2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මේක හොඳටම ඉවසිය යුතු වෙලාවක්

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 65

සංජීව එදිරිමාන්න (පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

  • අලුත් ප්‍රශ්න අවශ්‍ය නෑ: ගැටෙනවාට වඩා එකට යන එක තමයි හොඳ
  • රටේ දේශපාලන විරෝධයක් ඇති මොහොතක අපි පරෙස්සම් විය යුතුයි
  • පොහොර සහනාධාර ලබාදීමට අවධානය ඕනෑ

Q ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිකම අත ඇරියම ඔබලගේ බහුතර කැමැත්ත මත රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණා. හැබැයි යම් එකඟතාවයන් උඩ, දැන් ඒ එකඟතාවයන් සිදුවෙන්නේ නෑ වගේ. ඇමැති මණ්ඩලයේ වෙනස්කම් කළෙත් ඔබලා දැනුවත් කිරීමකින් තොරව කියලයි නාමල් රාජපක්ෂ කිව්වේ. මොකක්ද මේකට හේතුව?

මම මේක බරපතළ අවුලක් ලෙස දකින්නේ නෑ. අපි දන්නවා ඕනෑම ආණ්ඩුවක් හැදෙන්නේ ආසන්නම දේශපාලන මතවාද ඒකක එකතුවෙලා. ඒත් හංගන්න දෙයක් නෑ අපිත් එජාපයත් අතර මතවාදය එකිනෙකට වෙනස්. ඒක ආරම්භයෙන්ම ඇතිවෙනවා. ළංකර ගන්න බෑ. ඒ වගේම කියන්න ඕනෑ මේ ආණ්ඩුව හැදුවේ ඉතා ඉක්මනින්. හැබැයි එකතුවෙලා ප්‍රතිපත්ති ප්‍රකාශ හදපු යහපාලන ආණ්ඩුව ඇතුළෙත් ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා මට හිතෙන්නේ මේක අස්වාභාවික නෑ. මේක සාමාන්‍ය දෙයක්.

Q අපි දැක්කා සාගර කරියවසම් සහ නාමල් රාජපක්ෂ කියන මන්ත්‍රීවරු කියනවා මේක හරි දෙයක් නෙවෙයි කියලා. මෙහෙම ආණ්ඩුවක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද?

දුෂ්කරතා තියෙනවා, අවහිරතා තියෙනවා. හැබැයි මේ වෙලාවේ දේශපාලන අස්ථාවරතාවයක් ඇතිකරන්න පුළුවන් තැනක නෙවෙයි රට තියෙන්නේ. අපි ආත්මාර්ථකාමී වෙලා අපේ ප්‍රශ්නය විසඳගන්න අපිට පුළුවන්. හැබැයි මම කියන්නේ මේ වෙලාවේ අපි හැමදේම ඉවසලා ආර්ථික වශයෙන් රට යම් තැනකට එනකල් ඉමු කියලා.

Q නිමල් ලංසා මන්ත්‍රීවරයා කිව්වා පුළුවන් නම් අයවැය පරාජය කරලා පොහොට්ටුවට ඡන්දයකට යන්න කියලා. ඒ කතාව ඇතුළේ තියෙන්නෙ පොහොට්ටුව මොකක් හරි හිරවීමක ආණ්ඩුවත් එක්ක ඉන්නේ කියලා. මොකක්ද ඒ හිරවීම?

මට තේරෙන්නේ නෑ එතුමා මොන අදහසකින් කිව්වද කියලා. හැබැයි මම නම් කැමැති දේශපාලන ස්ථාවරය වෙනුවෙන් ආරාධනා කරනවට. මේ මොහොත දේශපාලන අස්ථාවරත්වයක් ඇතිකළ හැකි මොහොතක් නෙවෙයි. අපිට විවිධ මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒත් මේ වෙලාවේ අපිට තියෙන්නේ ඊළඟ මැතිවරණය වෙනුවෙන් දේශපාලන ස්ථාවරත්වය රුකගන්න එක. ගැටෙනවට වඩා එකට යන එක තමයි මගේ නම් කැමැත්ත.

Q ජනපතිවරයා එජාප සමුළුවේ කිව්වා ඊළඟට එන්නේ ජනාධිපතිවරණය කියලා. දැන් එජාප නායකයා රටේ නායකයා. කට්ටිය එකට යනවද? නැත්නම් වෙන වෙනම තරග කරනවද?

මෙහෙමයි. එජාපයේ කට්ටිය වෙනම තමන්ගේ පක්ෂයෙන් තනියම තරග කරයි කියලා හිතන්න අමාරුයි. නමුත් කණ්ඩායම් කිහිපයක් හැටියට ඔවුන්ට යන්න පුළුවන් නම් ඔවුන් ඒකට මුහුණ දෙයි. හැබැයි පොදුජන පෙරමුණ හැටියට අපි ඊළඟ ජනාධිපතිවරණයට තරග කරනවා. දැනට උත්තරයක් දෙන්නේ නැත්තේ කවුද අපේක්ෂකයා කියන එකට. අපේක්ෂකයා නම්කිරීම  ඉතිහාසයේ ඉඳලම විශේෂ අවස්ථාවක සිද්ධ වුණේ. ඒක කැම්පේන් එකේම කොටසක්. එදාට අපි නිශ්චිතවම කියනවා.

Q මේ ඊළඟට එන අයවැයෙන් මිනිස්සුන්ට හිතන්න පුළුවන්ද සහනයක් ලැබෙයි කියලා?

අපිට ජනාධිපතිතුමා එක්ක තියෙන කථිකාව තමයි ඊළඟට එන අයවැයත් එක්ක ජනතාවගේ ජීවන බරට යම් සහනයක් ලැබෙයිද කියන එක. ඒකෙන් කියවෙන්නේ එක් එක් භාණ්ඩයේ මිල අඩු කරනවා කියන එක නෙවෙයි. පොදුවේ ජීවන වියදම් පීඩාව කියන සමස්ත ප්‍රශ්නය දිහා බලලා ඒක පහළට ගේන්න පුළුවන්ද කියන එකයි අපි හිතන්නේ. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුව තුළ ඒ මතවාදය සඳහා පෙනී ඉන්නවා. ඒ වගේම ජනතාවට ලැබෙන සහන අස්වැසුම වගේ වැඩසටහන්වල ගැටුම් ඇතිවෙලා තියෙනවා. මම කියන්නේ මේ වෙලාවේ ප්‍රතිලාභීන් ලැයිස්තුවලින් අයින් කරන්න ඕනෑ වෙලාවක් නෙවෙයි. විශේෂයෙන් පොහොර සහනාධාරය ගැන අවධානය දෙන්න ඕනෑ. අපි ඒ දේවල් ගැන කතා කරලා තියෙනවා. විශේෂයෙන් අයි.එම්.එෆ් එකේ යෝජනා වන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියන දේ ඉතාම පරිස්සමින් කළ යුතු දෙයක්.

Q ඉතිහාසයේ ඉඳලා රාජපක්ෂ කඳවුර කළේ ජනතාවට සහන දෙන එක විවිධ විදිහෙන්. දැන් වැඩිම ජීවන බර පටවන්නේ ඒ කඳවුරේම ඇමැතිලා. තවත් පොහොට්ටුවට දේශපාලනයක් කරන්න පුළුවන්ද?

අපි දන්නවා අයි.එම්.එෆ් එකත් එක්ක ගිවිසුමට යනකොට ඒ අය ගේන ප්‍රධාන කොන්දේසි කිහිපයක් තියෙනවා. එකක් ‍රාජ්‍ය ආදායම වැඩි කරගත යුතුයි. ඒ කියන්නේ බදු වැඩි කරන්න කියන එකනේ. දෙක රාජ්‍ය වෙළෙඳපොළ තුළ යම් මැදිහත්වීමක් තියෙනවා නම් ඒ නිෂ්පාදන විකිණිය යුත්තේ නිෂ්පාදන පිරිවැයට සාධාරණයක් වෙන ලෙස කියලා. පිරිවැය නිරෑපිත මිල කියන අදහස. ලංවිම, පෙට්‍රෝලියම් එක මුහුණ දෙමින් ඉන්නේ ඒකට. ස්වාධීනව ආණ්ඩු කරන මොහොතක නම් අපිට ඕනෑ තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි යම් නිෂ්පාදනයක්, නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කරනවා නම් ඒක ජනතාවට කොහෙන් හෝ දරන්න වෙනවා. ඒක තමයි මේ වෙන්නේ. ඒ හරහා ලැබෙන දේශපාලන අවාසිය කිසිම උත්තරයකින් බින්දුව වෙන්නේ නෑ කියන එකත් මම පිළිගන්නවා.

Q මොකද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විනය ඉස්සරට වඩා වැඩියෙන් පිරිහෙන්නේ?

අපිත් අහලා තියෙනවා එදා පාර්ලිමේන්තුව ඉතාම සම්භාවනීයයි කියලා. හැබැයි ගැටුම්වල ස්වභාවය එක්ක බලද්දි මම ඒක සසඳන්න දන්නේ නෑ. අදද වැඩි, එදාද වැඩි කියලා ගණන් කියන්න කාටවත් බෑ. හැබැයි රටේ දේශපාලන විරෝධයක් ඇතිව තියෙන මොහොතක අපි මීට වඩා පරිස්සම් විය යුතුයි කියන තැනක මම ඉන්නවා. අපිට ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවා. තවත් වෙනම අලුත් ප්‍රශ්න අවශ්‍ය නෑ. අපි සමාජයක් හැටියට එකිනෙකා ගරු නොකරන තැනකට යමින් ඉන්නේ. ඒක නරක තත්ත්වයක්.

Q කෙළින්ම ඇහුවොත් පසුගියදා ඩයනා මන්ත්‍රීතුමිය සහ සජබ මන්ත්‍රීවරු අතර ඇතිවුණු ගැටුම ගැන ඔබේ අදහස මොකක්ද?

කෙළින්ම කිව්වොත් මට තියෙන්නේ බරපතළ පිළිකුලක්.

I ගයාන් ගාල්ලගේ