චන්ද්‍රිකා ලංකාවේ ජනාධිපතිනිය වුණේ 1994 නොවැම්බර් 09 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේදී 62.3%ක ප්‍රතිශතයක් ලබමිනි. ඇයට පරාජය වුණේ ඒ වෙලාවේ යූ.එන්.පී. අපේක්ෂිකාව වූ ශ්‍රීමා දිසානායකයි. යූ.එන්.පී.යේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ. බෝම්බයකින් ඝාතනය වීම හේතුවෙන් ශ්‍රීමාට ජනාධිපති අපේක්ෂක ධුරය ලැබුණි. ඇය ලබාගත්තේ 35.9%ක ප්‍රතිශතයකි.
විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණවලදී ඊට කලින් ලබා තිබූ ප්‍රතිශත සියල්ලටම වඩා ඉහළ ජයක් ලබාගැනීමට චන්ද්‍රිකා සමත්වීම රටේ ලොකු කතිකාවකට හේතු විය. 1982 දී ජේ.ආර්. 51.9%ක් ලබා ගැනීමත් 1988දී ආර්. ප්‍රේමදාස 50.7%ක් ලබා ගැනීමත් යන අවස්ථා දෙකටම වඩා චන්ද්‍රිකා එහෙම ඡන්ද ලබාගත්තේ ඇය මෙහෙය වූ කැම්පේන් එක හේතුවෙනි. ජනාධිපතිවරණයට මාස 03කට පෙර තිබූ මහ මැතිවරණයද දිනුවේ චන්ද්‍රිකා නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණයි. ජනාධිපතිවරණය පැවැත්වුණේ ඔවුන්ගේ ආණ්ඩුවද පිහිටුවා තිබියදීය.
මේ ජයග්‍රහණ දෙක යූ.එන්.පී. ආණ්ඩු ඒ වනතෙක් ඇති කරගෙන තිබූ එකදිගට අවුරුදු 17ක් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ට්‍රෙන්ඩ් එක කඩා බිඳ දැමුවේය. ලංකාවේ දේශපාලන කරළියට හිටිඅඩියේ කඩාපාත් වූ චන්ද්‍රිකා වසරක කාලයක් තුළදී බස්නාහිර මහ ඇමැතිනිය වී අගමැතිනිය වී අවසානයේ ජනාධිපතිනියද වූවාය.
මේ රටේ දේශපාලන කරළිය තුළ යූ.එන්.පී.ය පතුරුවාගෙන තිබූ 17 වසරක් මැතිවරණ දිනාගැනීමේ ආධිපත්‍යය චන්ද්‍රිකා මාස ගණනකින් කඩා දැම්මේ කොහොමද? ඒ ගැන බොහෝ වාද විවාද තිබුණි. ඇයට තිබූ ආකර්ෂණීය ප්‍රතිරෑපය එක් ප්‍රසාද ලකුණකි. නමුත් ඊට වඩා තීරණාත්මක සාධකයක් තිබුණි. ඒ ඇය මංගලලාගේ අනුග්‍රහය ඇතිව දියත් කළ කැම්පේන් එකය. එහි සටන්පාඨ ජනතාවගේ මහත් ආකර්ෂණයට ලක්විය.
චන්ද්‍රිකා ඒ වෙලාවේ ඒ කැම්පේන් එකේ ලොකුම සටන්පාඨ හැටියට ගත්තේ දූෂණය, භීෂණය සහ ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාවයි. ඇය එක් පැත්තකින් ජේ.ආර්.ගේ ''බහුබූත ව්‍යවස්ථාවට'' පහර දෙන ගමන් ඒ ව්‍යවස්ථාවේම අනුහසින් රටේ බලවත්ම රාජ්‍ය නායිකාව බවට පත්වූවාය. ජනාධිපතිවරණය පුරාම ඇය කැම්පේන් කළේ තමන් බලයට පත්වී පැය විසිහතරෙන් රටට සාපයක් වූ ජේ.ආර්.ගේ ''බහුබූත ව්‍යවස්ථාව'' වෙනස් කරන බව කියමිනි. පැය 24න් එය වෙනස් කිරීම කෙසේ වෙතත් චන්ද්‍රිකා දෙවරක් ධුරය දරා විධායක ජනාධිපති ධුරයෙන් සමුගන්නා අවස්ථාව වනතෙක් රට පාලනය කළේ ජේ.ආර්.ගේ ''බහුබූත ව්‍යවස්ථාවේ'' අකුරක් හෝ වෙනස් කිරීමකින් තොරවය.
ඇයගේ ආණ්ඩුව කරගෙන යාමට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ අවසානයේ එම සහාය ලබාදිම අත්හිටුවීමට එක් ප්‍රධාන හේතුවක් වූයේද ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීමට අසමත් විමය. චන්ද්‍රිකාගේ කාලයේ වරක් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ගත් උත්සාහයක් වැළකී ගියේ එවකට විපක්ෂයේ සිටි යූ.එන්.පී.ය එම යෝජනාවට විරෝධය දැක්වීම හේතුවෙනි. එම විරෝධය එල්ල වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන විට බලයේ සිටින ජනාධිපතිනිය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු බවට වන වගන්තිය වෙනස් කළයුතු යැයි යූ.එන්.පී.ය කළ ඉල්ලීමට ආණ්ඩුව එකඟ නොවූ බැවිනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
ඊළඟට බලයට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂද යුද්ධය දිනාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥාවක් දුන්නේය. එහෙත් සිදුවුණේ තවත් සංශෝධනයක් ගෙන එමින් විධායක බලතල තවත් වැඩිකරගෙන එම ක්‍රමය දිගටම පවත්වාගෙන යාමය. වසර දෙකකට සීමාකර තිබූ ධුර කාල පිළිබඳ වගන්තිය පවා වෙනස් කිරීමය. ''බහුබූත ව්‍යවස්ථාව'' දිගටම ගියේය.
ඉන්පසුව පිහිටුවා ගත් සිරිසේන - වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ කතා කළා පමණි. හැබැයි එහි බලතල ගණනාවක් සීමා කිරීමටද ධුර කාලය වසර 06ක සිට 05 දක්වා අඩු කිරීමටද ඒ ආණ්ඩුව කටයුතු කළේය. එසේම ධුර කාල දෙකේ සීමාවද යළිත් ගෙනඒමට ක්‍රියා කළේය. වත්මන් ජනාධිපති රනිල්ද කොටස්කරුවකු වූ එම යහපාලන ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය ඇරඹීමෙන් පසුව එම ක්‍රමය වෙනස් කිරීමට කිසියම් හෝ පියවරක් ගත් ආණ්ඩුව වශයෙන් හැඳින්විණි. කොටින්ම තමන්ගේ බලතල වල තටු තමන්ම කපාගත් ජනාධිපතිවරයෙක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියට පත්විය. නමුත් විධායක ජනාධිපති ක්‍රමය දිගටම පැවතිණි. ඊටපසුව බලයට පත් ගෝඨාභය රාජපක්ෂද සිදුකළේ එම ක්‍රමය දිගටම පවත්වාගෙන යාමය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අහම්බෙන් රටේ විධායක ජනාධිපති වශයෙන් පත් වෙන්නේද එම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන යොදා ගනිමිනි. දැන් මේ පවතින ක්‍රමය වෙනස් කළ යුතු බවට යෝජනා ගෙන එන්නේද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුව මගින්ය.
සාමාන්‍යයෙන් විධායක ජනාධිපති ධුරය ''බහුබූතයක්'' හැටියට දකින්නේත් ඒක වෙනස් කර අලුත් වයවස්ථාවක් ගෙන ආ යුතු බවට යෝජනා ඉදිරිපත් කෙරෙන්නේත් ජාතික මැතිවරණයක් කිට්ටු වෙනවිටය. ඒ ගේම් එක හරියටම ගැහැව්වේ 1994 දී චන්ද්‍රිකාය. ඒ සටන් පාඨයෙන් බලයට ඇවිත් ඒ බලතල එහෙම තියාගෙන රට පාලනය කළාය. ඒක පහසුවෙන් කරගන්න පුළුවන් වුණේ ඒ කාලේ යුද්දෙ තිබුණ බැවිනි. මහින්ද යුද්ධය දිනුවාම කළේ බලතල වැඩිකර ගැනීමය. ඒ කාලේ ව්‍යවස්ථාවට වඩා යුද්ධය දිනාගැනීම ජනතාවට ලොකු වී තිබුණි. ඒ නිසා මහින්දට ගැටලුවක් වුණේත් නැත.
එහෙම වුණත් 2015 වනවිට මේ විධායක ජනාධිපති ක්‍රමය ජනතාවට එපා වෙමින් තිබුණි. මේ ක්‍රමය වෙන් කළ යුතු බවට රටට දැනෙන කැම්පේන් එකක් කළේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. විධායක ජනාධිපති ක්‍රමය බහුබූතයකට වඩා රටම විනාශ කළ රටම දූෂිත කළ මහා සාපයක් හැටියට සෝභිත හිමියෝ රටට කියූහ. යහපාලන ආණ්ඩුවකට පාර කැපුණේත් විධායක ජනාධිපති ක්‍රමයට රටපුරා නැගෙමින් තිබූ එම විරෝධය මතිනි. ඒ ආණ්ඩුව බිහිවුණත් ක්‍රමය වෙනස් නොවීය.
2019 වනවිට සිදුවූ පාස්කු ප්‍රහාරයේ බලපෑම අනෙක් සියලු සටන්පාඨ යටකර දැමුවේය. මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම එවර ජනාධිපතිවරණයට කිසිම බලපෑමක් ඇතිකළ සටන්පාඨයක් නොවීය. ඒ වෙලාවේ ලොකුම සාධකය ජාතික ආරක්ෂාව වී තිබූ බැවිනි.
මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට වන අදහසක් ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සෙසු දේශපාලන පක්ෂවල අදහස් විමසා බැලීමටද මේ දිනවල කටයුතු කරමින් සිටින්නේ මේ පසුබිමේය. ඔහුගේ මූලික අදහස බව පෙනී යන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර රට යළිත් පාර්ලිමේන්තුව ප්‍රමුඛ විධායක අගමැති ක්‍රමයකට ගෙන යා යුතු බවය. මේ අදහස මීට කලින්ද වරින්වර ඉදිරිපත් කෙරුණු අතර ඇතැම් දේශපාලන පක්ෂ මේ ගැන සුබවාදී ප්‍රතිචාරද දක්වා තිබුණි. නමුත් ගැටලුව ඇත්තේ මේ සඳහා තෝරාගෙන ඇති කාලසීමාවයි.
මේ වනවිට රටේ පැවැත්විය යුතු මැතිවරණ දෙකක් වන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ දෙකම කල් දමා තිබේ. සීමා නිර්ණය වැඩ කටයුතුවල අවසානයක් දකිනතුරු මේ මැතිවරණ පැවැත්විය නොහැක. ඊළඟට පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ ජනාධිපතිවරණයයි. ඊට පසු වසරේ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කතාව එළියට එන්නේ ඒ සමඟය.
සජබ සහ ජා.ජ.බ. මේ අවස්ථාවේ මැතිවරණ ක්‍රමය වෙනසකට යාම දැඩිව ප්‍රතික්ෂේප කරයි. ඔවුන් කියන්නේ ජනාධිපතිවරණය පවත්වා මැතිවරණ ක්‍රමය වෙනසකට ජනවරමක් ලබාගෙන මේ වැඩේ කරමු කියාය. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොහොට්ටුවට කියන්නේ දැන් මේ ගැන කතා කිරිමෙන් පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දමනු ඇති බවට ජනතාව තුළ සැකයක් මතුවන බවය. මේ අනුව පෙනෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනසකට පාර්ලිමේන්තුව ඇතුළේ තුනෙන් දෙකක සම්මතයක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවය.
විධායක ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීම මේ රටේ බොහොමයක් ඡන්දවලදී ''කෝකටත් තෛලයක්'' වශයෙන් යොදාගෙන ඇති බව පැහැදිලිය. මෙවර දකින්න තිබෙන වෙනස මැතිවරණයකට පෙර එය වෙනස් කිරිමට යෝජනා වී තිබීමය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මීට පෙර තිබූ සියලු අවස්ථා පැහැර හැර තිබෙන තත්ත්වයක් තුළ මෙවර දරණ උත්සාහය කෙරේ ජනතාව සැක පහළ කිරීම ගැන පුදුම විය යුතු නැත. ඊළඟ ජනාධිපතිවරණය කෙරෙන්නේත් විධායක ජනාධිපති ක්‍රමය යටතේම බව පෙනෙන්නට තිබෙන සත්‍යයයි.
I ශශීන්ද්‍ර