2017 ජුනි 10 වන සෙනසුරාදා

පුරෝගාමීන්ගේ අවනඩුව

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

යහපාලන ආණ්ඩුව ගෙන ඒමට දරදිය ඇද්ද පිරිස අතර එක් පෙරමුණේ රාළ කෙනකු වූයේ අතුරලියේ රතන හාමුදුරුවෝය. ධර්ම රාජ්‍යයක් කරා යන ගමන තේමාව කරගනිමින් 2004 වසරේදී පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසි රතන හාමුදුරුවෝ ඒ කාලයේ දේශපාලන පිටියේ “ලොකු වොයිස්” එකකි. පාර්ලිමේන්තුව ඇතුළේත් බොහෝ හඬ නැගූ චරිතයකි. මහින්දගේ ආණ්ඩුවේ “නිල ලත්” ක්‍රියාකාරිකයකු වූ රතන හාමුදුරුවෝ සුප්‍රසිද්ධ මාවිල්ආරු සටනේදී බොක්කෙන්ම ඊට සහාය දී එම සටන කොටි ත්‍රස්තවාදී සටනේ නිමාවක් දක්වා ගෙන යන අවසන් මහා සටනක් බවට හැරවූ ක්‍රියාවලියේ ඍජුවම සිටි පුරෝගාමී චරිතයක් ද විය. ඒ රතන හිමිගේ දේශපාලනයේ එක පැතිකඩකි.

මීළඟට රතන හාමුදුරුවෝ තවත් පුරෝගාමී චරිතයකට පණ පෙවූහ. ඒ යහපාලන රජය බිහිකිරීමේ කටයුත්තේදීය. මහින්දගේ රජය තුළ පසුකාලීනව නිහඬ චරිතයක්ව සිටි රතන හාමුදුරුවෝ එම නිහඬ බව තුළින් මහින්දගේ රජයේ වැරැදි ක්‍රියාවලට විරෝධය පෑ බව පෙනුණේය. එම විරෝධයෙන් පළක් නොවූ විට මහින්දගේ ආණ්ඩුව වෙනස් විය යුතු බවට තීන්දුවක් ගෙන ඒ කාලයේ එම මතය සමඟ සිටි සෙසු පිරිස සමඟ එක්වූහ. එවකට තමන් නියෝජනය කළ ජාතික හෙළ උරුමය මහින්දගේ සංවිධානයෙන් ගැලවීමේ ලොකුම කාර්යභාරය ඉටුකළේ රතන හාමුදුරුවන් බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි. ඉන්පසුව සෝභිත හාමුදුරුවන්ගේද සහාය ඇතිව කිසිදාක එකතු කළ නොහැකි යැයි සිතූ පාර්ශ්ව කිහිපයක් එක වේදිකාවකට ගෙන කොළඹ මුත්තයියා පාක් එකේ පැවැත්වූ ඓතිහාසික රැස්වීමද රතන හාමුදුරුවන්ගේ දේශපාලන ගමනේ එක් සන්ධිස්ථානයකි. ඉන්පසුව යහපාලන ආණ්ඩුව බිහිවන විට උන්වහන්සේ එහි ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියහ. අවසානයේ යළිත් පාර්ලිමේන්තුවට එන්නේ යූ.එන්.පියේ ජාතික ලැයිස්තුවෙනි.

යහපාලන ආණ්ඩුව බිහිකිරීමට උරදුන් බොහොමයක් පුරෝගාමී චරිතවලට මුහුණදීමට සිදු වූ තත්ත්වයට රතන හාමුදුරුවන්ද මුහුණ දී සිටින බව අවුරුද්දක් ගතවීමටත් පෙර පෙනෙන්නට තිබුණේය. මුලින්ම රතන හාමුදුරුවෝ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව නිහඬව සිටියහ. පසුව ටික ටික විවේචනාත්මක අදහස් පළකිරීම ඇරැඹූහ. යහපාලන රජයක බිහිකිරීමට මුල්ගල තැබුණු 2014 නොවැම්බරයෙන් හරියටම වසරක් ගෙවුණු විට කොළඹ බණ්ඩාරනායක සමරුහලේදී 2015 නොවැම්බරයේදී රතන හාමුදුරුවන් තමන්ගේ පොතක් දොරට වැඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් ප්‍රමුඛ පිරිසක් පෙරටු කරගනිමිනි. ඉන්පසුව මීට මාස කිහිපයකට උඩදී තමන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව කියමින් රජය කෙරෙහි තමන්ගේ පවතින ප්‍රබල විවේචන කිහිපයක් ඉදිරිපත් කළද ඒ හැරෙන්නට පසුගිය වසර පුරාම උන්වහන්සේ ගෙන ගියේ නිහඬ පිළිවෙතකි. එම “නිහඬ ගල්ලෙන” යළි බිඳ දැමුවේ පසුගිය බදාදා (07) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය හමුවේදීය.

රතන හාමුදුරුවෝ එහිදී පැවැසුවේ මේ ආණ්ඩුව යටතේ තමන් බලාපොරොත්තු වූයේ හොඳ දේවල් කරන එක නොව මේ ආණ්ඩුවෙන් රටට නරක දේවල් කරන එක නැවැත්වීම බවය. රතන හාමුදුරුවෝ මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුණේ ජනාධිපතිවරයා සමඟ ඉකුත් සිකුරාදා පැවැත්වූ සාකච්ඡාවකට පසුව බවද හෙළිවිය. සිකුරාදා (02) පැවැති සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වීමට බදාදා (07) වනතුරැ සිටියේ ඇයිද යන්න අපැහැදිලිය. රතන හාමුදුරුවෝ එහිදී පැවැසූ කරුණු කිහිපයක් මෙසේය.

“චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සෙස් බද්දෙන් නිදහස් කරන ලෙස දන්වමින් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ජාත්‍යන්තර වෙළෙඳ හා ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍යාංශය වෙත යවා ඇති ලිපිය පිළිබඳව දැඩි විරෝධය පළ කරනවා.

ජනාධිපතිතුමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ එක් කරුණක් වූයේ මේ ලිපියයි. අනෙක ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමයි. ලබන ජනවාරියෙන් පසුව ඕනෑම වෙලාවක ජනාධිපතිවරණයක් පැවැත්විය හැකියි. “තිරසර යුගයකට මඟ” යනුවෙන් අප ඉදිරිපත් කරන මේ සැලැස්ම ඉදිරියේ ජනාධිපතිවරයකු පත්වීමට එකම මඟයි.”

සෙසු කරුණු කෙසේ වුවද අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යවන ලද සෙස් බද්ද පිළිබඳ ලිපිය කෙරෙහි දක්වන විරෝධය යහපාලන සම්මුතිවාදී රජයේ පැවැත්ම පිළිබඳව ලොකු ගැටලුවක් මතු කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම හිතවත් මන්ත්‍රීවරයකු වන රතන හාමුදුරුවො මෙවැනි ප්‍රකාශයක් ආවාට ගියාට සිදුනොකරන බව විශ්වාසය. එහිදී කළ වැදගත්ම සඳහන වූයේ මෙම ලිපිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපතිවරයා තමන්ගේ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව පැවැසීමය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටද ජනාධිපතිවරයා අකැමැති වී යැයිද කී රතන හාමුදුරුවෝ ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුවේ 225 දෙනා හෝ ජනතාව හෝ නොදැන මෙවැනි ලිපියක් යැවීම සදාචාර සම්පන්න නොවන බවද රතන හිමියෝ සඳහන් කළහ.

රතන හාමුදුරුවන්ට පාර්ලිමේන්තු පැමිණීමට දොර ඇරුණේ යූ.එන්.පී. ජාතික ලැයිස්තුවෙන් වුවද ඒ හිමියන් කිසිවිටෙක යූ.එන්.පී. රජය සමඟ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කළේ නැත. ජාතික හෙළ උරුමය මගින් තරමක් සාහසික අන්දමින් උන්වහන්සේ පක්ෂයෙන් ඉවත් කිරීම හේතුවෙන් යූ.එන්.පී. ජාතික ලැයිස්තුවේ පිහිට ලබා ගත්තත් රතන හාමුදුරුවෝ යූ.එන්.පී. යැයි කිසිවකුත් කියන්නේ නැත. පසුගිය ජනවාරියේ සිට රතන හාමුදුරුවෝ පාර්ලිමේන්තුව තුළ “ස්වාධීන” වූහ. එසේ වුවද රතන හාමුදුරුවන් ජනාධිපතිවරයාට ඉතාම හිතවත් සහ සමීප මන්ත්‍රීවරයකු හැටියට බොහෝ දෙනා හඳුන්වති. නමුත් ශ්‍රීලනිපය සමඟද රතන හාමුදුරුවන්ගේ කිසිම ඇඟෑලුම්කමක් නැත. වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ හෝ සම්බන්ධයක් පවත්වන බවටද තොරතුරු නැත. මේ හේතුව නිසා රතන හාමුදුරුවන් තම දේශපාලන මතය හසුරුවා ගන්නේ කාගේ අවශ්‍යතාවකටද යන්නද පැහැදිලි නැත. පැහැදිලි එකම දේ උන්වහන්සේගේ දේශපාලන අතීතය මෙන්ම අනාගතයද අවිනිශ්චිත බව පමණි.

රතන හාමුදුරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යවන ලද ලිපියක් සම්බන්ධව දැඩි විරෝධය දක්වමින් ප්‍රකාශයක් සිදු කිරීමත් එම ලිපිය ජනාධිපතිවරයා නොදැන සිටි බව පැවැසීමත් යහපාලන ආණ්ඩුවේ පවතින ප්‍රබල මත ගැටුම් තවදුරටත් උග්‍රවෙමින් තිබෙන බවට පැහැදිලි ඉඟියකි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමී වූ චරිත මෙසේ පවසන විට සම්මුති ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට එය නොදැනෙන්නේ නම් ලොකු පුදුමයකි. දැනුණත් එය නොදැනුණා සේ සිටින්නේ නම් ඒ කපටිකමකි.

රතන හාමුදුරුවන් පමණක් නොව ලබන අගෝස්තු 17 වැනිදාට වසර දෙකක් පිරෙන මේ ආණ්ඩුවට පදනම වැටුණු 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙස වූ පිරිසක් අතිශය බලගතු සහ ජනප්‍රියව සිටි ජනාධිපතිවරයකු පරාජය කිරීම සඳහා නිහඬව ඉදිරිපත් වූ මිලියන සංඛ්‍යාත ඡන්දදායකයනුත් මේ වනවිට සිටින්නේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයක බව පෙනෙන්නට තිබේ.

තමන් අපේක්ෂා කළ දේ ඉටුනොවුණා පමණක් නොව ඒවා කවදා ඉටුවන්නේද යන ප්‍රශ්නාර්ථයද ඔවුන් තුළ පවතී. කොටින්ම යහපාලන ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග, විපක්ෂය (ඒකාබද්ධ විපක්ෂය) ශක්තිමත් කරන ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරදෙන පමණක් නොව ඔවුන් විසින් ජනතාව හමුවේ මවාපාමින් සිටින රටේ විශාල කඩාවැටීම් පිළිබඳ පුරෝකථන සැබෑ කරවන සුළු ඒවා බවට පත්වෙමින් තිබේ. විපක්ෂයේ විවේචනවලට, අභියෝගවලට පිළිතුරු නැත්නම් මේ රජය පිහිට වූ මුල් වකවානුවේම රජයේ ප්‍රබලයන් විසින් සඳහන් කරන ලද “ප්‍රති විප්ලවයකට” මුහුණ දීමට සිදුවීම නොවැළැක්විය හැකි වනු ඇත. 2015 ජනවාරි 08 වැනිදා සිදුකළේ විප්ලවයක් නම් ඒ හා සමානව ප්‍රතිවිප්ලවයක් ඇතිවීමට ඉඩ තිබෙන බව අමතක නොකළ යුතුය. ප්‍රතිවිප්ලව ඔස්තාද්ලා ඒකාබද්ධ විපක්ෂයේ සිටින බව සිහියට ගෙන කටයුතු කිරීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හොඳය.

මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මහින්ද - මෛත්‍රීපාල සබඳතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයද දේශපාලන කරළියේ කිසියම් උණුසුමක් ඇති කළේ පසුගිය සතියේය. බොරුල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පසුගිය සඳුදා (05) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වෙල්ගම ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය අතර මේ වනතුරු කිසිදු සාකච්ඡා පවත්වා නැතැයි කියාය.

“ඒකාබද්ධ විපක්ෂයේත් ශ්‍රීලනිපයේත් මහින්ද රාජපක්ෂ මහතා හැරුණු විට ඉන්න ජ්‍යෙෂ්ඨයා මමයි. ඔය කියන විදියෙ සාකච්ඡාවක් පවත්වනවා නම් ඉස්සෙල්ලාම දැනගන්න ඕනෑ මමයි. මොකද මීට කලින් මායි ටී.බී. ඒකනායක ඇමැතිතුමයි ඔය සාකච්ඡාව කරන්න මුල්වුණා. ශ්‍රීලනිපයේ අවසන් කාරක සභා රුස්වීමටත් මම ගියා. එවැනි සාකච්ඡාවක් ගැන මම දන්නෙ නෑ.”

මේ කතාව හදිසියේම පැවසුවාක් මෙන් පෙනුණත් ඊට පදනම වැටී තිබුණේ ඊට පෙර පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදීය. දිගින් දිගටම කියන මහින්ද - මෛත්‍රීපාල කතාබහ පිළිබඳව අවසන් නිගමනයන් ගතයුතු යැයි ඔවුන් තීරණය කළේ ඒ ගැන දිගින් දිගටම මාධ්‍යයේ පුවත් පළවන නිසාය. පක්ෂයේ සමගිය සඳහා මෙවැනි කතාබහක් සිදුවන බව එම පුවත්වල නිතරම සඳහන් විය. ඒ ගැන ඇතිවූ දීර්ඝ කතාබහකින් පසුව තීරණය වී ඇත්තේ එවැනි සාකච්ඡා ඉදිරියේදී අවශ්‍ය නොවන බවය. මහින්දට සමීප ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගමට මේ තීන්දුව ප්‍රකාශ කිරීම පැවරුණේ ඒ අනුවය.

ඒකාබද්ධ විපක්ෂයේ නිගමනය වී තිබෙන්නේ මේ මහින්ද - මෛත්‍රීපාල කතාබහ පිළිබඳ තවදුරටත් කටයුතු කිරීම අනවශ්‍ය බවය. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වීමකින් තොරව තනිවම තරග කිරීම සුදුසු බව ඔවුන්ගේ තීරණය වී තිබේ. මෙම නායකයන් දෙදෙනා අතර කිසිදු ආකාරයක ඇයි හොඳැයියක් නොපවතින බවත් දෙදෙනා අතර සබඳතා ඉතාම නරක අඩියක තිබෙන බවත් මෙහිදී සැලකිල්ලට ගෙන ඇතැයි දැනගන්නට තිබේ. දැනට ජපානයේ සංචාරයක යෙදී සිටින මහින්ද ආපසු පැමිණි වහාම පළාත් පාලන ඡන්දය කල්දැමීමට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් දියත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ අදහසයි. ඒ සමඟ ඡන්ද කල්දැමීම සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඉදිරි දිනවලදී කොළඹ පිහිටි තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල ගණනාවක රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැසී ඡන්දය කල්දැමීම ගැන පැමිණිලි කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ එවකට විපක්ෂයේ සිටි යූ.එන්.පී.යද මේ ආකාරයටම තානාපති ප්‍රජාව හමුවී පැමිණිලි කළ අවස්ථා ගණනාවක්ම තිබුණේය. නමුත් එහිදී කිසිවිටෙකත් ඡන්ද කල්දැමීමක් ගැන පැමිණිලි නොකෙරිණි. එවැනි පැමිණිල්ලක් කිරීමට මහින්ද කිසිම ඉඩක් තිබ්බේ නැත. ඔහු වසරකට ඡන්දයක් ඇතැම්විට දෙකක් බැගින් පැවැත්වීය. එසේ වුවද විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමේදී තමන්ට විඳින්නට සිදුවන දුක් ගැහැට, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මහින්දගේ ආණ්ඩුව ක්‍රියාකරන බව වැනි පැමිණිලි යූ.එන්.පී.යෙන් ඉදිරිපත් විය. විශේෂයෙන් මානව හිමිකම් කඩවීම්, පුද්ගල අතුරුදන්වීම්, මාධ්‍යවේදීන්ට සහ ආයතනවලට එරෙහි සිදුවන ප්‍රහාර ඔවුන්ගේ බොහොමයක් පැමිණිලි වල පදනම විය. ඒ කාලයේ මහින්දගේ ආණ්ඩුව ඒවා හැඳින්වූයේ රටේ ගෞරවය කෙළෙසන, අභිමානය පාවාදෙන සිදුවීම් හැටියටය. විජාතික බලවේගවල රූකඩ හැටියට විපක්ෂය ක්‍රියාකරන බවය. අද ඡන්ද කල්දැමීම ගැන පැමිණිලි කිරීමට තානාපති නිලධාරීන් හමුවන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට එදා තමන් ඒ ගැන කළ ඉහත සඳහන් ප්‍රකාශ මතක් වෙනවාදැයි කියන්න දන්නේ නැත.

I ශශීන්ද්‍ර

උදය ගම්මන්පිලගෙන් පැහැදිලි කිරීමක්

2017 ජුනි 4 දින දේශය පුවත්පතේ ඉරිදා විග්‍රහයේ මා පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් කර තිබිණි. එකී තොරතුරු අඩංගු ඡේදය පහතින් උපුටා දක්වමි. 

මේ අතර සිදු වූ විපත මැද දේශපාලන කෙනෙහිලිකම් ද සිදුවිය. ගංවතුරින් දැඩිව හානි සිදු වෙද්දී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියා තිබුණේ සියලුම රාජ්‍ය නිලධාරි චක්‍රලේඛ ගණන් නොගෙන තීන්දු තීරණ ගත යුතු බවය. සිදු වෙමින් තිබුණු විපතේ හානිය බරපතල වීම නිසා ඔවුන් එසේ ඉල්ලා තිබුණේ ජනතාවට වහාම පිහිට වීමට අවශ්‍ය වාතාවරණය හැදීම සඳහාය. එහෙත් රජයට එරෙහිව දැඩි විවේචනයක යෙදෙන උදය ගම්මන්පිල ප්‍රකාශයක් නිකුත් කරමින් එම නියෝගය හෑල්ලුවට ලක් කර තිබුණේය. ඔහු කියා තිබුණේ එෆ්සීඅයිඩියට යෑමට ඉඩක් තිබෙන බැවින් රාජ්‍ය නිලධාරින් චක්‍ර ලේඛ නොතකා ක්‍රියා කිරීමේදී පරෙස්සම් විය යුතු බවය. රටේ ජනතාව සිය ගණන් මිය ගොස් ලක්ස සංඛ්‍යාත පිරිසක් අනාථව අසරණව සිටියදී ඔවුන්ට පිහිට වීමට නීති රීති ලිහිල් කිරීම දේශපාලන වාසියට පෙරළා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ගම්මන්පිල ඇතැම් දේශපාලන විචාරකයින්ගේ විවේචනයට ලක්විය. එය පරිනත දේශපාලනඥයෙකුගේ ලක්ෂනයක් නොවන බව ඔවුන්ගේ මතය විය. 

ඉහත ඡේදයේ සඳහන් අයුරින් රාජ්‍ය නිලධාරින් චක්‍ර ලේඛ නොතකා ක්‍රියා කිරීමේදී පරෙස්සම් විය යුතු බවට මම අනතුරු ඇඟවීමක් නොකළෙමි. ඒ වෙනුවට කලේ සද්භාවයෙන් චක්‍ර ලේඛ නොතකා කටයුතු කරන නිලධාරින්ට අනාගත අපේ ආණ්ඩුවකින් දඬුවම් නොකරන බවට ප්‍රතිඥා දීමයි. එයින් සිදු කළේ චක්‍ර ලේඛ නොතකා රාජකාරි ඉටු කිරීමට නිලධාරින් තවත් සවිමත් කිරීමකි. එබැවින් මෙම ප්‍රකාශය ලේඛකයා විසින් මට එරෙහිව ගෙතූ බොරුවකි. මම එවැනි ප්‍රකාශයක් නොකළ බැවින් ලේඛකයා සඳහන් කරන අයුරින් මා කිසිම දේශපාලන විචාරකයෙකුගේ විවේචනයකටද ලක් නොවුණෙමි. එවැනි එක් විවේචනයක් හෝ ඉදිරිපත් කරන මෙන් මම ඔහුට අභියෝග කරමි. 

මෙම ලිපියෙන් මට එරෙහිව මෙසේ අසත්‍ය කරුණු ලියා ජනතාවගේ විශ්වාසයට ලක් වුණු ඔබේ පුවත්පතේ පළ කළේ පුවත්පත පිළිබඳ විශ්වාසය පලුදු කිරීමටය