චන්දිම වීරක්කොඩි (පාර්ලිමේන්තු මන්ත්‍රී)
Qඉස්සෙල්ලම කියන්න ඔබ මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ මොන පැත්තද? ආණ්ඩු පැත්තද? විපක්ෂයේ පැත්තද?
ජනතාවගේ පැත්ත තමයි මම නියෝජනය කරන්නේ. ජනතාව ගියවර ලොකූ බලාපොරොත්තු තියාගෙන බලය ලබා දුන්නේ. ඒ අරමුණු වෙනකල් මම ජනතාවත් එක්ක ඉන්නේ.
Qගියවර බලය ලබාගත්තේ පොහොට්ටුව. ඒත් ජනතාවගේ බලාපොරොත්තු ගිලිහුණා. ඔබ හිතන්නේ පොහොට්ටුවේ අනාගතය මොන වගේ තැනකට පත්වෙයිද?
මේක ප්රජාතන්ත්රවාදී රටක්. 1931 ඉඳලා මේක ප්රජාතන්ත්රවාදය රැකපු රටක්. ප්රජාතන්ත්රවාදය බිඳවැටෙන හැම මොහොතකම ජනතාව මැදිහත් වෙලා ඒ ප්රජාතන්ත්රවාදය රුක්කා. 1993 පහුවෙද්දි, 2015 පහුවෙද්දි ජනතාවට ප්රජාතන්ත්රවාදය ගිලිහෙද්දි ලේ හලන්නේ නැතුව ඒක රුකගන්න ජනතාව මැදිහත් වුණා. ඉතින් ඒ නිසා වර්තමාන තරුණ පරපුර මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණයින් පස්සේ මේ රටේ දේශපාලන තීන්දු ගැනීමේදී සැලකිලිමත් වෙයි කියලා අපි හිතනවා. අපි දේශපාලනඥයන් හැටියට අපිට අදාළ වෙන්නේ පක්ෂයවත් පාටවත් නෙමෙයි, රටයි අදාළ. ඒ නිසා ඉදිරියේදි ජනතාව රට ගැන තීරණය කරලා හරි තීන්දුවක් ගනී. මොකද ජනතාව විශ්වාස කරලා බලය දීලා නරක ප්‍රතිඵල අත්වින්දා. ඒ නිසා ඉදිරියේ එහෙම නොවෙයි කියලා විශ්වාස කරනවා.
Qහිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ නඩු තීන්දුව එක්ක බොහෝ අය හිතනවා පක්ෂ අත ඇරපු අයට ගෙදර යන්න වෙයි කියලා. ඇත්තටම එහෙම වෙයිද?
එතුමා පක්ෂයෙන් ගියාම පක්ෂයේ තීන්දුව වෙනුවෙන් හේතු කියන්නේ නැතුව, ඒ වගේම ආණ්ඩුවට ගිහින් ඇමැතිකමක් ගැනීමත් එක්ක ඇතිවුණු තත්ත්වයක් මේක. ඒ නිසා හැම නඩුවම එකම කාරණයට බලපාන නඩු නෙවෙයි, නඩුවට බලපාන කරුණුත් සමඟයි නඩු තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි වරදාන වරප්‍රසාදවලට පක්ෂ මාරු කරන එකට තිත තබන්න ඕනෑ කියන අදහසේ තමයි ජනතාව ඉන්නේ. මගෙත් මතය ඒක.
Qඅපි දැක්කා එදා පාර්ලිමේන්තුවෙදි ඔබ ආරක්ෂක ලේකම්වරයත්, හමුදාපතිවරයත් විවේචනය කළා දැඩි ලෙස. මේ සම්බන්ධයෙන් ඔබ ජනාධිපතිවරයට පැමිණිලි කරලා තියෙනවද?
මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට වරප්‍රසාද තියෙනවා. දැන් බලන්න ඔබලා ගත්තම හැමදාම බණින්නේ මන්ත්‍රීවරුන්ට රාජ්‍ය දේපළ අවභාවිත කරනවා කියලා. එහෙම කවුරුත්ම කරන්නේ නෑ කියලා මම කියන්නේ නෑ. හැබැයි නොකරන අයත් ඉන්නවා. අපි මේ වෙලාවේ රටේ තත්ත්වය තේරුම් අරගෙන අනවශ්‍ය වියදම් කපා හරින්න ඕනෑ. රටට ආදරේ මිනිස්සු කරන්න ඕනෑ නාස්තිය දූෂණය වළකන එක. එහෙම නොවෙනවා නම් ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉඳලත් තියෙනවා. අපි තනතුරු දරපු මොහොතකවත් නිල බලයෙන් පිට දේවල් භාවිත කරලා නෑ. ඒ වෙනුවෙන් පෙනී ඉන්න මන්ත්‍රීවරු ආරක්ෂා කරන එක පාර්ලිමේන්තුවේ වගකීම. ඉතින් එවැනි මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද කඩවෙලා තියෙනවා නම්, වහාම වරප්‍රසාද කමිටුවෙන් පරීක්ෂණයක් කරලා, නීතිපතිවරයට දැනුම් දීලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන එක තමයි කරන්න ඕනෑ. එහෙම තියෙද්දි ඇයි මම කාටවත් පැමිණිලි කරන්නේ?
Qඔබට ඒ පැමිණිල්ලෙන් සාධාරණයක් සිද්ධ වුණාද?
මට කතානායකවරයට පැමිණිලි කරන්න අවශ්‍ය නෑ ආයේ. ඒත් නියෝජ්‍ය කතානායකවරයා මේ වෙද්දි වරප්‍රසාද කමිටුවට දන්වලා තියෙනවා. එතැනින් තමයි පියවර ගන්න ඕනෑ.
Qමේ වෙද්දි ජනාධිපති අපේක්ෂකයෝ රුසක් තරග බිමට එන්න ඉන්නේ. ඔබ හිතන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මොන වගේ කෙනෙක් වෙන්න ඕනෙද?
හොර දූෂණ නැති කෙනෙක් වෙන්න ඕනෑ. රටේ ආර්ථිකය ගැන, ලෝක ආර්ථිකය ගැන අවබෝධයක් තියෙන, ආර්ථික ගැටලුව විසඳගන්න පුළුවන් නායකයෙක් පත්කර ගන්න එක තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ඉතින් ඒ වෙනුවෙන් ඊළඟ නායකයා සූදානම් වෙන්න ඕනෑ. එක එක්කෙනා ජනාධිපති වෙන්න හීන දැක්කට එහෙම ජනාධිපති වෙන්න බෑ. එහෙම හිතන හිතන අය ගෙනල්ලා වෙච්ච දේ දැක්කනේ. හැමෝටම විඳවන්න වෙන්නේ ඒකනේ. ජනතාවාදී හොරෙක් නොවෙන, දූෂිතයෙක් නොවන කෙනෙක් වෙන්න ඕනෑ.
Qඅවසාන වශයෙන් අහන්නේ ඔබ ඊළඟට සහාය දෙන්නේ කාටද?
ඒක අපි ඒ මොහොතේ කියන්නම්. ජනතාව සහාය දක්වන කෙනාට තමයි දේශපාලනඥයෝ සහාය දෙන්න ඕනෑ. වගකීමක් තියෙනවා අපිට ජනතාව හරි තැනට මෙහෙයවන එක. ඒ වෙනුවෙන් බොරු නොකියන, විනිවිදභාවය ඇති නායකයෙක් එක්ක හිටගන්න එක තමයි ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි කරනවා.
I ගයාන් ගාල්ලගේ