2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ඡන්ද මාරුතය

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 146

''සාගර කාරියවසම් මහාතාට මම අභියෝග කරනවා පුළුවන් නම් ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා ඔය වැඩේ කරන්න කියලා. ජනාධිපතිවරයා හොඳ නැත්නම් එතුමා එක්ක වැඩකරන්න බැරිනම් මාධ්‍ය ඉස්සරහ අදහස් දක්වන්නෙ නැතුව තමන්ට කැමැති තීන්දුවක් ගන්න පුළුවන්.''

සාගර කාරියවසම් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්වරයාය. සාගර ඍජුවම බැසිල්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියත් ඔහු දේශපාලනය කරන්නේ පොහොට්ටුවේ නායකයා වන මහින්ද රාජපක්ෂගෙන් ආශීර්වාදයත් ඇතුවය. සාගර නියෝජනය කරන්නේ පොහොට්ටුවේ නිල මතයයි. ඔහු පක්ෂයේ නිල ප්‍රකාශකයාද වෙයි.

පොහොට්ටුවේ ලේකම් සාගරට ඉහත අභියෝගය එල්ල කර තිබුණේ ලන්සාය. ලන්සාද බැසිල්ගේත් මහින්දගේත් ආශීර්වාදය ඇතුව මීගමුව හොල්ලාගෙන සිටි පොහොට්ටුවේ ප්‍රබල චරිතයකි. ඔහුගේ ඡන්ද පදනම රාජපක්ෂලාගේ ඡන්ද ව්‍යාපාරයත් එක්ක ඍජුවම බැඳි තිබෙන්නකි. කොටින්ම රාජපක්ෂලාගේ සහාය නැතුව ලන්සාට ඒ කාලයේ ඡන්දයකක් දිනාගැනීමත් පහසු වැඩක් වුණේ නැත. එහෙම හිටපු ලන්සා අද මෙහෙම පොහොට්ටුවට අභියෝග කරන්නේ ඇයි?

ලන්සා එදා මාධ්‍ය සාකච්ඡාවක් තබා අභියෝග කළේ සාගරට පමණක් නොවේ. රාජපක්ෂ පරපුරේ දේශපාලනයේ ''යුව රජු'' හැටියට සැලකෙන නාමල්ටත් ඔහු අභියෝග කළේය.

''ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමාත්‍ය ධුර කීයක් දුන්නාද? රාජ්‍ය අමාත්‍ය ධුර විෂයයන් කීයක් දුන්නද? ඒ කාලේ අමාත්‍ය ධුර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා එතුමාට තේරුණේ නැද්ද? ගෝඨාභය ජනාධිපතිතුමා කරපු අවසන් කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එළියට දැම්මා. නාමල් රාජපක්ෂවත් සාගර කාරියවසම්වත් එදා කතා කළේ නෑ. එදා හිටියේ පූස් පැටව් වගේ.''
එහෙම කියලා ලන්සා නාමල්ටයි සාගරටයි අභියෝග කළේ බොරු බයිලා නොකියා අතීතය අමතක කරලා කතා නොකර තමා සමඟ ප්‍රසිද්ධියේ විවාදයකට එන ලෙසටය. තමන්ට දෙද්දී එදා කටවහගෙන හිටපු ඒවා ගැන ඒ වෙලාවේදී කතා කරන්න පුළුවන් කියාත් ලන්සා කිව්වේය.

ආණ්ඩුව කරගෙන යන පොහොට්ටුවට එරෙහිව මාධ්‍ය සාකච්ඡා තියා මෙහෙම ප්‍රසිද්ධියේ අභියෝග කරන්න හයියක් ලන්සාට අද ලැබුණේ කොහොමද? ඒ හයිය බැසිල්ගේ නොවන බව නම් සහතිකය. එහෙනම් ඒ හයිය ඔහුට ලැබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විය යුතුය. තමන්ට දේශපාලනයේ මුල්පොත කියාදුන් රාජපක්ෂලාට එරෙහිව මෙහෙම කතා කරන තරමට ලන්සා අද රාජපක්ෂ විරෝධී දේශපාලනයක නිරතව සිටින බව එයින් පැහැදිලිය. පොහොට්ටුව ආණ්ඩුව හරියට නොකිරිම තුළ තමන් අවුරුදු 30ක් තිස්සේ ගොඩනගාගත් දේශපාලනය විනාශ වූ බවත් ජනතාව මහපාරේ ලක්ෂ ගණනක් ඇවිත් උද්ඝෝෂණය කරලා අපේ ආණ්ඩුව එළවූ බව අද නාමල් රාජපක්ෂ මැතිතුමාට අමතක වෙලා බවත් ලන්සා කියන්නේ තමන්ගේ දේශපාලනය විනාශ කිරීමට නාමල්ලා වගකිවයුතු බවට අනියමින් චෝදනාවක්ද එල්ල කරමිනි.

ලන්සා කියනවා වගේම කතාවක් පොහොට්ටුවේ දැනටත් ඉන්න කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම හේතුවෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරයකු වන රෝහිත අබේගුණවර්ධනද පසුගියදා කියා තිබුණි. ඔහු පොහොට්ටු කාර්යාලයේ තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේ තමන් සියලුදෙනා මේ ආණ්ඩුව සමඟ ඉන්නේ 2024 වනතුරු පමණක් බවය. එතැනින් පස්සේ රටේ මහජනතාව මැතිවරණයකින් ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් හෝ තෝරාගනු ඇති බවද ඔහු කිව්වේය. 

ජනාධිපතිවරයා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පක්ෂපාතිව අදහස් දක්වා තිබූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දැඩිව පහර දෙමින් රෝහිත කිව්වේ අරුන්දිකත් පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු බවත් ඔහු සිටිය යුත්තේ පක්ෂය ඇතුළේ බවත්ය. සාගර කාරියවසම් යනු පක්ෂයේ මහලේකම්වරයා බැවින් ඔහු කියන්නේ පක්ෂයේ නිල මතය බවද රෝහිත කිව්වේය. ඒ එක්කම රෝහිත කිව්වේ ආණ්ඩුව කරගෙන යාමට ජනාධිපතිවරයාට නොහැකි නම් වහාම මැතිවරණයකට යා යුතු බවකි. තමන්ගේ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ''නළුවා'' ලෑස්ති බවත් ඔහු පෙන්වන්නේ වෙලාවට බවත් රෝහිත කිව්වේය.

ලන්සා රාජපක්ෂවරුන් එපා කියා පොහොට්ටුවෙන් එළියට බැස්සේ අරගලයෙන් පසුව ඔහුට ඇතිවූ කලකිරීමක් හේතුවෙනි. රෝහිත ඉන්නේත් දැඩි කලකිරීමකිනි. ඔහු ඒ කලකිරීම නිසා පොහොට්ටුවට පහර දෙන්න ගියේ නැත. හැබැයි ආණ්ඩුව ඇතුළේ ඉඳිමින් ආණ්ඩුව ඡන්දයකට යා යුතු බව දැන් ප්‍රසිද්ධියේ කියයි.

මේ කලකිරීම්, අභියෝග කරගැනීම්, වගේම ඡන්දයකට යා යුතු බවට කරන ප්‍රකාශද එකවරම වැඩිවෙලා වගේ පේන්නේ ඇයි? ආණ්ඩුව කරන ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුව තුළ රුකදීමට කටයුතු කරන පොහොට්ටුව ඇතුළේ දැන් පවතින කැළඹීම ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා හරහා එළියට ඒමත් ඒකටම සම්බන්ධය. පේන හැටියට පොහොට්ටුව ජනාධිපතිවරයා සමඟ දිගටම ඉදිරියට දේශපාලනය කරනවාද නැත්නම් ඒ දීගය හමාර වන විදියට තීරණයක් අරගෙන ඡන්දයකට යන විදියට වැඩ කරයිද යන්න තවමත් අවිනිශ්චිතය. ඒ අතර ලන්සා ප්‍රසිද්ධියේ නාමල්ලාට කියන්නේ පුළුවන් නම් අයවැය පරද්දලා ආණ්ඩුව වට්ටා ඡන්දයකට යන්න කියලාය. රෝහිත අයවැය පැරදවීමක් ගැන කියන්නේ නැත. එහෙත් කරන්න බැරිනම් ඡන්දයකට යන්නැයි ජනාධිපතිට දැනෙන්න කියයි.

කොහොම වුණත් මේ ජරමර එළියට එන්න බලපාන හේතු 02ක් තිබේ. එකක් තව සති දෙකකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන අයවැයයි. අනෙක ලබන වසරේ ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයාම පසුගියදා සිදුකළ ප්‍රකාශයයි.

අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වනවිට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීන් සහ රාජ්‍ය ඇමැතිලා සෙට් එකක් එකතු වුණේ තමන්ට කෙණෙහිලිකම් කරන අමාත්‍යවරුන්ගේ වැයශීර්ෂ සඳහා ඡන්දය නොදී සිටීමේ ව්‍යාපාරයක් සඳහාය. එසේ කළ විට තමන්ගේ වැය ශීර්ෂය සම්මත කරවා ගැනීමට එම මන්ත්‍රීවරුන්ගේ සහාය ඉල්ලීමට අදාළ අමාත්‍යවරයාට සිදුවෙයි. නමුත් රාජ්‍ය ඇමැතින්ට කිසිම විෂයයක් බෙදාදීමට අකැමැතිව සිටින අමාත්‍යවරුන්ට මේ වැඩේ ලේසි නැත. මේ කතාව දැන් අවස්ථා ගණනාවකදී මන්ත්‍රී කණ්ඩායම් ඇතුළේ සාකච්ඡාවලට ලක්වී තිබේ. සාකච්ඡා වූ ආකාරයට වැඩේ සිදුවුණොත් ආණ්ඩුව අසීරුවට පත්වීම වැළැක්විය නොහැක. සමහර විට අයවැය සම්මත කර ගැනීම පවා අර්බුදයකට යා හැකිය. එය බලාපොරොත්තු නොවූ ආකාරයේ හදිසි මහා මැතිවරණයක් පැවැත්වීම දක්වා තල්ලුවීමටත් ඉඩ තිබේ.

මැතිවරණ පැවැත්වීමට වඩා රටේ ආර්ථිකය ගොඩදා ගැනීමට ආණ්ඩුව හැමවිටම ප්‍රමුඛත්වය දී කටයුතු කළ බව පසුගිය කාලය තුළදී පෙනෙන්නට තිබුණේය. පළාත්පාලන මැතිවරණයට වෙච්ච දෙයක් නැතිවන තත්ත්වයක් දැන් උදාවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. නමුත් ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය සම්බන්ධයෙන් එවැනි ආකාරයකට කටයුතු කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීමකින් තොරව ජාතික මැතිවරණයක් කල්දැමිය නොහැක. ව්‍යවස්ථාවේ හැටියට එය ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුය. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපතිවරණය නොපවත්වා පාර්ලිමේන්තුව විධායක අග්‍රාමාත්‍ය ධුරයක් සහිත ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමේ අදහසක්ද පසුගිය කාලය තුළදී කරළියට පැමිණියේය. එහෙත් ඒ සඳහාද මුලින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් තුනෙන් දෙකක ඡන්දයකින් එය සම්මත කළ යුතුය. එසේ නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට අවස්ථාවක් නැත.

එසේ වුවත් ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යැයි ඔහු සලකන්නා වූ යම් කාරණයක් සඳහා ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයකුට ජනම විචාරණයකට යාමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ සලසා තිබේ. නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධනයක් නම් එවිට හටගන්නේ ව්‍යාකූල තත්ත්වයකි.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය යෝජනා සහ අදහස් පිළිබඳ කරුණු සොයාබැලීමේ විමර්ශන කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 09 දෙනකුගෙන් සමන්විත එම කමිටුව විසින් සොයාබැලිය යුතු කාරණාද අදාළ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

එම කමිටුවට වාර්තාව ලබාදීම සඳහා මාස 06ක කාලසීමාවක්ද ලබාදී තිබේ. මේ කමිටුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපවත්වා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා පියවර ගනු ඇති බවට විශාල සැකයක් දේශපාලන කරළිය තුළ පැතිර ගියේය. එහෙත් පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වූ යූ.එන්.පී. විශේෂ ජාතික සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සැකය දුරු කළේය. ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ලබන වසරේ පැවැත්වීමට තමා ක්‍රියාකරන බව ජනාධිපතිවරයා එහිදී කීය. ඊටපසුව පාර්ලිමේන්තු මැතිවරණයත් සමහරවිට පළාත් සභා මැතිවරණය 2025 මුල් කාලයේදීත් පැවැත්වේවි යැයිද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

කෙසේ වුවද ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ සැප්තැම්බර් 16 වැනිදාත් නොවැම්බර් 16 වැනිදාත් අතර දිනක ජනාධිපතිවරණය පැවැත්වීම හැර වත්මන් ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක් නොමැති බවය.

ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කළහොත් එයට එරෙහිව විපක්ෂයෙන් දැඩි විරෝධයක් මතුවීම වැළැක්විය නොහැක. මේ දිනවල ඇතිවෙමින් තිබෙන විදුලි ගාස්තු ඇතුළු බිල් වැඩිවීමත් ජීවන වියදම උපරිමයට නැගීමත් හේතුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී සිටින ජනතාව ලබන වසරේ ජනාධිපතිවරණය කල් දැමීමට ගන්නා කිසියම් හෝ උත්සාහයකට ඉතා දැඩිව විරෝධය පළකරනු ඇති බව හොඳටම පැහැදිලිය.

ඒ කොහොම වුණත් සමහරවිට පොහොට්ටුවේ නායකයන්ට අවශ්‍ය නම් හදිසි මහ මැතිවරණයකට යාමට ඕනෑම අවස්ථාවකදී කටයුතු කළ හැකිය. ඔවුන්ට මේ වෙලාවේ හැටියට වඩාත් වාසිදායක මහ මැතිවරණයක් බව ගණන් හදා බැලීමෙන් වටහාගත හැකිය. එසේ වුවහොත් ජනාධිපතිවරණයකට පෙර ලබන වසර මාර්තු අප්‍රේල් වනවිට මහ මැතිවරණයකට යාමටද ඉඩ තිබේ. සාගර සහ රෝහිතලා මේ උවමනාව ඉටුකරන කසකාරයන් වෙන්නත් ඉඩ තිබේ.

I ශශීන්ද්‍ර