කැලණිය සරසවියේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔසන්ත තල්පාවිල
මැදපෙරදිග බලතුලනයේ තවත් පෙරමුණක් නිර්මාණය කරමින් කටාර් රාජ්‍යය අරාබි රටවල්වලින් තනි විය. කටාර් රාජ්‍යය මුහුණදුන් එම අර්බුදයේ ඉදිරි තත්ත්වයත්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ යුරෝපය මුහුණපාන ත්‍රස්ත තර්ජනය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔසන්ත තල්පාවිල මහතා සමඟ කළ සාකච්ඡාවයි මේ.
ආණ්ඩුව සිදුකළ කැබිනට් සංශෝධනයත් එක්ක මාරුවුණ එක් ධූරයක් තමයි විදේශ අමාත්‍ය ධූරය. හිටපු මංගල අමාත්‍යවරයා වෙනුවට දැන් රවී අමාත්‍යවරයා ඒ ධූරයට පත්ව තිබෙනවා. මේකෙන් රටේ විදේශ ප්‍රතිපත්තිවල මොනවගේ වෙනසක් වෙයිද?
විදේශ අමාත්‍යවරයා එක් පුද්ගලයෙක් පමණයි. රටක විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්නෙ සම්පූර්ණ ආණ්ඩුවමයි. එතකොට ක්‍රියාත්මක වෙන්නේ රට පොදු විදේශ ප්‍රතිපත්තිය මිසක් පුද්ගල බද්ධව නෙවෙයි.
නමුත් මංගල සහ රවී යන චරිත දෙකේ අදහස්, මතවාද හා හැසිරීම් රටාවල වෙනස්කම් නිසා බලපෑමක් නැද්ද?
දෙදෙනා අත්දැකීම් ඇති දක්ෂ ඇමැතිවරු වුණත් ඒ ඒ නිලවලට පත්වීමෙන් පස්සේ ඔවුන්ගේ ඇතැම් පෞද්ගලික ලක්ෂණ මතුවෙන්න පුළුවන්. රවි කරුණානායක වුණත් ජාත්‍යන්තර වශයෙන් යම් යම් සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්. ඔහුට දේශපාලනයේ වගේම රටේ බාහිර තත්ත්වයන් පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ මතුවෙන ගැටලුවලදී ඔහුගෙන් හොඳ දායකත්වයක් ලැබෙන්න පුළුවන්. නමුත් එහෙම්ම වෙයි කියලා අනාවැකි කියන්නත් බැහැ.
ජලය ගලා යන්නේ පහත් තැනින් වගේ දෙයක් තමයි අපේ රටට සිද්ධ වුණේ
දැන් ජාත්‍යන්තරයේ විවිධ හැල හැප්පීම්, අවිනිශ්චිතතාවයන් නිර්මාණය වෙනවා. මෑතකදී සිදුවුණේ කටාර් රාජ්‍යය අනෙකුත් මැදපෙරදිග රටවල්වලින් කොන්වීම. මේකේ බලපෑම ලෝකෙට සහ ලංකාවට මොන වගේ වෙයිද?
කටාර් ප්‍රශ්නය තාමත් තියෙන්නේ ප්‍රාථමික අවස්ථාවේ. කටාර් විදේශ අමාත්‍යවරයා කියන්නේ ඇයි අසල්වැසි රටවල් මෙහෙම තීරණයක් ගත්තේ යන්න ගැන ඔවුන්ටවත් හරි අවබෝධයක් නෑ කියලයි. මූලිකව තිබුණේ අන්තවාදී කණ්ඩායමකට සහය දැක්වීම යන චෝදනාව. ඒත් ඒ ගැන සාකච්ඡාවක්වත් නැතිව මෙවැනි දැඩි ප්‍රතිපත්තියක් ගැනීම අගක් මුලක් නෑ වගේ තත්ත්වයක්.
ආසන්න වශයෙන් 125000ක පමණ ලාංකික ශ්‍රමිකයන් එරට ඉන්නවා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය, මුදල් හුවමාරුව වැනි දේවල්වලට කුමක් වෙයිද?
කටාර් රාජ්‍ය මැදපෙරදිග ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක්. ලංකාවේ ශ්‍රමය එරට විශාල වශයෙන් ලබා ගන්නවා. ඒ වුණාට මේ සිදුවීමෙන් එතරම් ලොකු බලපෑමක් අපේ රටට සිදුවන්නේ නැහැ. අසල්වැසි ගුවන් සේවා, තානාපති සේවා නැවැත්වීම යම් මට්ටමක බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වුණත් ඔවුන් වෙළෙඳ සබඳතා නවත්වන්න තීරණය කරලා නෑ. එබැවින් කටාර් මුදල්වල අගයේ වෙනස්කමක් ඇති වෙන්නෙ නැහැ. මේ වෙද්දිත් අසල්වාසි කටාරය සමඟ රාජතාන්ත්‍රික සබඳතා නවත්වා තිබුණත් ඉතා ඉක්මණින් ඔවුන් ගැටලුව සමතයකට පත්කරගන්න කටයුතු කරනවා. දැනටමත් කුවේටය සහ සෞදිය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එනිසා මේ ඇතිවුණු තාවකාලික තත්ත්වයෙන් සැලකිය යුතු බලපෑමක් සිදුවෙන්න හේතුවක් නැහැ.
මෙතෙන තිබෙන චෝදනාව කටාර් රාජ්‍යය අයි.එස්. ත්‍රස්තයන් සමඟ සම්බන්ධවීම. ඒ වුණත් කටාර් රාජ්‍යය හුදකලා වූ බවක් දක්නට නැහැ. මේ තත්ත්වය ඉදිරියේ කොහොම වෙයිද?
සෞදිය සහ එමීර් රාජ්‍ය සමඟ සමීප සම්බන්ධකම් ඇමෙරිකාව පත්වන නිසා මේක පිටුපස්සේ ඇමෙරිකාව ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේක මම දකින්නේ මැද පෙරදිග රටවල් අතරම සිදුවුණ අභ්‍යන්තර අර්බුදයක් හැටියටයි. එහෙමත් නැත්නම් මැද පෙරදිග බලඅරගලයේ එක් සිදුවීමක් කියන්නත් පුළුවන්. මේ අවිනිශ්චිතතාවය කෙටි කලකින් දුරස්වීමට බොහෝ සෙයින් ඉඩ තියෙනවා.
මේකත් එක්කම යුරෝපයත් දැඩි ලෙස ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වෙනවා. බ්‍රිතාන්‍ය තුන්වරක්ම ප්‍රහාරවලට ලක්වුණා. මේ සිදුවීම් ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ මොන වගේ පැතිකඩක්ද පෙන්නුම් කරන්නේ?
ත්‍රස්තවාදයට සිත්පිත් සීමාවන් පරිසරයන් අදාළ නැහැ. එනිසා පිළිඹිබු වුණේ ත්‍රස්තවාදයේ සුපුරුදු පැතිකඩම තමයි. එමෙන්ම බ්‍රිතාන්‍යයට එල්ලවුණ ප්‍රහාර තුන ලෝක දේශපාලනයේ අර්බුදය පෙන්නුම් කරන තවත් පැතිකඩක්. යුරෝපානු රටවල් ප්‍රහාරවලට ලක්වීම ඔවුන්ගේ ආරක්ෂාවේ අර්බුදය පෙන්නුම් කරනවා. මේ ප්‍රහාර නිසාම යුරෝපා රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති අනාගතයේ වෙනස් කිරීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම සංක්‍රමණිකයන්, ආගමන විගමන, විදේශ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඉඩ තියෙනවා. යුරෝපා රටවල් මුල්කාලෙදී ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වපර ඇහැකින් බැලුවත් ඉදිරියේදී ඇතිවන අනාරක්ෂිත තත්ත්වයන් එක්ක ඒවා පිළිගන්න පුළුවන්. බ්‍රිතාන්‍යයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේදී ට්‍රම්ප් කීවේ අපි ඔබ සමඟයි කියලා. එවැනි තත්ත්වයක් තුළ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල, ප්‍රකාශවල සත්‍යතාව තහවුරු වෙමින් තිබෙනවා.
ජාතිවාදය ආගම්වාදය ඕනෑම රටක තියෙනවා
ලංකාව ත්‍රස්තවාදී ප්‍රශ්නවලින් බැටකනකොට මෙරට මානව හිමිකම්, සිවිල් ජනතාවගේ මරණ පිළිබඳව වගවීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් බලපෑම් කළා. ඔවුන්ගේ රටවල්වල දැන් ත්‍රස්තවාදය දොරට තට්ටු කරනවා. ඔවුන්ගේ ප්‍රතිපත්තිවල වෙනසක් වෙයි ද?
ජලය ගලා යන්නේ පහත් තැනින් වගේ දෙයක් තමයි අපෙ රටට සිද්ධ වුණේ. යුරෝපානු බලවතුන් හැමවිටම උත්සහ කළේ තමන්ගේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් පාලනය කිරීම. ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. අප රට පාලනය කිරීමට යොදාගත් උපක්‍රමය සිවිල් යුද්ධය. ඒ තුළින් අපේ අවනතභාවය ලබා ගැනීමට තමයි මානව ආයිතිවාසිකම් වගේ නොයෙකුත් දේවල්වල් ඉදිරිපත් කරමින් උත්සාහ කළේ. බලවත් රටවල් තුළත් අපරාධ, මානව අයිතිවාසිකම් උල්ලංඝනයවීම් ගණනාවක් වාර්තා වුණත් ඔවුන්ගේ නීති අදාළ වුණේ තුන්වන ලෝකයේ රටවල්වලට පමණයි. බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදයේ අත්දැකීම් ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිනිය කීවේ අපි ඉවසුවා ඇති කියලයි. ඒ කියන්නේ ත්‍රස්තවාදයට ප්‍රතික්‍රියාමාර්ග ගත යුතු බවයි. ඒ වචනවල ස්වභාවය අනුව ප්‍රතික්‍රියාමාර්ගය සාකච්ඡාමය ක්‍රියාමාර්ග නොව ප්‍රතිප්‍රහාරමය ක්‍රියාමාර්ගයි. අයි.එස්. ත්‍රස්ත සංවිධානය යුරෝපයට තර්ජනයක් බවට පත්වීමෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගත හැකියි.
ලංකාවේ මේ දවස්වල ආගම්වාදී වර්ගවාදී සිදුවීම් ඇතිකිරීමේ කිසියම් උත්සාහයක නිරතවන පිරිස් ඉන්න බව පේනවා. මේවා පාලනය කරගන්න රජය කොහොමද මැදිහත් වෙන්න ඕනෙ?
ජාතිවාදය ආගම්වාදය ඕනෑම රටක තියෙනවා. නමුත් ඒවා ප්‍රයෝජනයට ගනිමින් වැරැදි අවශ්‍යතා ඉටුකරගැනීම තමයි භයානක. වර්ගවාදය හා ආගම්වාදය මුවාවෙන් රටේ ආරක්ෂාවට, රටේ පැවැත්මට, සමගියට හානිවෙන අයුරින් හෝ වෙනත් භයානක දෙයකට ප්‍රයෝජනයට ගන්නවා නම් එය ප්‍රතික්ෂේප කළ යුතුයි. ලෝකයේ තිබෙන සෑම ත්‍රස්තවාදයකම මුල අන්තවාදය. ඒවා ජාතික ආරක්ෂාවට අහිතකර නම් පාලනය කිරීම සුදුසුයි. පහුගිය වසර 30ක තුළ අපි මුහුණ දුන්නේ අමිහිරි අත්දැකීමකටයි. එසේ තිබියදී නැවතත් එවන් තැනකට යාමට ඉඩදිය නොහැකියි. දැන් මතුව තිබෙන අවශ්‍යතාව වාර්ගික සමගිය හා ආගමික සමගිය ඇතිකරලීමේ වැඩපිළිවෙළ. එයට බාධාවන දේවල් ඇත්නම් හා වාර්ගික සමඟිය ආගමික සමඟියට හානිකර දේවල් ඇත්නම් ඒවා වළක්වාලීමට වැඩ කළ යුතුයි.
දැන් මේ ආණ්ඩුව ජාත්‍යන්තර ගිවිසුම්වලට සම්බන්ධ වෙන එක විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා.
ඉන්දියාවත් එක්ක, චීනයත් එක්ක හෝ මොන රටක් එක්ක ගිවිසුම් ගැහුවත් විපක්ෂය විරුද්ධ වෙනවා. වෛද්‍යවරු පවා වර්ජන කරනවා. අපේ වගේ රටවලට විදේශ ගිවිසුම් අකැපද?
වර්තමාන ගෝලීය ප්‍රවණතාව තුළ කිසිම රටකට හුදකලාව සිටීමේ හැකියාවක් නැහැ. ජාත්‍යන්තර වශයෙන් අපි එකට බැඳී ඉන්නවා වගේම යම් යම් අංශවලට ඒ ජාත්‍යන්තරයේ සහයෝගය අපට අවශ්‍ය වෙනවා. එවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර සබඳතා හා ගිවිසුම්වලින් මිදෙන්න බැහැ. ඉතිහාසයේත් හැම රජයක්ම එවැනි ගිවිසුම් ඇතිකරගෙන තිබෙනවා. එනිසා ගිවිසුම් හෝ එකඟතාවලට එළඹෙන්න පුළුවන්. නමුත් විය යුතු වැදගත්ම දේ තමයි එයින් සිදුවන හානිය වළක්වා ගැනීම. රජයක සාර්ථකත්වය පවතින්නේ ඒ මතයි.
ප්‍රතිඵලය හිතකරද නැද්ද කියලා ලබන ඡන්දෙදි ජනතාව තීරණය කරයි
යුරෝපයත් එක්ක ඇතිකරගත්ත සබඳතා එක්ක මේ රජය නිතරම කියන්නේ ජාත්‍යන්තරය දිනුවා කියලයි. ඇත්තටම මේ රජය ජාත්‍යන්තරය දිනුවද?
පහුගිය රජයේ විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් කිසියම් අවාසිදායක තත්ත්වයන් අපට තිබුණා. එතෙක් හිමිව තිබුණා විදේශ වරප්‍රසාද අහිමි වුණා. එක්සත් ජාතීන්ගේ සංගමය, මානව හිමිකම් කවුන්සිලය වගේ ආයතන අපිට විරුද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි විදේශයන් වලින් අපට ලැබුණෙත් අවාසිදායක ප්‍රතිචාරයන්. ඒවා අපේ ආර්ථිකයටත් බලපෑවා. ප්‍රතිරූපයටත් අවාසිදායක විදිහට බලපෑවා. අපි හිටියේ ලෝකයේ ප්‍රතික්ෂේප වූ රටවල් ගණයේ. කුඩා රටක් වන අපිව ලෝකය හඳුනගන්නේ බලවත් රටවල් අපි ගැන උනන්දු වන ප්‍රමාණය අනුවයි. ඒ නිසා මේ රජය බලයට පත්වීමෙන් පසු යුරෝපානු බලවතුන් සමඟ සම්බන්ධතා ඇති කරගැනීමට යම් උත්සහයක නිරත වුණා. අපි වගේ රටක ආර්ථිකය හා දේශපාලනය බ්‍රිතාන්‍යය මව් රජයත් එක්ක සම්බන්ධයි. ඒ අර්ථයෙන් ගත්තම වර්තමාන රජය යුරෝපයේ බිඳවැටුණ රටේ ප්‍රතිරූපය නැවත ගොඩනැංවීමට උත්සාහ ගත්තා. ඊට අමතරව ඔස්ට්‍රේලියාව, චීනය, රුසියාව හා අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල් සමඟත් සබඳතා ගොඩනගා ගැනීමට යම්කිසි උත්සාහයක් දරණවා. ඒ තුළ එක්තරා දුරකට ලෝකය දිනාගැනීමට පදනමකට මේ රජය එළඹුණු බවක් පේනවා. ඒ වගේම ඩයස්පෝරාවන් අපිට එරෙහිව කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමටත් අපි බලවත් රටවල් සමඟ ගොඩනගාගන්නා සබඳතාවය හේතුවෙනවා.
මෑතකදී සිදුවුණ හැම ව්‍යසනයකින්ම අවතැන් වූවන්ට සහනාධාර නිසිපරිදි ලබා නොදුන්න බවට ලොකු චෝදනාවක් එල්ල වෙනවා ආණ්ඩුවට.
ඔව්. මේක රජයට තියෙන හොඳ අවස්ථාවක්. මෙවර ලැබෙන ආධාර නිසි පරිදි කළමණාකරනය කර ලැබිය යුත්තන්ට ලබා දෙනවා නම් රජයට තිබෙන චෝදනාවලින් මිදෙන්න පුළුවන්.
බොහෝවිට මේ රජය ප්‍රමුඛතා හඳුනාගැනීමේදී දුර්වලතාවක් දක්වන බවක් කියනවා. මෙහෙම තියෙද්දි රටේ ඉදිරි තත්ත්වයන්ට කොහොම බලපෑමක් වෙන්න පුළුවන්ද?
රජයකට ප්‍රතිපත්තියක් හා සැලැස්මක් තියෙන්න ඕනෙ. රජය දැනට කියන්නේ පසුගිය කාලපරිච්ඡේදය තුළ තිබුණ ගැටලු හා අර්බුද නිරාකරණයට තාමත් කටයුතු කරනවා යනුවෙන්. එහෙමත් නැතිනම් ගත කරන්නේ සංක්‍රමණීය කාලයක් කියලයි කියන්නේ. ඉදිරියේදී ශක්තිමත් තත්ත්වයක් නිර්මාණ කරන බවත් කියනවා. නමුත් රජය පෙන්වා දෙන ආකාරයට ගැටලු ලිහනවා විතරක් නෙවෙයි වෙනත් සංවර්ධන කටයුතුත් ආරම්භ කළ යුතුයි. මේ ආණ්ඩුවට චෝදනා තිබෙන බව ඇත්ත. කොච්චර චෝදනා තිබුණත් රජයකට කටයුතු කළ හැකි සීමා තිබෙනවා. හැම රජයකට මෙන්ම මේ රජයටත් ප්‍රතිපත්තියක් ඇති. ඒකෙන් මිදෙන්න ඔවුන් කැමැති නැහැ. එයින් හිතකර ප්‍රතිඵල වගේම අහිතකර ප්‍රතිඵලත් තියෙනවා. ප්‍රතිඵලය හිතකරද නැද්ද කියලා ලබන ඡන්දෙදි ජනතාව තීරණය කරයි.
♦ සාකච්ඡා කළේ: සකීෆ් සාම් තන්වීරි
සේයාරුව: සුමුදු හේවාපතිරණ