2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

නව සෞඛ්‍ය ඇමැතිතුමනි

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

සෞඛ්‍ය අමාත්‍යංශය තරම් මෙරට පොදු මහජනතාවගේ දැඩි විවේචනයට හසු වූ වෙනත් අමාත්‍යංශයක් මෙරට නැත. බාල බෙහෙත් සහ බෙහෙත් හිඟයෙන් පීඩා විඳීමට සිදුවීමත් මහා පරිමාණයෙන් දූෂිත ගනුදෙනු සිදුවීමත් ඒ දූෂිත ගනුදෙනුවලට හේතු වූ කිසිදු පුද්ගලයකු නීතිය හමුවීමට නොපැමිණවීමත් එම විවේචනයට කේන්ද්‍රගත වී තිබිණි. අවසානයේ සිදුවූයේ ඒ වැරදි එසේම තිබියදී අමාත්‍යවරයාට මාරුවීමක් ලැබීමය. දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින්නේ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන රමේෂ් පතිරණය. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකුද වෙයි. එසේම ඔහු ජනතාවගේ ගැරහුමට ලක්වූ අමාත්‍යවරයෙක්ද නොවන්නේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව අමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගනිමින් වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබුණේ ජනතාව බලාපොරොත්තු වන වෙනස්කම් ඇතිකරමින් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවය. තීන්දු ගැනීමේදී තරාතිරම හෝ පෞද්ගලිකත්වය නොබලන බවද වෘත්තිකයන් සහ සමාජය බලාපොරොත්තු වන ව්‍යුහාත්මක සහ පුද්ගල වෙනස්කම් සිදුකිරීමට තමා බැඳී සිටින බවද එය තමා වෙත පැවරුණු වගකීමක් බවද නව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

මේ කතාව පැහැදිලි කර දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළින් පැන නැගී ඇති අභියෝගවලට නොසැලී මුහුණදීමේ අදිටනකින් නව අමාත්‍යවරයා කටයුතු කරන බවය. සෞඛ්‍ය අමාත්‍ය පුටුවේ කවර පුද්ගලයකු අසුන් ගත්තත් එම අසුන වටා කුණු මස් කැබැල්ලකට වහ වැටෙන නිලමැස්සන් රොත්තක් සේ කැරකෙන පිරිසක් සිටින බව අමාත්‍යවරයා මුලින්ම වටහාගත යුතුය. මේ &නිලමැස්සන්* අතරේ ඇතැම් නිලධාරීහුද අමාත්‍යංශය හා ගනුදෙනු කරන විවිධ ආයතනවල නියෝජිතයෝද වෙති. මේ පිරිසේ ග්‍රහණයෙන් මිදී තීන්දු තීරණ ගැනීමට හිත හදාගැනීම අමාත්‍යවරයාගේ පළමු අභියෝගය වෙයි. විදෙස් සවාරි, මිලියන ගණන් තෑගි මුදල් පමණක් නොව අවශ්‍ය නම් ගෙවල් දොරවල් හදා ගැනීමට අවශ්‍ය අරමුදල් පවා ලබාදීමට ඔවුහු සැදී පැහැදී සිටිති. එයින් ගැලවීම වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ අමාත්‍යවරයාට අසීරු නොවනු ඇති බව අපි තදින්ම විශ්වාස කරමු.

අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වසා පැතිර ගොස් ඇති දූෂණයේ තරම කොතරම්දැයි සිතා ගැනීමට අපගේ දේශය පුවත්පත පසුගිය සතියේ (22) කලාපයේ ප්‍රධාන සිරස්තලයෙන් පැහැදිලි වෙයි. එම ප්‍රවෘත්තියට අනුව 2019 සහ 2022 අතර කාලය තුළදී රුපියල් 400ක් වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදීගෙන ඇත්තේ රුපියල් 4000ක පමණ වැයකරමිනි. වෛද්‍ය සැපයුම් සහ මුලදී ගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුව මේ බව හෙළිකරගෙන තිබූ අතර එම කාලය තුළදී සිදුකර ඇති හදිසි මිලදී ගැනීම් 286ම දූෂිත ගනුදෙනු බවද එහි සඳහන්ය. සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින වත්මන් තත්ත්වය සහ එහි සිදුවන දූෂණයේ තරම වටහා ගැනීමට මේ තොරතුරු පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි අපි සිතමු.

විවිධ අමාත්‍යංශ සම්බන්ධයෙන් මීට පෙරද දැඩි දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒ අමාත්‍යංශවල සිදුවන දූෂණ හේතුවෙන් රටේ ජාතික ආර්ථිකයට ප්‍රබල බලපෑම් එල්ල වී ඒ ඒ අමාත්‍යවරුන්ගේ සහ නිලධාරීන්ගේ බැංකු ගිණුම් තරවීම සිදුවුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට වඩා වෙනස්ය. එම අමාත්‍යංශයේ දූෂණ ක්‍රියා වැඩි වශයෙන් සිදුවන්නේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සැපයුම් සම්බන්ධයෙනි. විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තරවීම පමණකින් එම දූෂණය අවසන් නොවේ. එහි බලපෑම් දැඩිව එල්ලවෙන්නේ අසරණ රෝගී ජනතාවගේ ජීවිතවලට ය. රෝගීන්ගේ ජීවිත අහිමි වීම පමණක් නොව ඔවුන් සදාකාලික අබ්බගාතයන් බවට පත්වීමද ඇස් අන්ධවීම් වැනි බරපතළ තත්ත්වයක් ඇතිවීමටද බාල බෙහෙත් සහ බාල වෛද්‍ය උපකරණද හේතු විය හැකිය.

හදිසි මිලදී ගැනීම්වලට මුවා වී සිදුකෙරෙන එවැනි බාල, භයානක ඖෂධ මෙරටට ගෙන්වීම වැළැක්වීම නව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලික වගකීමක් බව පෙන්වාදීමට කැමැත්තෙමු. පසුගිය සති කිහිපය තුළදී අනාවරණය වූ තවත් එක් දූෂණයක් වූයේ හොර ලියැකියවිලි සාදා හොර රහසේම මෙරටට ගෙන්වූ රුධිරණය හා සම්බන්ධ ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ගෙන්වීමය. අද වනතුරු එම අපරාධය සිදුකළ දූෂිතයන් කිසිවකුත් අධිකරණය හමුවට පමුණුවා නැත. මෙය භයානක තත්ත්වයක් බව යළි යළිත් පැවසිය යුතු නැත.

සෞඛ්‍ය අමාත්‍යවරුන් සිටින්නේ හදිසි මිලදී ගැනීම් වැනි ඇස්බැන්දුම්වලට මුවා වී බාල බෙහෙත් රටට ගෙන්වා මුදල් ගසාකෑමට නොවේ. එසේ ගෙන්වූ ඖෂධ හේතුවෙන් රෝගීන් මරණයට පත්වූ විට රෝහල් අසළ මල් ශාලා තිබෙන්නේ එවැනි අවස්ථා සඳහා බව ප්‍රකාශ කිරීමටද නොවේ. එසේම අන්ත දූෂිත නිලධාරීන් ඔවුන් දරණ තනතුරුවලට තබාගෙන ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමටද නොවේ. මේ දූෂිත වළල්ලෙන් ගැලවී අමාත්‍යංශය කරගෙන යාමට රමේෂ් පතිරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබෙන උනන්දුව සහ ඕනෑකම අප ඉහළින්ම අග කරන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00