දරුවන්ට සෙනෙහෙබරව අතවනාගෙන ගිය බව ඔහුගේ සිතෙහි ධාරණය විය. ඉන්පසුව ඔහු විදේශ භාෂා ඉගෙනීමටද විදේශ කටයුතු පිළිබඳ උනන්දුවීමටද පෙළඹුණු බව මට කීවේය.
මැතිනිය එම දූත ගමන ගියේ දැනටත් ප්‍රශ්නයක්ව තිබෙන ඉන්දු - චීන මායිම් ප්‍රශ්නය සාමකාමීව විසදීමටයි. ඇගේ මැදිහත්වීම නිසා චීන රජය අඩියක් පස්සට ගත්තේය. එහෙත් මේ අර්බුදය නිසා පීඩාවට පත්වූ නේරු ටික කලකින් හෘදරෝගයට ලක්විය. ඔහුගේ හතුරු බලවේග දිනෙන් දින බලවත් වූ අතර ආරක්ෂක කටයුතු භාරව සිටි ඔහුගේ කල්‍යාණ මිතුරා වූ ක්‍රිෂ්ණ මෙනන් තනතුරෙන් පහකිරීමටද සිදුවිය. ඉන් ටික කලකට පසු නේරු අකාලයේ මිය ගියේය. ඒත් සමඟ එතෙක් චීනයත් සමඟ පැවති සහෝදරත්වය තරමක් දුරට පලුදුවිය. එපමණක් නොව ඉන්දියාවේ විරුද්ධවාදියා වශයෙන් සලකන ලද පාකිස්ථානය චීනයට වඩාත් ළංවීය. එයට උපාය මාර්ගය සකස් කළේ ශූර බුද්ධිමතෙක් වශයෙන් සලකන ලද පාකිස්ථානයේ අගමැති සුල්ෆිකර් අලි බූටෝය. බූටෝගේ සංකල්පය අනුව පකිස්ථානය, අමෙරිකාව හා චීනය බලවත් ඉන්දියාව මෙල්ල කරන ආරක්ෂක සන්ධානයකට යෑම අවශ්‍ය විය. එයට හේතුව එකල ඉන්දියාව අමෙරිකාවේ කඳවුරේ සිටි ඒකාධිපති හා අධිරාජ්‍ය ගැති රටවල්වලට නොබැඳි ජාතීන්ගේ සමුළුව හරහා පහර ගැසීමයි. මේ ප්‍රවනතාවය නියෝජනය කළේ වාමාංශිකයකු හැටියට සළකන ලද ක්‍රිෂ්ණ මෙනන්ය. අර්බුදය ඉදිරියේ ඉන්දියාවට තම නොබැඳි ප්‍රතිපත්ති මොහොතකට අමතක කර අමෙරිකාවට ලංවීමට සිදු විය. එකල අමෙරිකාවේ ඉන්දියානු තානාපති ලෙස කටයුතු කළ ගල්බ්‍රේත් නැමැති ලෝක පූජිත අර්ථ ශාස්ත්‍රඥයා නේරු හා ජනාධිපති කෙනඩි අතර මිත්‍රත්වය තහවුරු කර චීනයට එරෙහිව සන්නද්ධ වීමට යුද උපකරණ පවා ඉන්දියානු ආරක්‍ෂක හමුදාවන්ට ලබාදුන්නේ ය. ඉන් පසුව ජනාධිපති නික්සන්ද එම ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කළේය.
එසේ වුවද, දැන් චීනය හා ඉන්දියාව එකිනෙකට හතුරන් වීමේ ආදීනව ගැන විමසිල්ලෙන් සිටී. ඔවුන්ගේ වුවමනාවන් අත්නොහරින අතර පොදු ප්‍රශ්නවලට මුහුණදීම මත එකඟතාවයකට එළඹිය නොහැකිද? මෙය අගමැති මෝදි මුහුණ දෙන ප්‍රශ්නයයි.
දැන් ඉන්දියාව සිටින්නේ චීනයේ වටිනාම නායකයා වූ ඩෙං ෂියාවෝ පිං එකල සිටි තැනයි. එනම්, හුදෙක්ම දේශීය ආයෝජන තුළින් බිලියනයකට අධික ජනතාවකට සැපවත් ජීවිතයක් ලබා දීමට නොහැකි බවයි. ලංකාව මෙන් නොව ඉන්දියාවට හා චීනයට විශාල අභ්‍යන්තර වෙළඳපොළක් ඇත. භූගත හා වෙනත් සම්පත් ඇත. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ඔවුන් දියුණුය එසේ වුද ඒවා වැඩිදියුණු කිරීමට දේශීය වශයෙන් ධනය උපයා ගත නොහැකි විය. ඩෙං ෂියාවෝ පිං මේ ප්‍රශ්නයකට කෙළින්ම මුහුණ දුන්නේ ය. විදේශ ආයෝජනයට චීනය විවෘත කළේය. ඔහු යටතේ වූ පුදුම සහගත ආර්ථික වර්ධනය දේශීයත්වය මත ඇති කරන ලද්දක් නොවේ. එම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව ජාත්‍යන්තර වෙළෙඳපොළයි. නිදහස් වෙළෙඳාම නැමැති ලිබරල්වාදී දර්ශනය ප්‍රචලිත වූ දශක කිහිපය තුළ චීනය එයින් උපරිම ප්‍රයෝජනය ගත්තේ ය. එවැනිම යථාවාදීව ලෝකය දෙස බලන වියට්නාමයත් ඩෙන්ගේ මාවතේ යමින් තම රට විදේශ ආයෝජනයට විවර කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගෙන ඇත. මේ මාර්ගය දැන් තෝරාගෙන ඇත්තේ මියන්මාරය, කොරියාව, තායිලන්තය, මැලේෂියාව හා සිංගප්පූරුවයි.
දකුණු ආසියාවේ ඉන්දියාව, ලංකාව හා බංගලාදේශය මේ ආර්ථික ක්‍රියාමාර්ගය ගැනීමට “ආසයි - බයයි” පිළිවෙත අනුගමනය කරයි. ඊට හේතු දෙකක් තිබේ. එකක් එම රටවල්වල නායකත්වයේ බිය සුළුකමයි. අධිරාජ්‍ය යුගයේ නටඹුනක් වන රාජ්‍ය ආර්ථිකය හෙවත්, ලයිසන් රාජ්‍යය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට ශක්තියක් නැත. ඒ වෙනුවට ඉදිරියට ගන්නේ දූෂණය, පගාව හා අකාර්යක්‍ෂමතාවය මුල් කර ගන්නා රාජ්‍ය සංස්ථා ව්‍යුහයයි. අනෙක දැන් නිදහස් වෙළඳපොළට අමෙරිකාවෙන් හා යුරෝපයෙන් එල්ල වන අභියෝගයයි. එම අභියෝගය විශාල නිෂ්පාදන රටවල් බවට පත් වී ඇති චීනය හා ඉන්දියාවට ප්‍රශ්න ඇති කරයි.