පෙරහරක් එන බව කසකරුවන්ගෙන් ගිනිබෝල කරකවන්නන්ගෙන් කල්තබාම දැනගත හැකිය. අපේ රටේ අයවැයක් කිට්ටුවෙන විට වැටුප් වැඩිකරන ලෙස කෙරෙන ඉල්ලීම් ඇතුළු විවිධ සහන ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණද අයවැයේ කසකරුවන් ගිනිබෝලකාරයන් වැනිය. ළඟ එන අයවැය සම්බන්ධයෙන්ද එහි වෙනසක් නැති බව මේ දිනවල දිගහැරෙන විවිධ ඉල්ලීම් ඇතුළත් උද්ඝෝෂණ වලින් පෙනී යයි.
එහෙත් මෙවර පෙර කාලවලට වඩා වෙනසක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. රජයේ සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වර්ධකයක් ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණවලට අමතරව තවත් විවිධ කාරණා මත සංවිධානය කෙරෙන උද්ඝෝෂණ ගණනාවක්ද දැකිය හැකිය. උද්ඝෝෂණ පමණක් නොව වැඩවර්ජනද එයට එක්වෙමින් තිබේ. මේ අතර අපගේ දේශය පුවත්පතේ මුල්පිටුවේ ප්‍රවෘත්තියකින් දැක්වෙන්නේ මේ මාසය මැද භාගය වනවිට විරෝධතා සහ උද්ඝෝෂණ රුල්ලක් සංවිධානය කෙරෙන බවට බුද්ධිඅංශ මගින් රජයට තොරතුරු ලබාදී තිබෙන බවය. ඒ අනුව පෙනී යන්නේ මෙවර වැඩි වැටුප් ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණ සහ වැඩවර්ජන අයවැය පමණක් ඉලක්ක කර ගනිමින් සිදුවන්නක් නොවන බවය. එය ඊට වඩා බරපතළ තත්ත්වයකට පාර කපන බවය.
රුපියල් 20,000ක වැටුප් වර්ධකයක් ඉල්ලා රජයේ සේවකයන් සිදුකෙරෙන විරෝධතා පසෙක තැබුවද වෙනත් ක්ෂේත්‍රවල ඉල්ලීම් එයට වඩා වෙනස්ය. ඒ ඉල්ලීම් අතරට අලුතින්ම එකතු වී තිබෙන්නේ වැට් බද්ද සියයට 03කින් ඉහළ දැමීමට ගෙන තිබෙන තීන්දුවයි. ලබන ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අලුත් වැට් බදු වැඩි කිරීමට අනුව සියලුම භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාම වැළැක්විය නොහැක. මේ බදු වැඩිවීම සිදුවන්නේ ඔක්තෝබර් 18 වැනිදා සිට ක්‍රියාත්මක විදුලිබිල ඉහළ යාමට අමතරවය. විදුලිබිල මේ වසරේ වැඩි කෙරුණු තුන්වැනි අවස්ථාව එය විය. මේ සියලු වැඩිකිරීම් සිදුවන්නේ ජනතාවගේ ආදායම් එලෙසම පවතිද්දී හෝ අඩුවෙමින් තිබියදීය. ජනතාව මුහුණ දී සිටින මේ තත්ත්වය පිළිබඳව අනවබෝධයකින් ආණ්ඩුව මෙවැනි තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේද කියා සැකයක් ඇතිවන තරමට රට තුළ පීඩනය උග්‍රවෙමින් පවතී. උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන මගින් පෙන්නුම් කරන්නේ මේ පීඩනයේ තරමයි.
අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි. වැඩි වී ඇති ජීවන වියදම සැලකිල්ලට ගනිමින් මේ වැඩිවීම සිදුකරන බවද ඔහු සඳහන් කළේය. එහෙත් රජයේ සේවකයන්ට පමණක් වැටුප් වැඩි කිරීමෙන් මේ ගැටලු විසඳෙන්නේ නැත. රජයේ සේවක පිරිස ලක්ෂ 15ක් පමණ වනවිට පෞද්ගලික අංශයේ එමෙන් දෙගුණයකටත් අධික ජනතාවක් සේවය කරති. ඔවුහු අධික බදු ගෙවීමටද මුහුණ දී සිටිති. පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල හැටියට ඇතැම් පෞද්ගලික ආයතන වැසී ගොස් තිබේ. මේ නිසා රුකියා අහිමි වූ පිරිසද අධිකය. රටපුරා සිදුවන උද්ඝෝෂණ සහ විරෝධතාවලට මෙසේ පීඩනයට පත්වන ජනතාව සහාය නොදක්වනු ඇතැයි රජය බලාපොරොත්තු වන්නේ නම් එය යථා තත්ත්වය නොවන බව පෙන්වා දිය යුතුය.
වැටුප් වැඩිකිරීම පමණක් විසඳුමක් නොවන බවට හොඳට උදාහරණය සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ දිනවල පළාත් මට්ටමින් සිදුකෙරෙන වැඩවර්ජනයයි. එක් එක් පළාතට එක් දවසක් බැගින් මේ සංකේත වැඩවර්ජන ක්‍රියාත්මක වෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳීම සඳහා තමන් අටවැදෑරුම් යෝජනාවලියක් බලධාරීන් වෙත බාරදී මාස කිහිපයක් ගතවී ඇතත් පවතින ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට නිශ්චිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියාකර නැති බවය. ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් දිගින් දිගටම රට හැර යන බවත් ඔවුන් රට තුළ රඳවා ගැනීමට ඉලක්කගත වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත්ව සිටින බවත් සංගමය කියයි.
සෞඛ්‍ය සේවාවේ වැඩවර්ජන ජනතාවගේ ජීවිතයත් මරණයත් අතරට ඍජුවම සම්බන්ධය. මේ හේතුවෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම පමණක් මේ සංකීර්ණ ගැටලු විසඳීමට උදව් වන්නේ නැත. වෛද්‍යවරුන්ද රජයේ සේවයේ බැවින් ඔවුන්ටද මේ වැටුප් වැඩිවීම හිමි වුවත් එය ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව නොවන බවද පැහැදිලිය. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුද එක්දින වැඩවර්ජනයක නිරත වූහ. වැට් බදු වැඩි කිරීමත් සමඟ මේ තත්ත්වය තවත් උග්‍ර වනු ඇත. ජනතාවගේ සිතුම් පැතුම් සහ ඔවුන්ගේ පීඩනය පිළිබඳ මීට වඩා අවබෝධයකින් රජය කටයුතු නොකළහොත් මේ තත්ත්වය තවත් සංකීර්ණ අතට පෙරළීමට ඉඩ තිබෙන බවත් කිව යුතුය.